ලෝකයටම කැප චීනයට සහ ලංකාවට අකැප භූමදානය

(නිලූක සදුන් පද්මසිරි)

කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය පමණක් කළ යුතු බවත් භූමදානය නොකළ යුතු බවත් මෙි දිනවල ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ බොහෝ පාර්ශ්ව පවසන්නේ භූමදානය මගින් භුගත ජල උල්පත්වලට වෛරසය පැතිරෙන බවයි. ඒ හරහා වෛරසයෙ දැඩි පැතිරීමක් සිදුව හැකි බවද එම පාර්ශ්ව ප්‍රකාශ කර තිබිණි.

ජලයෙන් බෝ වෙනවාද? – ඉතාලියේ පරීක්ෂණයක්

මේ අතර ඉතාලියේ සෞඛ්‍ය පිළිබද උසස් අධ්‍යාපන ආයතනයේ පරිසර සහ සෞඛ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවත්, ආහාර සුරක්ෂිතතාව, පෝෂණ හා පශු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත්, ප්‍රංශයේ කැමරූන් අධ්‍යයන ආයතනයේ වෛරසවේදය පිළිබද දෙපාර්තමේන්තුවත් එක්ව කොවිඩ්-19 වෛරසය ජලයෙන් බෝවන්නේද සහ ජලයේ පවතින්නේද යන්න සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක වාර්තාව පසුගිය අප්‍රේල් 28 දා අන්තර්ජාලයට මුදාහැර තිබිණි.

කොවිඩ්-19 වෛරස් අංශු ජලය තුළ තිබී සොයාගත්තද, ඒවා බෝවන අංශු ලෙස ක්‍රියාකාරී නොවන බව එම පර්යේෂණ වාර්තාවේ සදහන් වේ. එසේම ජලය හරහා වෛරසය සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් එහි අධ්‍යයන ක්‍රමවේද සහ අධ්‍යයන සාම්පල සහිතව ඇතුළත් කර ඇත.

මම කිසිදු පරීක්ෂණයක් කරලා නෑ – භූමදානයට එරෙහි වූ ජ’පුර මහාචාර්යවරිය

ලංකාවේදී මෙම ආසාදිතයන්ගේ සිරුරු භූමදානය කිරීමට එරෙහිව මාධ්‍ය මගින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙන්ම පසුගිය නොවැම්බර් 09 සති අන්ත සිංහල පුවත්පත්වලට ද සම්මුඛ සාකච්ඡා ලබා දී තිබූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති, මහාචාර්‍ය මෙත්තිකා විතානගේ මේ සතියේ, එනම් 15 දිනැති සතිඅන්ත අනිද්දා පුවත්පතට පවසා තිබුණේ තමන් මේ පිළිබදව කිසිදු පර්යේෂණයක් පවත්වා නැති බවයි.

භූමදානය පිළිබද කරන ලද පර්යේෂණ සම්බන්ධයෙන් තමන්ගේ මතකයේ නොමැති බවද මහාචාර්යවරිය එම පුවත්පතට පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් අනුගමනය කරන්නේද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේද මීට හාත්පසින්ම වෙනස් මතයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය

රක්තපාත උණ (ඉබෝලා, මාබර්ග් වැනි) සහ කොලරාව හැරුණු විට, මළ සිරුරුවලින් සාමාන්‍යයෙන් මෙලෙස රෝග බෝ නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මරණ පරීක්ෂණය අවස්ථාවේදී නිසි පරිදි කටයුතු නොකළොත්, වසංගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ පෙණහලුවලින් පමණක් ආසාදිත විය හැකි බවද එසේ නොමැතිනම් මළ සිරුරු රෝග සම්ප්‍රේෂණය නොකරන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

බෝවන රෝගයකින් මියගිය අය ආදාහනය කළ යුතු බව පොදු මිථ්‍යාවක් මිස එය සත්‍යයක් නොවන බවත් ආදාහනය කිරීම සංස්කෘතික තේරීම හෝ පවතින සම්පත් පිළිබඳ කාරණයක් පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

COVID-19 වලින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු වලට නිරාවරණය වීමෙන් වෛරසය ආසාදනය වී ඇති බවට අද දක්වා කිසිදු සාක්ෂියක් නොමැති බව ද එම සංවිධානය සඳහන් කරයි.

එසේ නමුත් මළ සිරුර වෙත සමීප වන සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්මට පළමු ප්‍රමුඛතාවය විය යුතුව ඇතැයි ද දේහය සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීමට සහභාගී වීමට පෙර, අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක සහ පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ) පැළඳ සිටින බවට සහතික විය යුතු යැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මිය ගිය පුද්ගලයන්ගේ ගෞරවය, ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන් සහ ඔවුන්ගේ පවුල්වල සම්ප්‍රදායන්වලට ගෞරව කළ යුතු මෙන්ම ඒවා ආරක්ෂා කළ යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය සංවිධානය COVID-19 ආසාදිතව මියගිය අයගේ දේහයන් කඩිමුඩියේ බැහැර කිරීම වළක්වා ගත යුතු බව ද පෙන්වා දෙයි.

බලධාරීන් සෑම තත්ත්වයක්ම එක් එක් සිද්ධිය අනුව කළමනාකරණය කළ යුතුයැයි ද පවුලේ අයිතිවාසිකම්, මරණයට හේතුව විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය සහ ආසාදනයට නිරාවරණය වීමේ අවදානම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයන් භූමදානය හෝ ආදාහනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති මේ වන විට බලාත්මක සෞඛ්‍ය නිර්දේශවල සඳහන් කර තිබේ. (එහි ඉංග්‍රීසියෙන් මෙසේ පැහැදිලිව සඳහන් වෙයි – People who have died from COVID-19 can be buried or cremated.)

සිරිත් විරිත් වලට අනුකූලව දේහය භූමදානය සඳහා සූදානම් කළ පසු පවුලේ අයට සහ මිතුරන්ට එය නැරඹිය හැකි බවත් ඔවුන් මළ සිරුර ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම නොකළ යුතු අතර නැරඹීමෙන් පසු සබන් හා වතුරෙන් අත් හොඳින් සේදිය යුතු බවත් එම නිර්දේශවල සඳහන් වෙයි.

දේහය මිනීවළේ තබන හෝ සෑය / චිතකය මත තැබීමේ කාර්යයේ යෙදී සිටින අය, අත්වැසුම් පැළඳිය යුතු අතර භූමදානය අවසන් වූ පසු අත්වැසුම් ඉවත් කිරීමෙන් පසු සබන් හා වතුරෙන් අත් සේදිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

අවශ්‍ය නම් පවුලේ සාමාජිකයන් විසින් භූමදානය කිරීමේ කටයුතු සිදු කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි මෙසේ සඳහන් වෙයි.

“මෘත ශරීරාගාර සේවා ලබාගැනීමට නොහැකිනම් හෝ රෝගාතුර වූවන් නිවසේදී මිය යාම සාමාන්‍ය දෙයක් වී ඇත් නම්, මිය ගිය පුද්ගලයාගේ පවුල්වල අයට හෝ සාම්ප්‍රදායික සුසාන භුමිවල කටයුතු කරන්නන්ට අවශ්‍ය ආරක්ෂක උපකරණ ලබාදී එය සිදුකරන ආකාරය කියා දී විධිමත් අධීක්ෂණයක් යටතේ එම සිරුරු භූමදාන කිරීම සඳහා ඔවුන්ට අවසර ලබාදිය හැකිය.”

භුමදානය කරන අනෙක් රටවල්

මාධ්‍යවලට අදහස් දක්වමින් වත්මන් රජයේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ ලෝකයේ රටවල් 189ක්ම ආදාහනයට අමතරව භුමිදානයට ද ඉඩ ලබා දී ඇති බවයි.

මේ වන විට ලොව පුරා බොහෝ රටවල් භුමදානය සඳහා අවසර ලබාදී නමුත් එය භුමදානය තහනම් නොකර සිටීමක් මිස විශේෂ අවසරයක් ලබාදීමක් ⁣නොවේය. එම රටවල් කොරෝනා වසංගතයේ පළමු පැතිරීම කාලයේ සිටම භුමදාන කටයුතු සිදු කෙරුණු අතර ඇතැම් රටවල් මහා පරිමාණ සමූහ මිනී වලවල් කපා කොරෝනා ආසාදිතව මිය ගිය අයවළුන් වළලන ආකාරය දැකගත හැකිය.

රටවල් කිහිපයක් අවමංගල්‍ය උත්සව තහනම් ක⁣ළ නමුදු එම අවස්ථාවලදී පවා භුමදානය කිරීම තහනම් නොකළ අතර අවමංගල්‍ය උත්සව තහනම් කිරීමට හේතු වූයේ ද මරණ සංඛ්‍යාව ඉතා ඉක්මණින් වැඩි වීම නිසා අවමංගල්‍ය උත්සව තැබීමට ඉඩකඩ ගැටළුවක් මෙන්ම ඊට පිරිස් එකතුවීම මගින් කොරෝනා වෛරසය තවත් පැතිරීමට හැකියාව ඇති නිසාය.

ප්‍රංශයේ විටන්හයිම්වල කොවිඩ්-19 අසාදිතව මිය ගිය මුස්ලිම් ජාතිකයකුගේ භුමදානය සිදු කරමින්…
 (Photo – SEBASTIEN BOZON/AFP via Getty Images)

අැමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එනම් සීඩීසී ආයතනය නිකුත් කළ මාර්ගෝපදේශ වලද සඳහන් වන්නේ අවමංගල්‍ය කටයුතු සිදු කරනු ලබන්නේ භූමදානය කිරීමෙන් හෝ ආදාහනය කිරීමෙන්ද යන්න COVID-19 වෛරසයට බලපාන්නේ නැති බවයි. ( එය සීඩීසිය මෙසේ සඳහන් කරයි – COVID-19 does not need to affect whether the funeral takes place through burial or cremation)

COVID-19 වලින් මියගිය අය භූමදානය හෝ ආදාහනය කළ හැකි බවත් එමෙන්ම බෝවන රෝගවලින් මිය ගිය පුද්ගලයන්ගේ දේහ පිළිබඳ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඇතැම් ගෝත්‍ර, ප්‍රාන්ත, ප්‍රාදේශීය හෝ වෙනත් පිළිවෙත් සම්බන්ධයෙන් ද සලකා බැලිය යුතු බවත් ලෙසත් සීඩිසිය ප්‍රකාශ කරයි. අවසන් කටයුතු සම්බන්ධයෙන් මියගිය අයගේ පවුලේ සාමාජිකයින්ගේ හෝ මිතුරන්ගේ ඉල්ලීම් ගෞරවයට පාත්‍ර විය යුතු බවද එහි සඳහන් වෙයි. COVID-19 හේතුවෙන් අවමංගල්‍ය කටයුතු ප්‍රමාද කිරීමට අවශ්‍ය නොවන නමුත් සාම්ප්‍රදායික පිළිවෙත්වල යම් යම් වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය විය හැකි බව සීඩිසිය පෙන්වා දෙයි.

“COVID-19 නව රෝගයකි. එය පැතිරෙන්නේ කෙසේදැයි අපි තවමත් ඉගෙන ගනිමින් සිටී. COVID බවට තහවුරු කළ හෝ සැක කළ මියගිය පුද්ගලයෙකුගේ දේහය සූදානම් කළ පසු ඒ සමඟ අවමංගල්‍ය සේවයක එකම කාමරයේ සිටීම, අවසන් කටයුතු සඳහා රැගෙන යාම සම්බන්ධව දැනට කිසිදු අවදානමක් නොමැත.

දේහය සැකසීමට පෙර සහ අතරතුර COVID-19 තහවුරු කර ඇති හෝ සැක කළ මියගිය පුද්ගලයෙකුගේ සිරුර ස්පර්ශ කිරීම, වැළඳ ගැනීම හෝ සිප ගැනීමෙන් වළකින්න, විශේෂයෙන් ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකු COVID-19 වෙතින් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබේ නම්.

දේහයට සමීප වීමෙන් පසු අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා වතුරෙන් ඔබේ අත් සෝදන්න. සබන් සහ ජලය පහසුවෙන් ලබා ගත නොහැකි නම්, අවම වශයෙන් 60% ක් පමණ ඇල්කොහොල් අඩංගු සැනිටයිසර් භාවිතා කරන්න.” යැයි සීඩිසිය තවදුරටත් සඳහන් කරයි.

ගෝත්‍රික නායකයින්ගේ ඉල්ලීම පරිදි ඇමෙරිකාවේ විවිධ ගෝත්‍රවල ජනතාවට අවමංගල්‍ය කටයුතු සහ සුසාන භුමිවල සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මග⁣ පෙන්වීම⁣ට වෙනම මාර්ගෝපදේශ ද නිකුත් කළේය.

ගෝත්‍රිකයන් සහ විවිධ පවුල් වෙනස් සම්ප්‍රදායන් අනුගමනය කරන අතර මරණයට පත්වූවන්ට ගෞරව කරන ආකාරය විවිධ බවත් මෙම සම්ප්‍රදායන්ට අවංක ගෞරවයෙන් එම මහජන සෞඛ්‍ය මඟ පෙන්වීම සකස් කර ඇති බව අදාළ මාර්ගෝපදේශයේ සඳහන් වෙයි.

ඉතාලියේ බෘසානෝ රෝමානු කතෝලික සුසාන භුමියේ මුස්ලිම් ජාතික කාන්තාවකගේ දේහය භුමදානය කර ඇති අයුරු – Italy [Miguel Medina/AFP]
එමෙන්ම කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කැනඩා මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය (අයිපීසී), කැනඩා මහජන සෞඛ්‍ය ඒජන්සිය සහ කැනඩාවේ අවමංගල්‍ය සේවා සංගමය
එක්ව සකස් කළ මාර්ගෝපදේශවලද සඳහන් වන්නේ භුමිදානය හෝ ආදාහනය යන දෙකෙන් ඕනෑම එකක් සුදුසු බවයි.

සංස්කෘතික සහ ආගමික පිළිවෙත් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද එහි සඳහන් වෙයි.

එහි මෙසේ සඳහන් වෙයි.

“මරණින් පසු අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආගමික හා ජනවාර්ගික කණ්ඩායම් ගණනාවකට නිශ්චිත පිළිවෙත් සහ විධිවිධාන ඇත.

ආදිවාසීන්, යුදෙව්, හින්දු සහ මුස්ලිම් ආගම්වල ජනතාවට දේහයන් සම්බන්ධයෙන් අවමංගල්‍ය කටයුතු සිදුකරන නිශ්චිත ක්‍රමවේදයන් ඇති අතර ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කළ හැකි නම් මෙම අවශ්‍යතා හැකි උපරිමයෙන් සපුරාලිය යුතුය.

ආගමික හෝ සංස්කෘතික නායකයන් ටමම කටයුතු සම්බන්ධයෙන් සොයා බලා සම්බන්ධීකරණ කටයුතු කළ යුතුය.”

දේහයන් භුමිදානය කිරීමට මිය ගිය අයගේ පවුල්වල අයටද අවස්ථාව ලබා දි හැකි බවද මේ සඳහා COVID-19 ආසාදිතව මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති නිර්දේශ අනුගමනය කළ යුතු බවද එහි සඳහන් ⁣වෙයි.

එමෙන්ම රෝග පාලනය හා වැළැක්වීම සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය (ECDC) නිකුත් කළ නිර්දේශවලද සඳහන් වන්නේ කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය මෙන්ම භුමිදානය ද කළ හැකි බවයි.

කොරෝනා ආසාදිතව මියගිය අයගේ සිරුරු හැසිරවීම මගින් වෛරසය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බව ද එහි සඳහන් වෙයි.

භුමිදානය – ආදාහනය ගැන එකම මගක ගිය චීනය සහ ශ්‍රී ලංකාව

කොරෝනා වෛරසය චීනයේ පැතිරීම උත්සන්න වෙමින් තිබූ මුල් අවධියේදී චීන සෞඛ්‍ය කොමිසම විසින් මිය යන කොරෝනා රෝගීන් ආදාහනය අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත් කළ අතර මෙය එම වකවානුවේදී චීනයේ දැඩි කතාබහක් ඇති වූ සිද්ධියක් විය.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ අවශේෂ බැහැර කිරීමේ මාර්ගෝපදේශ (අත්හදා බැලීම) නමින් චීනය පෙබරවාරි නිකුත් කළ එම මාර්ගෝපදේශවල සඳහන් වූයේ මරණ සහතිකය නිකුත් කිරීමෙන් පසු දේහය ආදාහනය කිරීමට ඥාතීන් එකඟ කරගත යුතු බවයි. එයට හෝ ඥාතීන් පැමිණිමට ප්‍රතික්ෂේප කරන්නේනම් දේහය සෘජුව ආදාහනාගාරයක් වෙත යවා ආදාහනය කළ යුතු බවයි. එනම් පවුලේ අය කැමති වුවත් අකමැති වුවත් ආදාහනය කළ යුතු බවයි.

“මිය ගිය රෝගියෙකුගේ පවුලේ සාමාජිකයන් මෙම ක්‍රියා පටිපාටිය⁣ට සහභාගි වීමට ප්‍රතික්ෂේප කිරීම හෝ ඊට අනුකූල වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ වෛද්‍ය ආයතන, ආදාහනාගාරය විසින් ඒ සඳහා අදාළ පවුලේ සාමාජිකයන් පෙළඹවීමට අපොහොසත් වී ඇත්නම්, දේහය වෛද්‍ය ආයතනයේ අත්සනින් පමණක් ආදාහනය කළ හැකිය. ප්‍රදේශය අධීක්ෂණය කරන මහජන ආරක්ෂක බලධාරීන් ඒ අනුව ඔවුන්ගේ අදාළ කටයුතු සිදු කළ යුතුය.” යැයි එහි සඳහන් වෙයි

අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය

ඉන්දියාවේ මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යංශය ද කොරෝනා නිසා මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට හා ආදාහනය කිරීමට ඉඩ දී ඇත.

දේහය හසුරුවනු ලබන්නේ පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයින් වන අතර ඔහු සම්පූර්ණ පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) පැළඳිය යුතු බව එම අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වෙයි.

දේහය කාන්දු නොවන ප්ලාස්ටික් බෑගයක බහාලිය යුතු බව ද මියගිය පුද්ගලයාගේ මුහුණ බැලීම සඳහා බෑගය විවර කිරීමට අවසර ඇති බවද ශරීරයේ ඕනෑම තරලයක් පිටවීම වැළැක්වීම සඳහා ශරීරයේ නාසය සහ කට ආවරණය කළ යුතු බව ද එහි සඳහන් කර තිබේ. නමුත් ශරීරය නැහැවීමට, සිප ගැනීමට හෝ වැළඳ ගැනීම නොකළ යුතු බව පැවසේ.

නමුත් ඉන්දියාවේ මෙලෙස භුමිදානය කිරීමට අවසර නොදුන් සිද්ධි කිහිපයක් වාර්තා වූ අතර ඉන් ඇතැම් සිද්ධිවලට හේතු වී තිබුණේ නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීමයි.

1897 වසංගත පනත යටතේ බලතල භුක්ති විඳිමින් ඉන්දියාවේ බ්‍රිහාන්මුයි මහ නගර සභාව (බී.එම්.සී.) චක්‍රලේඛයක් නිකුත් කරමින් කෝවිඩ් -19 නිසා සිදුවන සියලුම මරණ සඳහා ආදාහනය අනිවාර්ය කළේය. කෙසේ වෙතත් පසුව යම් කොන්දේසි සහිතව භූමදානය කිරීමට ඉඩ දීම සඳහා අදාළ චක්‍රලේඛය සංශෝධනය කරන ලදී.

මීට අමතරව ඇතැම් ප්‍රදේශවල ඉඩකඩ මදිවීම නිසා භුමිදානය නවතා ආදාහනය කිරීමට කටයුතු සකස් කර තිබූ නමුත් චීනය සහ ශ්‍රී ලංකාව හැර මේ වන තෙක් මේ ආකාරයෙන් භුමිදානය තහනම් කළ වෙනත් රටක් ගැන පැහැදිලිව වාර්තා වන්නේ නැත.

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් භූමදානය කිරීමට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්…

ඉන්දියාව

New Nelhi – Manish Rajput/SOPA Images via Getty Images
Ahmedabad, India – (Reuters)

එංගලන්තය

Kemnal Park Cemetery, South East London – Pierre Alozie / eyevine
Kemnal Park Cemetery, South East London – Pierre Alozie / eyevine

ඉතාලිය

ඉතාලියේ ඉස්ලාමීය ප්‍රජාවන්ගේ සංගමය විසින් ඉතාලියේ ඉස්ලාමීය සුසාන භූමි 76 ක් පමණක් ලැයිස්තුගත කර ඇත [Miguel Medina/AFP]
Bruzzano’s Roman Catholic cemetery – Italy [Miguel Medina/AFP]

Italy – CGTN Europe

ඇමෙරිකාව

New York – Reuters
skynews
Reuters

ඉරානය

Iran – SATELLITE IMAGE ©2020 MAXAR TECHNOLOGIES

බ්‍රසීලය 

Vila Formosa cemetery in São Paulo, Brazil © AP

ඉන්දුනීසියාව

Jakarta, Indonesia (AFP Photo)

බෙල්ජියම

Charleroi, Belgium- Francisco Seco / AP

යුක්රේනය

Dnipro, Ukraine – REUTERS/Mykhailo Moskalenko – RC26ZF98R824

ප්‍රංශය

ප්‍රංශයේ විටන්හයිම්වල කොවිඩ්-19 අසාදිතව මිය ගිය මුස්ලිම් ජාතිකයකුගේ භුමදානය සිදු කරමින්…
(Photo by SEBASTIEN BOZON/AFP via Getty Images)

හොන්ඩුරාස්

Tegucigalpa, Honduras-  REUTERS/Jorge Cabrera

 

Previous articleරැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?
Next articleදියවන්නා ඔයේ මසුන් ඇල්ලූ තරුණයාගේ මරණය කොරෝනා පිටින් යැවීමේ උත්සාහයක් – පවුලේ ඥාතීහු චෝදනා කරති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here