හුදකලා ප්‍රදේශවල ජනතාවට ලැබෙන සහන ප්‍රමාණවත් නෑ – කොළඹ නගරාධිපතිනිය

(නිලුක සඳුන් පද්මසිරි)

කොළඹ මහ නගර සභා සීමාව තුළ හුදකලා ප්‍රදේශවල සිටින පවුල් සඳහා ලැබෙන සහන පිළිබඳව තමා සෑහීමකට පත් වෙන්නේ නැතැයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

පීසිආර් පරීක්ෂණ සිදු කර කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගත් පුද්ලගලයින් සිටින පවුල් වලට පමණක් නොව හුදකලා ප්‍රදේශ වල සිටින සියලුම පවුල් සඳහා වියලි ආහාර ලැබිය යුතු බව ද ඇය කීවාය. කොරෝනා වෛරසය සමග ජීවත් වෙන්නැයි කෙතරම් ජනතාවට කීවත් පැල්පත්වාසී දුගී දුප්පත් ජනතාවට එලෙස කිරීමට අවකාශයක් නැතැයි ද ඔවුන්ට වෙන් වෙන් ලෙස ජීවත් වීමට නිවෙස් තුළ ඉඩ පහසුකම් සහ වැසිකිළි පහසුකම් නැතැයි ද ඇය පෙන්වා දුන්නාය. එම නිසා කොළඹ නගරය තුළ කොරෝනා දැඩි පාලනයක් සිදු නොකළහොත් විශාල පිරිසක් මිය යෑමේ ප්‍රවණතාවය වැඩි වෙනු ඇතැයි ඇය සඳහන් කළාය. කොරෝනා වෛරසය සමඟ ජීවත් වීම යනු දෙවැනි රැල්ල සමඟ ජීවත් වීම නොවන බව ද ඇය පැවසුවාය.

“මම විශ්වාස කරනවා කොරෝනා වෛරසය සමඟ ජීවත් වෙනවා කියන්නේ දෙවැනි රැල්ල සමඟ ජීවත් වෙනවා කියන එක නෙවෙයි. කොරෝනා වෛරසය සමඟ ජීවත් වෙන්නනම් දෙවැනි රැල්ල පාලනය කළ යුතුයි.” ඇය කීවාය.

දෙවැනි රැල්ල පාලනය කර කොරෝනා වෛරසය සමඟ ජීවත් වීමට කිසියම් වැඩපිළිවලක් සැකසිය යුතු බවද ඒ සඳහා රජය ක්‍රියා කළ යුත්තේ කෙසේද? ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද? කොළඹ මහ නගර සභාව ක්‍රියා කළ යුත්තේ කෙසේද? සෞඛ්‍ය අංශය ක්‍රියා කළ යුත්තේ කෙසේද? ව්‍යාපාරික ජාලය ක්‍රියා කළ යුත්තේ කෙසේද? යන්න සඳහන් කර නිසි සැලැස්මක් වසංගත රෝග විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දිය යුතු බව රෝසි සේනානායක මහත්මිය අවධාරණය කළාය.

“කසළ ඉවත්කිරීමටවත් කෙනෙක් ඉතුරු වෙන එකක් නෑ”

කොළඹ නගරයේ කැළි කසල සුද්ධ පවිත්‍ර කිරීම් මල නල පද්ධති සුද්ධ පවිත්‍ර කිරීම් අවදානම් තත්ත්වය හමුවෙදීත් අඛණ්ඩව සිදු කරගෙන යන නමුත් කොළඹ නගරයේ ජනතාව අසීමාන්තික ලෙස අසනීප වුවහොත් අවසානයේදී කොළඹ නගරයේ කැළි කසල, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමට පවා ඉදිරියේදී කෙනෙකු නැති වේයැයි ඇය අනතුරු ඇඟවූවාය.

පාලනය කිරීමට ක්‍රමවේදයක් දෙන්න

මධ්‍යම රජයට මේ තත්ත්වය පාලනය කිරීමට යම් කිසි නිර්ණායකයන් හරහා හැකි ක්‍රමවේදයක් සකසා දෙන්නැයි තමා වසංගත රෝග විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව සේනානායක මහත්මිය සඳහන් කළාය.

මුළු කොළඹ නගරයම අවම සති 03 ක කාලයක් හුදකලා කරලා එහි සිටින කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඔවුන්ව නිරෝධායනයට ලක් කර එම ප්‍රදේශ වල සංචරණ සීමා දැඩිව තර කර අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් නගරය විවෘත කර, ආහාර බෙදා හැරීම, බේත් හේත් බෙදාහැරීම පමණක් කියාත්මක කරමින් ඔවුන්ට ජීවත් වීමට නිසි ක්‍රමවේදයක් සැකසීම මඟින් මේ තත්ත්වය පාලනය කිරීමට හැකියැයි තමා විශ්වාස කරන බව ඇය කීවාය. කොළඹ නගරය දැඩි පාලනයට නතු කර සංචරණය සීමා නොක⁣ළොත් මීට වඩා භයානක තැනකට යාමට සිදු වනු ඇතැයි ද දින 14 ක් හෝ දින 21 ක කාලයක් අවදානම් ප්‍රදේශ හුදකලා කර මේ තත්ත්වය පාලනය කළේ නැතහොත් භයානක තත්වයක් ඇති වනු ඇතැයි ද ඇය අනතුරු ඇඟවූවාය.

මේ තත්ත්වය පාලනය කළ පසු අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සිදු කර මෙම වෛරසය තවමත් සමාජයේ පවතිනවාද නැද්ද යන්න තහවුරු කරගෙන රට විවෘත කළ යුතු බව ද නැතහොත් මෙම වෛරසය අනික් ප්‍රදේශ වලටත් ඉතාමත් සීග්‍රයෙන් පැතිරී යාමේ ඉඩකඩ වැඩි බව ද ඇය පෙන්වා දුන්නාය.

ඇය මෙසේද සඳහන් කළාය.

“වසංගත රෝග විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය උපදෙස් වලට අනුව අපි ක්‍රියාත්මක වුණේ නැතිනම් ඔවුන්ට අපිට දොස් පවරන්න පුළුවන්. මට තේරෙන විදියටනම් අපි මේ හුදකලාවේ අතපත ගාමින් සිටිනවා.”

අහඹු පරීක්ෂණ කරන්න වත්කමක් නෑ

කොළඹ නගර සභාවට හැකි පමණින් කටයුතු කරන නමුත් නගරය ආරක්ෂා කිරීමට අනිවාර්යෙන්ම මධ්‍යම රජයේ සහයෝගය අවශ්‍ය බව ඇය කීවාය.

කොරෝනා ආසාදියන්ගේ පළමුපෙළ සහ දෙවනපෙළ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කරන නමුත් අහඹු ලෙස තොරා ගත් පුද්ගයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරිමට වත්කමක් හෝ පහසුකමක් නැතැයි ඇය පැවසුවාය.

විශ්‍රාම ගිය සෞඛ්‍ය සේවකයින් නැවත සේවයට

පවතින තත්ත්වය හමුවේ නගර සභාවේ සෞඛ්‍ය කණ්ඩායමට සහයෝගය ලබා දීමට මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදියන් තාවකාලිකව නැවත සේවයේ යෙදවීමටත්,වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහය දෛනික දීමනාවක් සමග ලබා ගැනීමටත් තීරණය කර ඇතැයි සේනානායක මහත්මිය කීවාය.

අපේ ආරක්ෂාව අපි බලාගත යුතුයි – කවුරුත් අපිව බලාගන්න එන්නේ නෑ

“මම මේ අවස්ථාවේදී ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා. අපේ ආරක්ෂාව අපිම සලසා ගත යුතුයි. අපේ ආරක්ෂාව අපි සලසා ගත්තේ නැතිනම් අපිව බලාගන්න කවුරුවත් එන්නේ නැහැ. සෞඛ්‍ය නිර්දේශ වලට අනුව කටයුතු කරලා කොරෝනා පාලනය කිරීමට රජයටත්, කොළඹ මහ නගර සභාවටත් සියලුම දෙනාගේ සහයෝගය ලබා දීමට කටයුතු කරන්න.” යැයි ඇය සඳහන් කළාය.

මුඛ ආවරණ මැසීමට ස්වයං රැකියාවක්

කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන ලක්ෂ 6 ½ ක් සමස්ථ ජනතාවටම මුඛ ආවරණ නොමිලේ ලබා දීමට කටයුතු කරන බව ද කොළඹ මහ නගර සභා සීමා තුළ කාන්තාවන්ට මුඛ ආවරණ මැසීම ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දිමට කටයුතු කරන බවත් රෝසි සේනානායක මහත්මිය කීවාය.

මේ අවස්ථාවේදී හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බලා කටයුතු කළ යුතු බවත් තමාත් නාගරික මන්ත්‍රීවරුනුත් එකතුව කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වල පවුල් 70,000 ක් සඳහා වියළි ආහාර මළු ලබා දීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

ඇය මෙසේද සඳහන් කළාය.

“නගර සභාවේ දේශිය වෛද්‍ය දෙපාර්තමේන්තුව හරහා සිදු කරගෙන යනු ලබන සියලුම වෛද්‍ය සායන අඛණ්ඩව පවත්වාගෙන යනවා වගේම ජනතාවට අවශ්‍ය කරන ඖෂධ ඔවුන්ගේ නිවෙස් තුළටම ලබා දීමට කටයුතු කරනවා.

ජනතාවට සනීපාරක්ෂක පහසුකම් ලබා දීම සඳහා සෞඛ්‍ය උපකරණ කට්ටල 5,000 ක් මේ වන විටත් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මම රාජ්‍ය සහ පෞද්ගලික අංශ වලින්, ව්‍යාපාරික ස්ථාන වලින් සහ බැංකු වලින් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර ලබා දීමට සහයෝගය අපේක්ෂා කරලා ලිඛිතව ඉල්ලීම් සිදු කරලා තියෙනවා.

මම නගරාධිපතිනිය හැටියට මාගේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.”

 

Previous articleජනාධිපති කාර්යසාධක බලකාය ගැන සාක්ෂි නෑ – විල්පත්තු තීන්දුවෙන් කියයි
Next articleකොරෝනා මරණ භුමදානය ගැන හිමිවරු කී කතා බොරු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here