කෝවිඩ් පළමු රැල්ලේ අවදානම දෙවැනි රැල්ලේදී දුම්රිය අමතක කරලා !

(හසරිඳු රාජපක්ෂ)

කෝවිඩ් වසංගතය පැතිර යෑම තුළ එයින් ආරක්ෂාවීමට විධිවිධාන සකස්කරන අතරතුර, විවිධ කාර්යයන් සඳහා විකල්ප හඳුන්වාදෙමින් නව නිර්මාණ බිහිකිරීම ආදියද සිදු විය.

මේ අතර මෙම කෝවිඩ් සමය තුළ බොහෝ සැපයුම් සහ සේවා මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් වෙත යොමු වූ අතර, එමගින් වාසි මෙන්ම අවාසි සිදු වූ අවස්ථාද එමට ය. ප්‍රවාහන සේවාව ඔන්ලයින් ක්‍රමවේදය අනුව පවත්වාගෙන යෑම මෙම කාලසීමාව තුළ පමණක් නොව අනෙකුත් කාලවලදීද යහපත් ප්‍රතිඵල ගෙනදෙන ක්‍රියාවකි. මහජනතාව ගමන්ගන්නා පොදු ප්‍රවාහන පද්ධතියටද ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදීමෙන් කෝවිඩ් පැතිරීම පාලනය කරගත හැකි බව පසුගිය කාලයේදී බොහෝ පිරිස් ප්‍රකාශ කරන්නට විය.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව නිර්මාණය වු කෝවිඩ් පොකුර මේ වන විට රටපුරා පැතිර ගොස් ඇති අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එය බරපතළ ලෙස පැතිර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මගින් මනාව පැහැදිලි වේ. මේ හේතුවෙන් කෝවිඩ් මර්දනය කිරීම වෙනුවෙන් වඩා ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බව පැහැදිලි ය. නමුත් එවැනි තත්ත්වයක් තුළ මෙරට පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ අවධානය නිසි පරිදි යොමු නොවීම කණගාටුවට කරුණකි. ඇඳිරිනීතිය පැනවීම, හුදකලා කිරීම් ආදිය හේතුවෙන් අසරණ වී සිටින ජනතාව තවත් අසරණ කරමින් බස් ගාස්තු ඉහළ දැමීමට පසුගියදා රජය කටයුතු කළේය. ඇඳිරිනීතිය නොමැති ප්‍රදේශවල දෛනික කටයුතු සිදුවන බැවින් මහජනතාවට සිය රාජකාරි සඳහා යෑමට සිදු වී ඇති අතර, ඒ වෙනුවෙන් පවතින පොදු ප්‍රවාහන සේවා සෞඛ්‍යාරක්ෂිතව ක්‍රියාත්මක වන්නේද යන ප්‍රශ්නය මතුව තිබේ. විශේෂයෙන් දුම්රිය මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කිසිවෙකු අවධානය යොමුකර නොමැත.

සාමාන්‍ය දිනවලදී මගීන් 500,000කට වැඩි ප්‍රමාණයක් දුම්රිය භාවිත කරන අතර, දුම්රිය සේවකයන් 12,000 ක් පමණ සේවය කරයි. එසේ වුවද දුම්රිය මගීන්ගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද පිළිගෙන ඇත.

පළමු කෝවිඩ් රැල්ල

පළමු කෝවිඩ් රැල්ල ඇති වූ පසුගිය මාර්තු මාසයේ ආසාදනය වූ පුද්ගලයන් සුළු පිරිසක් වුවද, ඒ අවස්ථාවේදී දුම්රිය දෙපාර්තමේන්තුව ගනු ලැබූ කිසිදු පියවරක් රෝගීන් ප්‍රමාණය බහුල වී තිබෙන මේ අවස්ථාවේ ක්‍රියාත්මක කර නොතිබීම කණගාටුවට කරුණකි. පළමු කෝවිඩ් රැල්ල ව්‍යාප්ත වූ අවස්ථාවේදී දුම්රිය ටිකට්පත් අන්තර්ජලය ඔස්සේ වෙන් කරවාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණු අතර, ඒ හරහා දුම්රිය මගීන්ගේ සියලු තොරතුරු විධිමත් ලෙස වාර්තාගත විය. යම්කිසි මගියෙකු ගමන් ආරම්භ කළ දුම්රිය ස්ථානය, ඔවුන් ගමන් කළ මැදිරිය සහ දුම්රියෙන් බැස ගත් දුම්රිය ස්ථානය වැනි සියලු තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුව සතු වූ අතර, ආසාදිතයෙකු වාර්තා වූයේ නම් ඒ සම්බන්ධයෙන් පහසුවෙන් කටයුතු කළ හැකිව තිබිණි. එම වැඩපිළිවෙළ සියයට සියයක්ම සාර්ථක නොවූවත්, කෝවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමට සහායක් විය. එසේ ම අන්තර්ජාලය හරහා ටිකට්පත් නිකුත් කිරීමේදී දුම්රිය මැදිරියේ ආසන ගණනට සරිලන මගීන් ප්‍රමාණයකට පමණක් ටිකට්පත් නිකුත් කිරීම ද සිදු විය. එමගින් සමාජ දුරස්ථභාවය තබාගැනීමට මගීන්ට හැකි වූ අතර, දුම්රිය ආසනවල ඒ ඒ මගියාට අසුන්ගැනීම සඳහා ස්ථානයක් සලකුණු කර තැබීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

දෙවැනි රැල්ල

කෙසේ නමුත් පසුගිය අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ඒ කිසිදු වැඩපිළිවෙළක් මේ දිනවල ක්‍රියාත්මක නොවේ. විවිධ ප්‍රදේශවලට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය නිසා මුළුමනින්ම පාහේ නවතා තිබූ දුම්රිය ධාවනය පසුගිය 09 වැනිදා සිට යළි ආරම්භ කෙරුණු අතර, එනමුත් ටිකට්පත් නිකුත් කිරීම සඳහා කිසිදු විශේෂ ක්‍රමවේදයක් මෙවර ක්‍රියාත්මක නොවීය. ඒ වෙනුවට සාමාන්‍ය පරිදි ඒ ඒ දුම්රිය ස්ථානයේ ඇති කවුන්ටරය වෙත මුදල් ගෙවා ටිකට්පත් මිලදී ගැනීමට දුම්රිය මගීන්ට සිදු වී ඇති අතර, සාමාන්‍ය පරිදි ටිකට්පත මිලදී ගැනීමේදී මුදල් සංසරණය ද වැඩි වන බැවින් එය මගියා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයා යන දෙපාර්ශ්වයම අවදානමක හෙළීමකි.

ප්‍රාථමික මානසිකත්වයන් ඇති කළමණාකාරිත්වයක්

මේ පිළිබඳව අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේ නවීන තාක්ෂණය සමඟ යාවත්කාලීන වන ලෝකයත් සමඟ අනුගතවීම වෙනුවට කොළ කැබැල්ලක නම, ගම ලියා පෙට්ටියකට බහාලීම ක්‍රමවත් සැලසුමක් බව සිතන තරමට ප්‍රාථමික මානසිකත්වයකින් ඉහළ කළමණාකාරිත්වය කටයුතු කිරීම ඛේදජනක බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් මේ වසර මුල සිට අවස්ථා ගණනාවකදී කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වළක්වාගත හැකි ආකාරයෙන් දුම්රිය ධාවනය කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම් සහ සැලසුම් කිහිපයක් ඉදිරිපත් කළත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවත් හෙතෙම පැවසීය.

‘මීට පිළියමක් ලෙස අප සංගමය විසින් අන්තර්ජාලය හරහා ටිකට් නිකුත් කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළා. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එය නොමිලේම ක්‍රියාත්මක කරලා දෙන්න එක සමාගමක් එකඟ වෙලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව මේ වන තෙක් කිසිදු සතුටුදායක පිළිතුරක් නැහැ. එම සැලැස්මට අනුව ඔවුන් ප්‍රථමයෙන්ම මගීන් කාණ්ඩ තුනක් සඳහා අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ රජයේ ආයතනවල සේවකයන්, පෞද්ගලික අංශයේ  අත්‍යවශ්‍යය රාජකාරිවල යෙදෙන සේවකයන් සහ පිරිසුදු කිරීමේ කටයුතු වැනි කාර්යයන්හි යෙදෙන අනෙකුත් මගීන්. එමෙන්ම එම සැලසුමට අනුව අදාළ වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා කරනවා. ඒ අනුව ප්‍රථමයෙන්ම දුම්රිය මැදිරියක සමස්ත මගී ධාරිතාවයෙන් සියයට හැත්තෑපහක් පමණ ප්‍රවාහනය කළ හැකි ආකාරයට පළමු අදියර ක්‍රියාත්මක කිරීමටත්, දුම්රිය මැදිරියක අසුන්ගෙන ගමන් කළ හැකි සම්පූර්ණ මගී ධාරිතාව ප්‍රවාහනය කිරීම දෙවන අදියරේදී සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම තෙවැනි අදියරේදී දුම්රිය මැදිරිය තුළ සීමිත මගීන් ප්‍රමාණයකට හිටගෙන යෑම සඳහා ද හැකි වන පරිදි ටිකට්පත් නිකුත් කිරීමට යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් පවතින තත්ත්වය සැලකීමේදී එහි දෙවැනි සහ තෙවැනි අදියරයන් ක්‍රියාත්මක කිරීමට නම් කෝවිඩ් වෛරස ව්‍යාපෘතිය අවසන් වන තෙක් සිටීමට සිදු වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. එසේ වුවද එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීම වර්තමාන තත්ත්වය අනුව ඉතාමත් කාලෝචිත බව ද ඔහු සඳහන් කළේය.

‘එම සැලසුමට අනුව වෙබ් අඩවියක් හා ජංගම දුරකතන යෙදවුමක් හරහා ආසන වෙන් කරවාගැනීම් කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට යෝජනා කරනවා.’ යනුවෙන්ද අප සමග අදහස් දක්වමින් ලේකම්වරයා පැවසීය.

Previous article‘ලංකාගම පාරේ හැංගූ ඇත්ත කැබිනට් තීරණයෙන් යළිත් එළියට !’
Next articleජල ගැලුම් නිම්න වනෝද්‍යාන මාර්ගයේ ඇත්ත ඉන්දුනීසියාවෙන් එළියට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here