ජනාධිපති කාර්යසාධක බලකාය ගැන සාක්ෂි නෑ – විල්පත්තු තීන්දුවෙන් කියයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ලාරු ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම් නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.

මෙම එළිපෙහෙළි කිරීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමක් නිරීක්ෂණය වන බව තීන්දු කළ අධිකරණය, රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික මුදලින් එම ප්‍රදේශය නැවත වගා කරන ලෙසට ද නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක නියෝගය ලබාදෙමිනි.ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව දෙනු ලැබීය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියකලාපය මෙහිදී අභියාචනාධිකරණයේ දැඩි විවේචනයට ලක්වූ අතර, පෙත්සම් ගාස්තුව රජයෙන් සහ රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අයකරගන්නා ලෙසට ද නියෝග කෙරිණි. වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් රක්ෂිත වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කර අවතැන්වූවන් නැවත පදිංචි කරවීම සඳහා භාවිත කර ඇති බව අධිකරණය ඉදිරියේ ඇති සාක්ෂි මගින් තහවුරු වන බව නඩු තීන්දුවේ සඳහන් වෙයි.

වගඋත්තරකරුවන්

එම පෙත්සමේ වගඋත්තරකරුවන් මෙසේ ය.
1. අනුර සතරසිංහ,
වන සංරක්ෂණ ජනරාල්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

2. මධ්‍යම පරිසර අධිකාරිය

3. එච්.ඩී.  රත්නායක,
අධ්‍යක්ෂ ජනරාල්,
වනජීවී දෙපාර්තමේන්තුව

4. ආර්.පී.ආර්. රාජපක්ෂ,
ඉඩම් කොමසාරිස්,
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

5. ආචාර්ය සෙනරත් දිසානායක,
කොමසාරිස් ජනරාල්,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

6. දිස්ත්‍රික් ලේකම්,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
මන්නාරම

7. රිෂාඩ් බදියුදීන්,
(එවකට) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

8. එන්. රූපසිංහ,
ලේකම්,
පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය

9. නීතිපති,
නීතිපති දෙපාර්තමේන්තුව,

ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන සාක්ෂි නෑ

නැවත පදිංචි කිරීම, සංවර්ධනය හා ආරක්ෂාව සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය (උතුරු පළාත) සහ 1990 දී අවතැන් වූ මුස්ලිම් ගම්මානවල ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම කාර්ය සාධක බලකාය විසින් පත් කරන ලද කමිටුව විසින් ගනු ලැබූ තීරණ අනුව මෙම අයදුම්පතේ සඳහන් ඉඩම නැවත පදිංචි කිරීම සඳහා යොදාගෙන ඇති බව පෙත්සමේ සඳහන් විය.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් අධිකරණය ඉදිරියේ තහවුරු කර නොමැති බව අධිකරණය සඳහන් කරයි.

එහි මෙසේ සඳහන් වෙයි.

“මෙම කමිටුව හෝ කාර්ය සාධක බලකාය විසින් කරන ලද කිසියම් නිර්දේශයක් මත පදනම්ව, මෙම ඉඩම නැවත පදිංචි කිරීම සඳහා භාවිත කර ඇත්දැයි අධිකරණය 2019.07.31 වැනිදා රජයේ නීතිඥවරයාගෙන් විමසීය.උපදෙස් ලබාගැනීම සඳහා කාලය ගතවුවත්, අධිකරණය විසින් ඉල්ලා සිටි ආකාරයේ පැහැදිලි කිරීමක් ලබාදීමට ඔහුට නොහැකි විය.

ඒ වෙනුවට 2019 වසරේ නොවැම්බර් 22 දින මෝසමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ පෙර දුන් නියෝගය අවලංගු කිරීමට පියවර ගන්නා බවත්, අවතැන්වූවන් පදිංචි කිරීම සඳහා භාවිත කළ ඉඩම බැහැර කරමින් නව නියෝගයක් ලබා දෙන බවත්, නැවත පදිංචි කිරීම් අවශ්‍ය නම් සෑම අවස්ථාවකදීම අවතැන්වූවන් රක්ෂිත වනාන්තරයෙන් පිටත ස්ථානගත කිරීමට උත්සාහ කරනු ඇති බවත් ය.
කෙසේ වෙතත්, “1990 වර්ෂයේ (මන්නාරම් දිස්ත්‍රික්කය) අභ්‍යන්තරව අවතැන් වූ මුස්ලිම් පවුල් අතර ඉඩම් සම්බන්ධ ගැටළු පිළිබඳ අන්තර් නියෝජිත කමිටුවේ වාර්තාව” 2012.10.15 දිනැතිව ලබා දී ඇති අතර, ඒ අනුව මෙම පෙත්සමේ විෂය කරුණ වන ඉඩම 2012.10.20 දින සිට බලපැවැත්වෙන පරිදි රක්ෂිත වනාන්තර බවට පත්විය.
එබැවින් අධිකරණය හමුවේ ඇති සාක්ෂි මත අනාවරණය වන්නේ රක්ෂිත වනාන්තරයක් ලෙස අදාළ ඉඩම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කාර්ය සාධක බලකාය හෝ කාර්ය සාධක බලකාය විසින් පත් කරන ලද කමිටුව එම ඉඩම් නිදහස් කිරීමට කිසිදු කාර්යභාරයක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා මෙම ඉඩම නිදහස් කර ගැනීමට කටයුතු කර ඇත්තේ එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසිනි.
2013.01.15 වැනිදා 7 වැනි වගඋත්තරකරුගේ සභාපතිත්වයෙන්, පරිසර හා තිරසර බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් සහ ඔහුගේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර, එහිදී අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

එවකට වන සංරක්ෂණ ජනරාල් කේ.ජී. ආරියදාස මෙම රැස්වීමට සහභාගි වී වෙන් කළ වනාන්තර ඉඩම් නිදහස් කිරීමේ තීරණයට අත්සන් කළේය.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා එවැනි රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීම කළ හැකිව තිබුණේ වන සංරක්ෂණ ආඥා පනතේ 4 (2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් නියෝගයක් නිකුත් කර ඇත්නම් පමණි. නමුත් එවැනි නියෝගයක් නිකුත් කර නැත.

එබැවින්, වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සිදු කර ඇති බව අධිකරණය නිගමනය කරයි.”

පෙත්සමේ ඉල්ලීම්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තියේ විධිවිධාන යටතේ සහ සර්ටියෝරාරි සහ මැන්ඩාමූස් නියෝගයක් නිකුත් කරන ලෙස රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙත්සම්කරු පහත ඉල්ලීම් සිදුකර තිබිණි.

අ) මඩු පාර අභයභූමියේ හා මඩු පාර වන රක්ෂිතයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාරයිචුක්කඩි / කරදිකුලි උතුරු අභයභූමියේ එළිපෙහෙළි කිරීම සහ පවත්නා නීතියට අනුකූල නොවන ලෙස ඉහත විස්තර කර ඇති නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් 1 වන සහ 6 වන වගඋත්තරකරුවන් විසින් කරන ලද නියෝග අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හා එම නීතිවිරෝධී නිවාස ව්‍යාපෘතිය ඉවත් කරන ලෙසට නියෝග කරන ලෙසත්,

ආ) ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත සහ සත්ත්ව හා ශාක ආරක්ෂණ ආඥා පනත සහ පුරාවස්තු ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව අදාළ ව්‍යස්ථාපිත රාජකාරිය ඉටු කිරීමේදී ව්‍යාපෘති අනුමත කරන ආයතනයකින් ඒ සඳහා අනුමැතිය ලබානොගෙන මඩු පාර අභයභූමියේ හා මඩු පාර වන රක්ෂිතයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාරයිචුක්කඩි / කරදිකුලි උතුරු අභයභූමියේ ප්‍රදේශ අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සහ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම, නීතිවිරෝධී ලෙස අනවසරයෙන් පදිංචි කිරීම සම්බන්ධව පෙත්සමේ විස්තර කර ඇති ව්‍යවස්ථාපිත රාජකාරි වඩාත් හොඳින් ඉටු කරන ලෙස 1, 2, 3, 4 සහ 8 වන වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙසත්,

(ඇ) වනාන්තරය නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා අනවසරයෙන් පදිංචි කරවීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ (සංශෝධිත) පරිදි වනාන්තර රක්ෂිතයට වනාන්තර ඉඩම් නැවත ස්ථාපිත කිරීම සහ වනාන්තර නැවත සිටුවීමේ වැඩසටහන සංවිධානය කරන ලෙසට මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙසත්.

ඉල්ලීම් ගැන අධිකරණයේ මතය

පෙත්සමේ ඉල්ලා ඇති සහන සම්බන්ධයෙන් අධිකරණය මෙසේ සඳහන් කර තිබේ.

“මෙම අයැදුම්පතට අවශ්‍ය පාර්ශ්වයන් ඉදිරිපත් කර නොමැති බැවින් සහතික පත්‍රයේ රිට් ප්‍රකාරව ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බව අභියාචනාධිකරණය සඳහන් කර තිබේ. සර්ටියෝරාරි රීට් පෙත්සමක් සඳහා වන අයැදුම්පතේ ප්‍රතිඵලයෙන් පීඩාවට පත්වන සියලු දෙනා වගඋත්තරකරුවන් බවට පත් කිරීම සත්‍ය නීතියක් බව විජේරත්න (මෝටර් රථ ගමනාගමන කොමසාරිස්) එදිරිව ආචාර්ය පරගොඩ විමලවංස හිමි සහ තවත් හතර දෙනෙකුගේ (2011) පෙත්සමක තීන්දුවක් උපුටා දක්වමින් අභියාචනාධිකරණය සඳහන් කරයි.

මෙම අයැදුම්පතේ විෂය කරුණු සැකසෙන ප්‍රදේශවල නැවත පදිංචිවීම සිදුවී ඇති බවත්, නැවත පදිංචිවූවන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කර ඇති බවත් වගඋත්තරකරුවන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එම නම් හෙළි කිරීමෙන් පසුව පවා මෙම පාර්ශ්වයන් වගඋත්තරකරුවන් ලෙස ඇතුළත් කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී තිබේ.

එබැවින් වනාන්තරය නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස 1 වන වගඋත්තරකරුට නියෝග කිරීම සහ අනවසරයෙන් පදිංචි කරවීම සහ අදාළ රක්ෂිතයට වනාන්තර ඉඩම් නැවත ස්ථාපිත කිරීම සහ සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන යටතේ හා නැවත වගා කිරීමේ වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් 1 වන වගඋත්තරකරුට මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති සහනය ලබාදීමට පමණක් මෙම අධිකරණයට බලය ලැබී තිබේ.

දෙනු ලබන එම නියෝගය මෙම අයැදුම්පතේ පාර්ශ්වකරුවකු නොවන කිසිදු පුද්ගලයෙකුට බලපාන්නේ නැති නිසා එය ගැටළුවක් වන්නේ නැත.”

‘Polluter Pays’ මූලධර්මය

එළිපෙහෙළි කර ඇති වනාන්තර කොටස් නැවත රෝපණය කිරීමට වැය වන මුදල රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අය කරගන්නා ලෙස පෙත්සම්කරු ඉල්ලා නොමැති අවස්ථාවක එම වනාන්තර නැවත රෝපණය කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අයකරගන්නා ලෙස නියෝග කරනු ලබන්නේ දූෂකයා ගෙවීමේ මූලධර්මය (Polluter Pays principle) අනුව බව අභියාචනාධිකරණය නඩු තීන්දුවේ දක්වා ඇත.

එහි මෙසේ දැක්වෙයි.

“රියෝ ද ජැනෙයිරෝ ප්‍රකාශනයේ 16 වන කරු⁣ණේ දක්වා ඇති දූෂකයා විසින් වන්දි ගෙවීමේ මූලධර්මය (Polluter Pays Principle) ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදී පිළිගනු ලැබ ඇත.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කර ඇති පරිදි මෙම මූලධර්මයෙන් අදහස් කරන්නේ පරිසරයට සිදුවන හානිය සඳහා වගකීමට එම පරිසර හානියට ගොදුරුවූවන්ට වන්දි ගෙවීම පමණක් නොව පාරිසරික හායනය යථා තත්ත්වයට පත් කිරීමේ පිරිවැය ද ඇතුළත් වන බවයි.

හානියට පත් පරිසරය යථාතත්ත්වයට පත්කිරීම තිරසර සංවර්ධන ක්‍රියාවලියේ කොටසක් වන අතර, එම නිසා වගකිවයුත්තා විසින් පීඩාවන්ට පත් පුද්ගලයන්ට මෙන්ම හානියට පත් පරිසරය යථාතත්ත්වයට පත් කිරීමේ පිරිවැය ද ගෙවීමට බැඳී සිටී.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද මෙම මූලධර්මය පිළිගෙන නඩු තීන්දුවලට යොදාගෙන තිබේ.

  • බුලන්කුලම සහ තවත් අය එදිරිව කාර්මික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් (2000)
  • විජේබණ්ඩා එදිරිව වන සංරක්ෂණ ජනරාල් (2009)
  • කාරියවසම් එදිරිව මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් අය

බුලන්කුලම සහ තවත් අය එදිරිව කාර්මික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නඩුවේදී අධිකරණය කියා සිටියේ පාරිසරික හානිය සඳහා වන අය කිරීම පොදු ප්‍රජාව මතට වැටීමට ඉඩ නොදී එවැනි හානියක් සිදු කරන පාර්ශ්වය විසින් දැරිය යුතු බවයි.”

නියෝග

දූෂකයා ගෙවීමේ මූලධර්මය අනුව අභියාචනාධිකරණය පහත නියෝග නිකුත් කර තිබේ.

“නඩුවේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා භාවිත කරන රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ප්‍රදේශයක 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන (සංශෝධිත) යටතේ නැවත ගස් සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට පළමුවැනි වගඋත්තරකරුට (වන සංරක්ෂණ ජනරාල් – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව) නියම කරමින් මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරනු ලබයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) වගන්තිය මගින් සොබාදහම ආරක්ෂා කිරීම සහ එය සංරක්ෂණය කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම මූලික යුතුකමක් බවට නියම කරයි.  මෙයට රාජ්‍ය නිලධාරීන් සහ 7 වන වගඋත්තරකරු වැනි ජනතා නියෝජිතයන් ද ඇතුළත් වේ.

මෙම ව්‍යවස්ථාමය යුතුකම සැලකිල්ලට ගනිමින්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා රක්ෂිත වනාන්තර මුදාහැරීමට 7 වන වගඋත්තරකරු දායක වී ඇති තත්ත්වයක් මත, මෙම වැඩසටහනේ පිරිවැය දැරීම සඳහා රජයට එනම් බදු ගෙවන්නාට සිදුවීම විහිළුවකි.

7 වන වගඋත්තරකරුට එරෙහිව පෙත්සම්කරු විසින් කිසිදු සහනයක් ඉල්ලා නොමැති වුවද, 7 වැනි වගඋත්තරකරුට එරෙහිව දූෂකයා ගෙවීමේ මූලධර්මය ක්‍රියාත්මක කිරීමට සහ ඔහුට එරෙහිව මෙවැනි නියෝග ලබාදීමට අධිකරණයට බාධාවක් නැත.ඔහු මෙම පෙත්සමේ පාර්ශ්වකරුවෙකු වන අතර, ඔහු විරෝධතා සහ ලිඛිත කරුණු ද ඉදිරිපත් කර ඇත.

“අධිකරණයට සුදුසුයැයි හැඟෙන වැඩිදුර සහන” ලබාදෙන්නැයි පෙත්සමෙන් ඉල්ලා සිටීම 7 වැනි වගඋත්තරකරුට එරෙහිව මෙවැනි නියෝග ලබාදීමට ප්‍රමාණවත් වේ.
එබැවින්, අධිකරණය හමුවේ ඇති සාක්ෂි අනුව, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා රක්ෂිත වනාන්තර ඉඩම් ලබාගැනීමට ඔහු මැදිහත්වී ඇති නිසා දූෂකයා ගෙවීමේ මූලධර්මය භාවිත කරමින් මෙම නැවත ගස් සිටුවීමේ වැඩසටහනේ සම්පූර්ණ පිරිවැය දරන ලෙස 7 වන වගඋත්තරකරු වන රිෂාඩ් බදියුදීන් වෙත අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (1 වන වගඋත්තරකරු) වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් අධිකරණය විසින් තීරණය කරන ලද ගස් සිටුවීමේ වැඩසටහනේ පිරිවැය ගණනය කර, මෙම පිරිවැය පිළිබඳ 7 වන වගඋත්තරකරුට දැනුම් දෙන ලෙසත්, එම මුදල ඔහු විසින් ගෙවිය යුතු ගිණුමේ විස්තර ලබාදිය යුතු බවත්, මෙම නියෝගය ලබාදුන් දින සිට මාස දෙකක් ඇතුළත 07 වැනි වගඋත්තරකරු විසින් එය ගෙවිය යුතු බවත් තීන්දු කරයි.”

එසේම ජනරාල්වරයා විසින් සිදුකරන දැනුම් දීමේ සිට මාසයක් ඇතුළත 7 වැනි වගඋත්තරකරු එම මුදල ගෙවිය යුතු බව ද තීන්දුවේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here