ජල ගැලුම් නිම්න වනෝද්‍යාන මාර්ගයේ ඇත්ත ඉන්දුනීසියාවෙන් එළියට

(සාරා අත්තනායක)

මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමට ගෙන ඇති තීරණයට පරිසරවේදීහු දැඩි විරෝධයක් දක්වති.

ජනපති සමත් වෙයිද?

පොළොන්නරුව, මනම්පිටියේ සිට යක්කුරේ ප්‍රදේශය දක්වා පැවැති පැරණි මාර්ගයක් මෙසේ හදිසියේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ජාතික වනෝද්‍යානය ආරක්ෂා කිරීම සඳහා මෙම මාර්ගය භාවිතයෙන් ඉවත් කර, ඒ වෙනුවට මනම්පිටිය, දිඹුලාගල, පැලැටියාව, කළුකැලේ හරහා යක්කුරේට කාපට් සහිත පුළුල් මාර්ගයක් ඉදිකර ඇත. එසේ තිබියදී ප්‍රදේශයේ දේශපාලනඥයන් කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත මෙම මාර්ගය නැවත පුළුල් කිරීමට උත්සාහ දරන බවත්, එමගින් මෙම සුවිශේෂී විල්ලු පරිසර පද්ධතිය විනාශ වී යෑමේ අවදානමක් මතුවන බවත් ශ්‍රී ලංකා ජෛව විවිධත්ව හා පර්යේෂණ කවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියක සඳහන් වේ. ජනතාව උසිගන්වමින් සිදුකරන මේ විනාශකාරී ව්‍යාපෘතිය නතර කිරීමට මැදිහත් වන ලෙස එම සංවිධානයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ්ගේ අත්සනින් යවන ලද අදාළ ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

විශේෂ පරිසර පද්ධතියක්

1984 අගෝස්තු 07 දින ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත්තේ ප්‍රධාන අරමුණු කිහිපයක් සහිතව ය. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මගින් නිර්මාණය කෙරෙන සුවිශේෂී පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ පරිසර පද්ධතිවලින් සමන්විත, මහවැලි ගංගාවේ පිටාර තැන්න ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණකි. එසේම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හේතුවෙන් වාසභූමි අහිමි වූ වන අලින් ඇතුළු වනජීවීන් රැසකට වාසභූමි සැපයීමද මෙහි තවත් අරමුණකි. මෙම ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 17,350 ක භූමි ප්‍රමාණයකින් සමන්විත ය.

මෛත්‍රී සමත් තැනක්

මීට පෙර ද අවස්ථා ගණනාවකදී නීතිවිරෝධී ලෙස මෙම ජාතික වනෝද්‍යානයේ ඉඩම් වී වගාව සඳහා ලබාදීමේ උත්සාහයන් පැවති බව ප්‍රදේශවාසීහු පවසති. එසේම වනෝද්‍යාන සීමාවේ පිහිටි ගිරාමංකඩ නම් ප්‍රකට වැලි මංකඩ ඇතුළු වැලි මංකඩ කිහිපයක වැලි හෑරීම 2015 වසරේදී පමණ ආරම්භ කර ඇත. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුමැතියෙන් ය. එම නිසා භාවිත නොකිරීම නිසා කැලයට යට වී තිබූ මාර්ගය යළිත් භාවිත කිරීම ආරම්භ කර තිබේ. ගිරාමංකඩ නම් ස්ථානයේ සිට දමනෙවැව දක්වා මෙම මාර්ගය මෙසේ වැලි ලොරි ගමන් කිරීම නිසා එළිපෙහෙළි වූ බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති. කෙසේ වෙතත් මීට එරෙහිව පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව දැඩි විරෝධයක් දැක්වීම නිසා අදාළ ප්‍රදේශයේ වැලි හෑරීම හිටපු ජනාධිපතිවරයා විසින් ම තහනම් කර ඇත. ඒ වැලි හෑරීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් එවකට පැවැති ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධිත චක්‍රලේඛයත් සමග ය. ඉන්පසු අදාළ මාර්ග කොටස භාවිත කිරීම යළිත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තහනම් කර තිබේ.

ඡන්ද පොරොන්දුවක්

ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කළ අපේක්ෂකයන් කිහිපදෙනෙකුම මෙම මාර්ගය යළිත් විවෘත කර දෙන බවටත්, වැලි මංකඩවල වැලි හෑරීමට අවසර ලබාදෙන බවටත් පොරොන්දු වී ඇති බවයි. එම‌ පොරොන්දුවට අනුව වර්තමාන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී මේ මාර්ගය කඩිනමින් ඉදි කළ යුතු බවත්, එය ප්‍රදේශවාසීන්ගේ මූලික ඉල්ලීමක් බවත් පවසා තිබිණි.

ජනතාව වෙනුවෙන් පමණයි !

එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබුණේ අදාළ මාර්ගය ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් යන නිසා ඊට අවසර දිය නොහැකි බවයි. මෙහිදී ඇමැතිවරුන් අවධාරණය කර ඇත්තේ කෙසේ හෝ ජනතාවට මේ මාර්ගය ඉදිකර දිය යුතු බවයි. ඉන්පසු අවස්ථා කිහිපයකදී ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ රැස්වීම් කිහිපයකදී මෙම මාර්ගය ජාතික වනෝද්‍යානයට අදාළ නොවන බවත්, එය වනෝද්‍යානයට පිටතින්, වනෝද්‍යාන සීමාවේ ඇති බවත් පවසා ඇති අදාළ ඇමැතිවරුන්, ඊට අදාළ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වී තිබේ. පසුගිය 15 දින ද වනජීවී සංරක්ෂණ රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් වනජීවී නිලධාරි කණ්ඩායමක් මෙම මාර්ගය ඉදිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබිණි.

වනෝද්‍යානය තුළ බව තහවුරුයි

දමනෙවැව සිට යක්කුරේ හරහා මනම්පිටිය දක්වා තිබී ඇති මෙම මාර්ගය මුළුමනින්ම ජාතික වනෝද්‍යානය ඇතුළත පිහිටි බව ඊට අදාළ ඊට අදාළ සිතියම් පරීක්ෂා කිරීමේදී තහවුරු වේ. ගිරා මංකඩ ඇතුළු වැලිමංකඩවල් රැසක් පිහිටි යක්කුරේට ආසන්න මහවැලි ගඟේ වංගු සහිත ප්‍රදේශයේදී මෙම මාර්ගය ඇත්තේ ගඟට මීටර් 700 – 800 තරම් දුරකින් ය. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙතරම් ගඟට ආසන්නයෙන් ඇති මාර්ගය පුළුල් කිරීමෙන් මුළුමනින්ම අදාළ විල්ලු පරිසර පද්ධතිය විනාශ වන බවයි.

ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් සියයට 30 කට වඩා වාර්තා වන මහවැලි වනජීවී කලාපයේ ඇති තීරණාත්මක වනජීවී රක්ෂිතයක් වන්නේ මෙම ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයයි. මෙම සුවිශේෂී පරිසර පද්ධතියට පමණක් සීමාවූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ශරීර ප්‍රමාණයකින් යුතු විල් අලින් මෙහි දැකිය හැකිය. එසේම මෙම වනෝද්‍යානයට දකුණින් වස්ගමුව ජාතික වනෝද්‍යානය සහ උතුරින් සෝමාවතිය ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. මේ වනෝද්‍යාන එකට යා කරමින් පිහිටි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය අලින්ගේ සංචරණ මාර්ග රැසක් පිහිටි භූමියක් බව ද පරිසරවේදීහු පෙන්වා දෙති. අදාළ පැරණි මාර්ගය පුළුල් කිරීම හරහා වැලි මංකඩ ආරම්භ කිරීමත්, වී වගාව සඳහා ජාතික වනෝද්‍යානයේ ඉඩම් ලබාදීමත් අදාළ ඇමැතිවරුන්ගේ අරමුණ බවද පරිසරවේදීහු පවසති.

ව්‍යාපාරිකයන් වෙනුවෙන් පමණයි

ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ මෙම මාර්ගය තමන්ට අත්‍යවශ්‍ය නොවන බවත්, තමන්ගේ එදිනෙදා කටයුතු පෙර කී කළුකැලේ මාර්ගය හරහා සිදුකර ගත හැකි බවත් ය. එසේම ප්‍රවාහන පහසුකම් පවතින්නේ ද ඒ දෙසට බව පෙන්වා දෙන ඔවුහු, මෙම මාර්ගය පුළුල් කිරීම හරහා ව්‍යාපාර ආරම්භ කිරීම මගින් අලින් ගම්වැදීම වැඩි වශයෙන් සිදුවිය හැකි බව ද අවධාරණය කරති. පසුගිය 15 දා මෙම ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ සංචාරයේදී අලිවැට ප්‍රතිසංස්කරණය පිළිබඳ විෂය ද අයිති විමලවීර දිසානායක ඇමැතිවරයා නව අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

එහෙන් මෙහෙටද – මෙහෙන් එහෙට ද?

මේ අතර ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදුවීමට සමාන උදාහරණයක් ඉන්දුනීසියාවෙන් ද වාර්තා වේ. එරට පැපුවා කලාපයේ ජයපුර් සහ වමේනා නගර යා කරමින් මාම්බෙරමෝ ෆෝජා (Mamberamo Foja Wildlife Reserve) වනජීවී රක්ෂිතය මැදින් මාර්ගයක් ඉදිකිරීමට එරට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

හෙක්ටයාර් 950,000 ක විශාලත්වයකින් යුත් මෙම රක්ෂිතය දෙකඩ කිරීමේ තීරණය සම්බන්ධයෙන් එරට ආණ්ඩුව පවසන්නේ හුදෙකලා ප්‍රදේශවලට ප්‍රවේශවීම සහ ජනතාවගේ සුබසාධනය සඳහා මෙම මාර්ගය අනිවාර්යෙන්ම ඉදිකළ යුතු බවයි. මොන්ටේන් වැසි වනාන්තර, පහත් බිම් සහ කඳුකර වැසි වනාන්තර, මිරිදිය වගුරු වනාන්තර, ගංවතුරට ලක්වන තෘණභූමි, සැවානා සහ කඩොලාන ඇතුළු පරිසර පද්ධති 40 කින් සමන්විත මෙම වනජීවී රක්ෂිතයේ එරටට ආවේණික පක්ෂි විශේෂ 332 ක් සහ ක්ෂීරපායී විශේෂ 80 ක් වාසය කරන බව මොන්ගබේ වෙබ්අඩවිය (https://news.mongabay.com/2020/11/trans-papua-road-wamena-jayapura-mamberamo-foja-lorentz/) වාර්තා කරයි.

යතාර්ථය එළියට !

ඉන්දුනීසියාවේ වනජීවී රක්ෂිත තුළ මාර්ග ඉදිකිරීම සම්පූර්ණයෙන්ම තහනම් ය. කෙසේ වෙතත් 2014 දී වන සංරක්ෂණ අමාත්යංශය විසින් මෙම රක්ෂිතය හරහා මාර්ගයක් කැපීමට අවසරපත්‍රයක් නිකුත් කර ඇති බව රක්ෂිතය පිහිටා ඇති යළිමෝ දිස්ත්රික්කයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යාන් උකාගෝ පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් මාධ්‍යයට පවසා ඇත්තේ වනජීවී රක්ෂිත තුළ සතුන්ට පමණක් නොව මිනිසුන්ට ද ජීවත් විය හැකි බවත්, මෙම මාර්ගය ඉදිකිරීමෙන් පසු ඒ දෙපස නිවාස සහ ගොවිපොළවල් ඉදිවනු ඇති බවත් ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here