දියවන්නා ඔයේ මසුන් ඇල්ලූ තරුණයාගේ මරණය කොරෝනා පිටින් යැවීමේ උත්සාහයක් – පවුලේ ඥාතීහු චෝදනා කරති !

දියවන්නා ඔයේ මසුන් අල්ලමින් සිටියදී ඔරුව පෙරළීමෙන් මියගිය බව පැවසූ තරුණයාගේ මරණයට හේතුව ආරක්ෂක අංශවල මෝටර් බෝට්ටුවක් ඔරුවේ හැප්පීම බවත්, එම සිද්ධිය යටපත් කිරීම සඳහා අදාළ තරුණයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි පවසා ඔහුගේ සිරුර පුළුස්සා මීට අදාළ සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් මියගිය තරුණයාගේ පවුලේ ඥාතීහු පවසති.

මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ අදාළ තරුණයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා නොවූ බවයි. දැනට ලැබී ඇති වාර්තාවලට අනුව එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් මේ බව තහවුරු කළේය.

රාජගිරිය, වැලිකඩ, බුත්ගමුව, ඇළ ඉවුර පාරේ 111/9/බී අංක දරන නිවසේ පදිංචිව සිටි අවුරුදු 26 ක් වයසැති රාජේන්ද්‍රන් රවීන්ද්‍රන් මෙසේ මියගොස් තිබේ. අවුරුදු පහක් වයසැති පිරිමි දරුවකු සහ මාසයක් වයසැති ගැහැණු දරුවකු ඔහුට සිටී. ඔහුගේ වැඩිමහල් සහෝදරියක වන මැක්සි ජෙන්සී MediaLK වෙත පැවසුවේ යුද හමුදාපතිවරයාගේ නිවසේ ආරක්ෂාවට යොදවා ඇති බෝට්ටුවක් මෙසේ අදාළ තරුණයන් රැඳී සිටි ඔරුවේ හප්පා ඇති බවයි. තම සහෝදරයා සහ ඔහුගේ මිත්‍රයා මෙහිදී වරදක් කර ඇති බව ද ඇය සඳහන් කළාය. ඒ අධිආරක්ෂිත කලාපයට ඇතුළුවීම ය. එහෙත් දියවන්නා ඔය ගලාබසින දියත උයන උද්‍යානය අසල නිල් පාලම යට ඇති ගේට්ටුවේ කොටසක් මාස හයක පමණ සිට විවෘතව පවතින බව ද ඇය කීවාය. මේ නිසා ඔවුන් අදාළ ගේට්ටුවෙන් ඇතුළු වී අධිආරක්ෂිත කලාපයට යන්නට ඇති බවත්, ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට නොගෙන, මෙසේ බෝට්ටුවකින් හප්පා මරා දැමීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බවත් මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරියක වන ඇය වැඩිදුරටත් පැවසුවාය.

පසුගිය 11 වැනිදා අලුයම එකට පමණ ඔවුන් මෙසේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ බව කියන නිවස පිහිටි ප්‍රදේශයේ පිටුපස කොටසට අදාළ වන තීරුවට පිවිස ඇත. ඒ නිල් පාලම යටින් ය. සාමාන්‍යයෙන් මෙසේ මසුන් ඇල්ලීම සඳහා තරුණයන් මෙම කලාපයට ඇතුළු වන බවත්, එවිට නාවික හමුදාව පාර්ශ්වයෙන් බැණ වැදී එළවා දමන බවත් මියගිය තරුණයාගේ නිවස අසල පදිංචි චාමින්ද දිනේෂ් පැවසීය. තමන් ද දියවන්නා ඔයේ මසුන් අල්ලන බවත්, මෙම තරුණයන් දෙදෙනා අදාළ ප්‍රදේශයට ඇතුළු වූ පසු විදුලි ආලෝක දල්වා ආරක්ෂක අංශ සාමාජිකයන් ඔවුන්ට එම කලාපයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවත් පැවසූ ඔහු, ඔවුන් ඊට ප්‍රතිචාර දක්වමින් ඉවත්වීමට සූදානම් වූ අවස්ථාවේ මෙසේ එක්වරම අඳුරේ පැමිණි බෝට්ටුවක් ඔවුන්ව හප්පා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තරුණයා ඔරුව පෙරළී ඔයට වැටුණු බවට මාධ්‍ය මගින් වාර්තා කළද, එසේ ඔයට වැටුණේ නම් තරුණයාගේ මුහුණ තැළී තිබෙන්නේත්, ඔවුන් ගිය ඔරුවේ බෝට්ටුව හැප්පුණු සලකුණු තිබෙන්නේත් කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ සම්බන්ධයෙන් MediaLK වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම සිද්ධියේදී මියගිය තරුණයා සමග ගිය අනෙක් පුද්ගලයා වරින් වර විවිධ ප්‍රකාශ ලබාදීම ගැටළුවක් වී ඇති බවයි. එක් අවස්ථාවකදී ඔහු බෝට්ටුවක් පැමිණීම නිසා දෙපැත්තට පැන්න බවත්, තවත් අවස්ථාවකදී බෝට්ටුවක් පැමිණ තමන් හැප්පූ බවත් පවසා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේදැයි අප කළ විමසීමකදී ඔහු එය තහවුරු කළේය. මේ වනවිට අදාළ තරුණයාගේ දේහය ඇස් වාට්ටුව අසල, පොලිස් මෝචරියේ තබා ඇති බවත්, ඊට අදාළ පරීක්ෂණ සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මියගිය තරුණයාගේ ඥාතීන් අවධාරණය කරන්නේ මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන බවයි. ඒ අනුව දේහය පුළුස්සා දැමීමෙන් සාක්ෂි විනාශ කිරීම බලධාරීන්ගේ අරමුණ වී ඇතැයි ද ඔවුහු පවසති. මීට පෙර මෙම තරුණයාගේ නිවස ඇතුළු ඔවුන් පදිංචි ප්‍රදේශයේ නිවාස පහක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබිණි. ඒ එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගොස් ඇති බව තහවුරු වීම නිසා ය.

ඉන්පසු ඒ සියල්ලන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බවත්, එම පරීක්ෂණ සියල්ලේ ප්‍රතිඵල නෙගටිව් හෙවත් ඔවුන් සියල්ලන්ට වෛරසය ආසාදනය වී නොමැති බව පසුගිය 03 දා ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ දැනුම් දුන් බවත් තරුණයාගේ වැඩිමහල් සහෝදරියක වන මැක්සි ජෙන්සී සඳහන් කළාය.

තරුණයාගේ මෘතදේහය සොයාගත් 12 දින පීසීආර් පරීක්ෂණයක් සිදු කළ බවත්, එහි ප්‍රතිඵල නෙගටිව් බව දැනුම් දුන් බවත් මියගිය තරුණයාගේ පවුලේ ඥාතීහු වැඩිදුරටත් සඳහන් කරති. එසේ තිබියදී නැවතත් 13 දින, එනම් අද පෙරවරු 9 ට පමණ යළිත් පීසීආර් පරීක්ෂණයක් කළ යුතු බව පවසා, ඊට අදාළ සාම්පල් ලබාගෙන ඇති බවත්, ඒ අනුව කොවිඩ් 19 වෛරසය අදාළ තරුණයාට වැළඳී ඇතැයි තහවුරු වූ බව ඊට පැය දෙකකට පසු දැනුම් දුන් බවත් පැවසූ තරුණයාගේ සහෝදරිය, එවැනි පරීක්ෂණයක ප්‍රතිඵල පැය දෙකක් හෝ තුනක් තුළ නිකුත් කරන්නේදැයි ප්‍රශ්න කර සිටී.

Previous articleලෝකයටම කැප චීනයට සහ ලංකාවට අකැප භූමදානය
Next articleසෞඛ්‍ය – ආරක්ෂක වෙනුවට වසංගතයේ වැඩිම අවදානම ඇත්තේ නීතිඥවරුන්ට ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here