කොවිඩ් ගැන සෞඛ්‍ය උපදෙස් නොතකා ගත් දේශපාලන තීන්දුව !

ශ්‍රී ලංකාව කොරෝනා සම්බන්ධයෙන් පවතින ඇඳිරිනීතිය වැනි සීමා ඉවත් කරද්දි ඇතැම් රටවල් යළිත් වරක් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ඇඳිරිනීතිය කිරීම ගැන දැඩි කතාබහක් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන අතර ඇතැමුන් එය හොඳ තීරණයක් යැයි කියද්දි ඇතැම්හූ ඊට එරෙහිව විවේචන එල්ල කරති.ආර්ථිකය කඩා වැටෙන නිසාත් දෛනික ආදායම් ලබන පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය තවදුරටත් කඩා වැටෙන නිසාත් මෙලෙස රට නැවත විවෘත කිරීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රකාශයෝ පවසති.ඒ අනුව හුදකලා කෙරුණු ප්‍රදේශ කිහිපයක් හැර බස්නාහිර සියලු ප්‍රදේශවල ඇඳිරිනීතිය හෙට ඉවත් වෙනු ඇත. 

මෙරට තත්ත්වය එසේ වෙද්දි එංගලන්තය නියමිත අවස්ථාවේ ලොක්ඩවුන් නොකිරීම නිසා සීමා ඉක්මවා යමින් එරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.නමුත් දින කිහිපයකට පසුව වුවත් ඉකුත් 31 වැනිදා එංගලන්තය ලොක්ඩවුන් කිරීමට එරට අගමැති ප්‍රමුඛ රජය තීරණය ක⁣⁣ළේය. ඒ එරට වෛද්‍යවරුන්, විපක්ෂය ඇතුළු පිරිස්වල ඉල්ලීමත් මරණ සංඛ්‍යාව ඉහල යා හැකි බවට විද්‍යාඥ කමිටුවේ නිර්දේශත් ⁣නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් මතය. ලොක්ඩවුන් නොකර සිටීමට එරට අගමැතිවරයා ද හේතුව ලෙස දැක්වූයේ ආර්ථිකය කඩා වැටීම සහ ජනතාව අපහසුතාවට පත්වීම යන කරුණය.

එංගලන්තය දෙවැනි ව⁣රටත් ලොක්ඩවුන්

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉකුත් 31 වැනිදා ඩව්නින්හීදී මාධ්‍ය අමතින් ප්‍රකාශ කළේ දෙවැනි වතාවටත් රට ලොක්ඩවුන් කරන බවයි. ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍ය ව්‍යසනයක් වැළැක්වීමට මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මෙවර නත්තල් උත්සවය බෙහෙවින් වෙනස් විය හැකි බව ප්‍රකාශ කළ හෙතෙම කියා සිටියේ දැන්ම වහා ක්‍රියාත්මක වීම තුළින් නත්තල් කාලය වන විට පවුල්වලට එක්රැස් විය හැකි තත්ත්වයක් උදාවනු ඇති බවයි. මත්පැන්හල්, ආපනශාලා, ජිම් සහ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් බ්‍රහස්පතින්දා සිට සති හතරක් වසා තැබිය යුතු බව ඔහු පැවසීය.නමුත් මීට පෙර ලොක්ඩවුන් කාලය මෙන් නොව පාසල්, විද්‍යාල සහ විශ්ව විද්‍යාල විවෘතව පැවතිය හැකි බවද දෙසැම්බර් 2 වැනිදායින් පසු, ලොක්ඩවුන් සීමාවන් ලිහිල් කරන බවද හෙතෙම කීවේය.

ඔහු මෙසේ පැවසීය:
“නත්තල් උත්සවය මේ වසරේ වෙනස් විදියේ එකක් වේවි. සමහර විට එය බෙහෙවින්ම වෙනස් වෙන්න පුළුවන්.  නමුත් දැන්ම දැඩි ක්‍රියාමාර්ග ගැනීම තුළින් ඒ කාලය වන විට අපේ රටේ පවුල්වලට එකට ඉන්න අවස්ථාව ලබා දිය හැකි බව මගේ අවංක බලාපොරොත්තුව හා විශ්වාසයයි.”

“වගකිව යුතු අගමැතිවරයකු ලෙස”

අග්‍රාමාත්‍යවරයා ඩව්නිං වීදියේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම ගැන තමා සැබවින්ම කණගාටු වන නමුත් සේවක වැටුපෙන් 80% ක් ගෙවීමේ පද්ධතිය නොවැම්බර් මාසය දක්වා දීර්ඝ කරන බවයි. 

මරණ උච්චතම අවස්ථාව (peak) අප්‍රේල් මාසයේදී සිදුවූ ප්‍රමාණයට වඩා නරක වනු ඇති බවටත් දෛනික මරණ සංඛ්‍යාව දහස් ගණනක් වෙනු ඇති බවටත් වන වාර්තා ‘වගකිවයුතු කිසිදු අගමැතිවරයෙකුට’ නොසලකා හැරිමට නොහැකි බව හෙතෙම ප්‍රකාශ කළේය. නිරිතදිග එංගලන්තයේ පිහිටි රෝහල්වල දැනට අඩු රෝගීන් සංඛ්‍යාවක් සිටියද එම රෝහල් සති කිහිපයක් තුළ උපරිම ධාරිතාවය ඉක්මවා යනු ඇතැයි ඔහු කීවේය.

“කුමන රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුද, කාට ඔක්සිජන් දිය යුතු ද, ජීවත් විය යුත්තේ මොන රෝගියාද, මිය යන්නට ඉඩ හරින්නේ මොන ⁣රෝගියාටද යන්න තෝරා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට බල කෙරෙන කාලයක් එළැ⁣ඹෙනු ඇත” යනුවෙන් ජොන්සන් පැවසීය.

එංගලන්තයේ නව නීති

  • නිවසේ සිට කළ නොහැකි රැකියා සහ අධ්‍යාපනය වැනි, නිවසින් බැහැරව යාමට නිශ්චිත හේතුවක් නොමැති නම් නිවසේ රැඳී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
  • වෛද්‍ය හේතූන්, ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය මිලදීගැනීම් සහ අවදානමට ලක්වූවන් රැකබලා ගැනීම හෝ ස්වේච්ඡා සේවය සඳහා නිවසින් පිටවීමට ජනතාවට අවසර ඇත.
  • ගෘහස්ථව හෝ පෞද්ගලික උද්‍යානවල රැස්වීමට ඉඩ නොදේ
  • නමුත් පුද්ගලයන්ට වෙනත් නිවසක සිටින එක් පුද්ගලයෙකු අදාළ සෞඛ්‍ය පිළිවෙත් අනුව පොදු ස්ථානයකදී හමුවිය හැකිය.
  • රට පුරා ඇති සමාජ ශාලා, මත්පැන් හල්, අවන්හල් සහ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳ ස්ථාන වසා දැමෙනු ඇත. නමුත් ඩිලිවරි ක්‍රමයට බෙදාහැරීම් කරන වෙළෙඳසැල් සහ අවන්හල් විවෘත කර තැබිය හැකිය.
  • ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු විනෝදාස්වාද ස්ථාන ද වසා දමනු ඇත
  • ඉදිකිරීම් ස්ථාන සහ නිෂ්පාදන සේවා ස්ථාන විවෘතව තැබිය හැකිය
  • සායනිකව අවදානමට ලක්විය හැකි පුද්ගලයින් “විශේෂයෙන් සැලකිලිමත්” වන ලෙස ඉල්ලා සිටී.
  • දෙමව්පියන් වෙන්ව සිටීනම් දරුවන්ට දෙමාපියන්ගේ නිවාස අතර ගමන් කළ හැකිය.

අනතුරු ඇඟවීම් නොතැකීම

ලොක්ඩවුන් කිරීමට සති හයකට පමණ පෙර, එරට විපක්ෂය පමණක් නොව, ජොන්සන් අගමැතිවරයාගේ රජයේ ඇමතිවරු සහ ඔහුගේම උපදේශකයින් කිහිපදෙනෙක් ද රෝගය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ලොක්ඩවුන් කළ යුතු බවට මත පළ කළහ.නමුත් එම අවස්ථාවේදී ජොන්සන් අගමැතිවරයා රටපුරා ලොක්ඩවුන් සීමාවන් පැනවීමට එරෙහි වූ අතර, එමගින් එක්සත් රාජධානියේ ආර්ථිකයට “විනාශකාරී” තත්ත්වයක් ඇති වේයැයි පැවසීය. ඒ වෙනුවට එංගලන්තයේ ප්‍රාදේශීය මට්ටමින් කොරෝනා පාලන ක්‍රමයක් තෝරා ගන්නා බවත් ඔහු කීවේය.

පළමු අවස්ථාවේ වසංගතයේ පරිමාණයට වඩා බරපතල ආකාරයකින් දෙවන රැල්ල වර්ධනය වෙමින් පවතින බැවින් ජාතික වශයෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සැප්තැම්බර් තුන්වන සතිය වන විට රජය තුළ සංවාදයක් ක්‍රියාත්මක විය. 

ලේබර් පක්ෂයේ නායක ශ්‍රීමත් කෙයර් ස්ටාර්මර් කියා සිටියේ රජය “සති කිහිපයකට පෙර ගත යුතුව තිබූ තීරණය අවසානයේදී හෝ ගත්” බවයි. පොදු ඡන්ද විමසීමේදී ලොක්ඩවුන් කිරීමට පක්ෂව සහාය දෙන බව ද පැවසීය. ප්‍රමාදය නිසා ලොක්ඩවන් කාලය තවත් දිගු වනු ඇතැයි ද එය වඩාත් අපහසු තත්ත්වයක් ඇති කරනු ඇති බව ද මිනිස් ජීවිත රැසක් අහිමි වනු ඇති බවද ඔහු පැවසීය. 

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය ක්‍රිස් විට්ටි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ පෙර වසංගතයේ උච්චතම අවස්ථාවට වඩා රෝහල් 10 ක කොරොනා වයිරස් රෝගීන් සිටින බවයි. වෛරසය “අතිශය වේගයෙන්” පැතිර යන බව ද ඔහු පැවසීය. “අප දැන් ක්‍රියා නොකළහොත් දෙසැම්බර් මාසයේදී ජාතික සෞඛ්‍ය පද්ධතිය අසාමාන්‍ය ව්‍යසනයයකට පත්වීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි” ඔහු අනතුරු ඇඟවීය.කොවිඩ් -19 ආසාදිත 11,000 කට ආසන්න පිරිසක් ඒ වන විට රෝහල් ගතව සිටි අතර 978ක් ශ්වසන ආධාරක(වෙන්ටිලේටර්ස්) මත සිටියහ. 

රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වොලන්ස් මෙම සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ සකස් කර ඇති මොඩලයන්ය අනුව මෙවර තුවේ මරණ සංඛ්‍යාව “පළමු රැල්ලට සාපේක්ෂව දෙගුණයක් හෝ ඊට වැඩි විය හැකි” බවයි. එංගලන්තය ලොක්ඩවුන් කළ යුතු බවට සැප්තැම්බර් 21 වැනිදා එරට රජයේ විද්‍යාත්මක උපදේශක කණ්ඩායම විසින් අනතුරු ඇඟවීය.ඒ වෙනුවට එරට රජය පළමුවෙන්ම තෝරාගත්තේ රාත්‍රී 10ට අවන්හල් සහ සමාජ ශාලා වැසීමයි.

හුදෙක් මහජන සෞඛ්‍ය දෘෂ්ටි කෝණයකින් බලා විශේෂඥයින් උපදෙස් දුන් විට එම අවස්ථාවේම ලොක්ඩවුන් කිරීම බුද්ධිමත් දෙයක් බව බීබිසිය වාර්තා කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් බීබිසිය වාර්තා කර තිබුණේ මෙලෙසය.

“එලෙස ලොක්ඩවුන් කළේනම් එය කෙටි කාලයකට පමණක් වන්නට තිබූ  අතර, වෛරසයේ පැතිරීම වඩාත් ඉක්මණින් අඩු කරගැනීමටත්, රෝගීන් හමුවන විට පරීක්ෂණ කිරීමේ හා සම්බන්ධතා සොයාගැනීමේ ක්‍රියා පටිපාටියට වැඩි අවස්ථාවක් හිමි වීමටත් ඉඩකඩක් ඇත.

එහෙත් ඇමතිවරුන්ට ආර්ථික බලපෑම මෙන්ම දේශපාලනය ද සලකා බැලීමට සිදුවිය. රැකියා සහ ව්‍යාපාර ආරක්ෂා කරගන්නා අතරම වෛරසයේ පැතිරීම පාලනය කිරීමට ද ඔවුන්ගේ සරල උත්සහයට හැකි වනු ඇති බවට ඔවුහු විශ්වාස කළහ.විද්‍යාත්මක උපදේශක කණ්ඩායමේ බොහෝ විද්‍යාඥයින් මෙය ක්‍රියාත්මක වනු ඇතැයි එකල සිටියේ දැඩි සැකයෙනි.

අධ්‍යාපන ආයතන වසා දමා අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු කරන ලෙසට පාසල් හා විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රට ලොක්ඩවුන් කරන බව⁣ට ප්‍රකාශ කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර සිටමය.”

අනතුරු ඇඟවීම් නොතැකීම නිසා එංගලන්තයේ සැප්තැම්බර් 21 වැනිදා වන විට සිටි ලක්ෂ හතරක් වූ කොරෝනා රෝගීන් සංඛ්‍යා අද වන විට ලක්ෂ 12කට ආසන්න වී තිබේ. එය තෙගුණයක වැඩිවීමකි. එංගලන්තය ලොක් ඩවුන් කළේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂය දහයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීමෙන් පසුවය.

සැප්තැම්බර් 21 වැනිදා වන විට තිබූ ⁣කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 41000කි. එයඅද වන විට 49000ට ආසන්න වී තිබේ. මෙය තවදුරටත් ඉහල යනු ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

වැඩ කරන්න බැරි අයගේ පඩියෙන් 80%ක් ආණ්ඩුවෙන්

බ්‍රිතාන්‍ය කර්මාන්ත සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩේම් කැරොලින් ෆෙයාර්බෙයින් පැවසුවේ ලොක්ඩවුන් නිවේදනය ව්‍යාපාර කටයුතු සඳහා අඳුරු කාලයක ආරම්භය සළකුණු කළ බවයි.ජාතික හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මහා පරිමාණයෙන් පරීක්ෂණ කිරීම සඳහා ඉදිරි මාසය භාවිතා කරන ලෙස ඇය රජයෙන් ඉල්ලා සිටියාය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසූවේ ඉදිරි සති කිහිපය තුළ පරීක්ෂණවල “දැවැන්ත ව්‍යාප්තියක්” සිදු කරන බවයි. 

දුෂ්කර කාලයකට මුහුණ දී සිටින ආර්ථිකයකට තවදුරටත් සහාය ලබා දීම සඳහා එරට රජය සහ එංගලන්ත මහ බැංකුව බ්‍රහස්පතින්දා එක්විය.එංගලන්ත රජය සහ මහ බැංකුව විසින් පළමු කොරෝනා රැල්ලේ දී හඳුන්වා දුන් හදිසි වැටුප් සහනය තවදුරටත් දීර්ඝ කරන බව නිවේදනය කළේය. එනම් සේවකයින්ට වැඩ කළ නොහැකි පැය ගණන සඳහා ගෙවිය යුතු වැටුපෙන් රජය සියයට 80 ක් ගෙවීමයි. මෙම සහනය ලබන වසරේ මාර්තු දක්වා බලාත්මක වන බව එරට භාණ්ඩාගාර චාන්සලර් රිෂි සුනක් ප්‍රකාශ කළේය.

“පසුගිය සති කිහිපය තුළ රජය විසින් සිදුකරන ලද වෙනස්කම් දෙස බලා නිවෙස්වල සිටින පුද්ගලයින් කලකිරීමට පත්වන බව මා දන්නවා.” යැයි සුනක් පාර්ලිමේන්තුවේදී පැවසූවේ බාර්, අවන්හල් සහ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් දෙවන වරටත් වසා දමන බවට නිවේදනය කළ දිනයේදීමය.”වෛරසය පැතිරීම වේගවත් වී ඇති හෙයින් අපගේ ආර්ථික සැලසුම්වල වේගවත් වෙනස්කම් කිරීමට මට සිදුවී තිබෙනවා ” යැයි හෙතෙම කීවේය.

දීර්ඝ කරන ලද මෙම වැඩසටහන වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයට මසකට පවුම් බිලියන 6.2 ක් (ඩොලර් බිලියන 8.1 ක්) වැය වනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙමගින් වසංගතය හේතුවෙන් අගතියට පත් කම්කරුවන් සේවයෙන් පහ කිරීම නැවතෙන බව සුනක් මීට පෙර ප්‍රකාශ කර තිබිණි. අවන්හල් සහ ආපනශාලා වසා දැමීම එම ව්‍යාපාරවල ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි ඔහු පැවසීය. කොරෝනා වෛරසය හේතුවෙන් සිය කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීමට සිදුවී ඇති සමාගම්වලට ඉහත වැටුප් සහනාධාරය අදාළ වන බවත් ඔවුන් නැවත සේවයට ගෙන ඒ වෙනුවට වැටුප් සහිතව නිවාඩු ලබා දෙන ලෙස මෙමගින් දැනුම් දී ඇත. මේ අනුව කම්කරුවන්ගේ වැටුප් සේවායෝජකයාට ගෙවීමට නොහැකි වුවද ඔවුන්ගේ රැකියාව දිගටම කරගෙන යා හැකි බව සුනක් සඳහන් කළේය.

රජයේ බැඳුම්කර මගින් තවත් ඩොලර් බිලියන 150 ක් මිලදී ගැනීමට මහ බැංකුව තීරණය කළ අතර එයට මහබැංකුකරුවන් ඒකමතිකව ඡන්දය ලබා දුන් අතර ඒ අනුව බැංකුවේ මුළු මූල්‍ය සංචිතය ඩොලර් යුරෝ බිලියන 875 දක්වා ඉහළ යයි.

මෙම මිලදී ගැනීම් ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත අතර එය ලබන වසර අවසානය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.ආර්ථික විද්‍යාඥයන් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා මහ බැංකු නිලධාරීන් මිලදී ගැනීම් සිදු කළ අතර 2020 දී බැඳුම්කර මිලදී ගැනීම් ඉහළ දැමූ තුන්වන අවස්ථාව මෙයයි.

පොලී අනුපාත අඩු මට්ටමක තබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර එමඟින් කාලයත් සමඟ රජයේ ණය ආපසු ගෙවීම පහසු වන බවත් රජයට වඩා අවදානම් සහගත වත්කම්වල ආයෝජනය කිරීමට ණයදායකයින් මෙමගින් උනන්දු කරවන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Previous articleබස්නාහිර ඇඳිරිනීතිය ඉවත් වෙන ප්‍රදේශවලිනුත් ඊයේ කොරෝනා රෝගීන් හමුවෙලා
Next articleරට විවෘත කිරීම කොවිඩ් සම්බන්ධයෙන් ගන්න පුළුවන් නරකම තීරණයයි – රවී කුමුදේශ්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here