සෞඛ්‍ය – ආරක්ෂක වෙනුවට වසංගතයේ වැඩිම අවදානම ඇත්තේ නීතිඥවරුන්ට ද?

(ශාලික විමලසේන)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නීතිඥවරුන්ට ප්‍රතිකාර ලබාගැනීමට සහ නීතිඥවරුන්ට වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කරන පීසීආර් පරීක්ෂණ සඳහා විශේෂයෙන් රෝහල් වෙන්කරවා ගැනීමේ උත්සාහය පිළිබඳව විවිධ ක්ෂේත්‍රවල විරෝධය එල්ල වී තිබේ.

සභාපති තහවුරු කරයි

රජයේ සෑම රෝහලකම සනීපාරක්ෂක පහසුකම් ඇතුළු ප්‍රමාණවත් පහසුකම් නොමැති නිසා මෙවැනි තීරණයක් ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරියගෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සූදානම් වේ. මේ සම්බන්ධයෙන් MediaLK කරන ලද විමසීමකදී නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඒ බව තහවුරු කළේය. මේ වනවිට ඒ සම්බන්ධයෙන් රෝහල් සමග සාකච්ඡා කිරීමට තීරණයක් ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් එය සාර්ථක වේදැයි පැවසිය නොහැකි බවත්, මේ වන තෙක් එසේ වෘත්තිකයන්ට වෙනම අදාළ පහසුකම් සැපයීමේ තීරණයක් රජය පාර්ශ්වයෙන් ගෙන නැති බවත් පැවසූ සභාපතිවරයා, මේ පිළිබඳ අවසන් තීරණයක් අද (15) පස්වරුවේ ගැනීමට නියමිත බව ද කියා සිටියේය.

වෙන්ඩ සභාපතිගෙනුත් ලිපියක්

මෙසේ වෘත්තිකයන්ට වෙනම පහසුකම් සැපයීමේ හැකියාවක් දැනට නැති බවත්, එවැනි තීරණයක් රජය පාර්ශ්වයෙන් ගනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවත් මේ පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මීළඟ සභාපති ධුරයට තරග කරන ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා විසින් ද ඊයේ (14) මෙවැනි ඉල්ලීමක් සහිත ලිපියක් සංගමයේ වර්තමාන සභාපතිවරයා වෙත යවා තිබිණි. එම ලිපියේ අවසන් ඡේදයේ සඳහන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකා නීතිඥ සංගම් සාමාජිකයන්ගේ වෘත්තීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛරසය ආසාදනයට ගොදුරු වන නීතිඥවරුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සහිත සුදුසු රෝහල් වෙන්කිරීමට ඇති හැකියාව සොයාබලන ලෙසයි. සෞඛ්‍ය ඇමැතිවරිය ද නීතිඥවරියක වන නිසා මීට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

සෞඛ්‍ය – ආරක්ෂක නම් කමක් නෑ

මේ ආකාරයට වෘත්තිකයන් සඳහා වෙනම පහසුකම් සැපයීමේ ධාරිතාවක් රසායනාගාරවල තිබේදැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ රසායනාගාරවල එවැනි අර්බුදයක් නැතත්, වෘත්තීන් සඳහා මෙවැනි වෙන්කිරීමක් කරන්නේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. සෞඛ්‍ය සේවයේ වරප්‍රසාද ජනතාවට පොදුවේ ලැබිය යුතු බව ද පෙන්වා දෙන සභාපතිවරයා, මෙසේ විශේෂකරණය කරන්නේ නම් නීතිඥවරුන්ට පෙර අවධානය යොමු විය යුතු වෙනත් පාර්ශ්ව ගණනාවක් සිටින බව ද සඳහන් කළේය. ජනතාව සමග වැඩියෙන් ගැටෙන සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ සහ පොලිසිය මේ අතරින් ප්‍රධාන වන බව ද සඳහන් කරන ඔහු, එවැනි පාර්ශ්වවලට විශේෂයෙන් මෙම පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ජනතාව අතරින් විරෝධයක් මතු නොවනු ඇතැයි ද පැවසීය.

ධාරිතාවට සාම්පල් නැත

වැඩිදුරටත් අප කළ විමසීමට පිළිතුරු දෙමින් සභාපතිවරයා පැවසුවේ රසායනාගාරවල පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව පිළිබඳ ගැටළුවක් නැති බවත්, එය කළමනාකරණය කිරීමේ ගැටළුවක් පමණක් ඇති බවත් ය. රජයේ රසායනාගාර 20 ක පමණ පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත්, එයින් 16 කටම ධාරිතාවට අවශ්‍ය තරම් පීසීආර් පරීක්ෂණ කිරීමට සාම්පල් නොලැබෙන බවත් පැවසූ ඔහු, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය, කටුනායක සහ කරාපිටිය රසායනාගාරවල පමණක් ධාරිතාවට අනුව කටයුතු සිදුවන බව ද පැවසීය.

පොලිසියට පීසීආර් නියෝග

මේ අතර ජනතාව සමග වැඩියෙන්ම ගැටෙන පාර්ශ්වයක් වන පොලිස් නිලධාරීන්ට ප්‍රමාණවත් පරිදි පීසීආර් පරීක්ෂණ සිදු නොකිරීම සම්බන්ධයෙන් ද බරපතළ ගැටළුවක් මතු වී තිබේ. එසේ තිබියදී පසුගිය 11 වැනිදා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ අත්සනින් ඉහළ පොලිස් නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකළ ලිපියක් මගින් පහත උපදෙස් ලබා දී තිබේ.

  1. පෞද්ගලික වියදමින් පීසීආර් පරීක්ෂණ සිදු කරන්නේ නම්, ඒ බව තම අංශ ප්‍රධානියාට දැනුම් දිය යුතුය.
  2. එවිට අංශ ප්‍රධානියා විසින් ඒ බව පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී උපදෙස් ලබාගත යුතුය.
  3. රජයේ වියදමින් එම පරීක්ෂණය සිදු කිරීමට අදාළ අංශ තීරණය කළහොත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.
  4. රජයේ වියදමින් පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නොහැකි බව දැනුම් දුන්නේ නම්, පෞද්ගලික වියදමින් එය කරගැනීමට අවශ්‍ය උපදෙස් අදාළ නිලධාරියාට ලබාදිය යුතුය.
  5. අදාළ පීසීආර් පරීක්ෂණය රජයේ වියදමින් සිදු කළද, පෞද්ගලික වියදමින් සිදු කළද, පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා විසින් නියම කරන ලද ස්ථානයක නිරෝධායනය විය යුතුය.

උපදෙස් කැඩුවොත් විනය පියවර

ඉහත උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද එම ලිපිය මගින් වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත. කෙසේ වෙතත් කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දෙන්නේ ඔවුන්ට අදාළ පීසීආර් පරීක්ෂණ සිදු නොකරන බවත්, දිගටම රාජකාරි සඳහා යෙදවීම නිසා දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ය. උදාහරණයක් ලෙස පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු ඇතුළු නිලධාරීන් දෙදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුවද, ඔවුන් සමීපව ඇසුරු කළ නිලධාරීන්ට පවා මෙතෙක් පීසීආර් පරීක්ෂණ සිදු කර නැති බවත්, එම නිලධාරීන්ට පෞද්ගලික වාසස්ථානවල රැඳීසිටීමට සිදු වී තිබීම දැඩි අවදානමක් බවත් ය.
පොලිස් රෝහලට හෝ එහි වෛද්‍ය අංශයට මෙවැනි වගකීමක් දැරීමේ හැකියාවක් ඇද්දැයි අප කළ විමසීමේදී පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය කාලිංග ගිනිගේ සඳහන් කළේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි බවත්, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කිරීම තම වගකීමක් බවත් ය.

සාධාරණ අයිතිය

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරන ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසාගේ අදාළ ලිපිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ මේ ආකාරයට වසංගත තත්ත්වය තුළ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නියම නොකළ පාර්ශ්වයකට එසේ ඉල්ලීමක් කිරීමට සාධාරණ අයිතියක් නැති බවයි. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ද මීට සමාන අදහසක් දරන අතර, අප සමග අදහස් දැක්වූ එවැනි කිහිපදෙනෙකු පැවසුවේ තමන්ට‌ පෞද්ගලික මට්ටමින් මුදල් වියදම් කොට අදාළ පරීක්ෂණ සිදුකර ගැනීමට මෙන්ම රෝහල් පහසුකම් ලබාගැනීමට අයිතියක් තිබුණද, රජයේ රෝහල්වල කටයුතු සම්බන්ධයෙන් මෙසේ මැදිහත් වීම අනුමත කළ නොහැකි බවයි.

 

Previous articleදියවන්නා ඔයේ මසුන් ඇල්ලූ තරුණයාගේ මරණය කොරෝනා පිටින් යැවීමේ උත්සාහයක් – පවුලේ ඥාතීහු චෝදනා කරති !
Next articleසීනි ගැසට් එක වලංගු දවසකට පමණයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here