රට විවෘත කිරීම කොවිඩ් සම්බන්ධයෙන් ගන්න පුළුවන් නරකම තීරණයයි – රවී කුමුදේශ්

(හසරිදු රාජපක්ෂ)

රට විවෘත කිරීම යනු කොවිඩ් සම්බන්ධයෙන් ගත හැකි නරකම තීරණය නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතහැකි හොදම තීරණය බවත් ඒ අනුව කොවිඩ් සම්බන්ධයෙන් ආණ්ඩුව නරක තීරණයක් ගෙන ඇති බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය

මේ තත්ත්වය තුළ කොවිඩ් සම්බන්ධයෙන් නරක තත්වයකට ඉදිරි දින කිහිපය තුළදී සුදානම් විය යුතු බව ද සුදානම් විය යුත්තේ නරකම තත්ත්වයට බව ද ඔහු කීවේය.කොවිඩ් වසංගතය හේතුවෙන් වෙනත් රෝග වැළඳී ඇති රෝගීන් මිය යන තත්ත්වයක් මතුව ඇතැයිද ඉදිරියේදී මේ තත්ත්වය වැඩිවීමට හැකියාවක් ඇතැයි ද කුමුදේශ් මහතා පැවසීය.

මේ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් ඉක්මණින් හදුනාගත යුතු බව ද රට විවෘත කරන්නේනම් ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීම බාහිර රෝගී අංශ වලට පැවරිය යුතු බවද MediaLK සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

හෙට සිට රට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. පවතින තත්වය සහ රජයේ තීරණය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

රට විවෘත කිරීම කියන්නේ කොවිඩ් සම්බන්ධයෙන් ගන්න පුළුවන් නරකම තීරණය. නමුත් ජනජිවීතය සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සලකන විට රට විවෘත කිරීම කියන්නේ මිනිස්සුන්ගේ ආර්ථිකය සම්බන්ධයෙන් ගතහැකි හොදම තීරණය. මේ තීරණ දෙක ගැන කතාකරද්දි රජය ආරථිකය සම්බන්ධයෙන් හොද තීරණයක් අරගෙන තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් නරක තීරණයක් අරගෙන තියෙනවා. මේ තත්ත්වය තුළ කොවිඩ් සම්බන්ධයෙන් නරක තත්වයකට ඉදිරි දින කිහිපය තුළදී අපි සුදානම් විය යුතු වෙනවා. අපි සුදානම් විය යුත්තේ නරකම තත්ත්වයටයි.

තුන්වැනි කොවිඩ් රැල්ලක් සම්බන්ධයෙනුත් කතාබහ වෙනවා?

තුත්වැනි රැල්ලක් ඇතිවීම කියන කාරණය අපිට අනුවනම් අදාළ නැහැ. මොකද මේ රැලි ඇතිවෙන්නේ රෝගය සමාජ ගතවෙලා නැතිනම් පමණයි. අපිට තිබෙන දත්ත වලට අනුව සහ මේ තිබෙන වටපිටාවට අනුව මේ වන විට රෝගය සමාජගතවෙලා කියලා අපි විශ්වාස කරනවා. 

සමාජගතවෙලා නැතිනම් වසංගත රෝග විද්‍යා අංශය මගින් එය ඔප්පු කළ යුතුයි. ඒ නිසා ඉදිරියට ඇතිවෙන්නේ තුන්වැනි රැල්ලක් නෙවෙයි. සමාජයේ හැමතැනම මේ රෝගය තිබෙන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. අපි දන්නා නොදන්නා හැමෝටම මේ රෝගය බෝවෙන තත්ත්වයක් ඇතිවේවි.

එවැනි තත්වයක් ඇතිවෙනවා කියලා මෙය අතැහැර සිටීම නෙවෙයි අපි කළ යුත්තේ. මේ තත්ත්වයට මුහුණ දෙනවා කියලා රජය තීරණය කරලා තිබෙනවානම් මිනිස්සු එයට මුහුණ දිය යුතුයි. මේ තත්ත්වයට සුදානම් විය යුතුයි කියන දේ අපි පැවසුවේ පසුගිය අප්‍රේල් මාසයේදී.  

ජනාධිපතිවරයාට, සෞඛ්‍ය ඇමති සහ ලේකම්ට ඒ සම්බන්ධයෙන් ලිඛිතවම අපි කරුණු ප්‍රකාශ කළා. ඒ ආකාරයට කටයුතු කළානම් රසායනාගාර සේවාවේ මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. නමුත් මේ කිසිම කෙනෙක් මේ යෝජනා සැලකිල්ලට ගෙන අදාළ කමිටුවලදීවත් සාකච්ඡා කරන්නට උවමනාවක් තිබුණේ නැහැ. ඒ උවමනාවක් තිබුණේ නැති අය මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට වගකිව යුතුයි කියලා අපි දැන් කියනවා.

එලෙස ලබාදුන් යෝජනා මොනවාද?

රසායනාගාර සේවාවේ බහුවිධ උපක්‍රමයක් මේ සඳහා භාවිතා කරන ලෙස අපි යෝජනා කළා. දිගින් දිගටම පීසීආර් පරීක්ෂණ පමණක් සිදුකළහොත් මෙය අර්බුදයකට යොමුවන බවත් අපි ප්‍රකාශ කළා. බහුවිද උපක්‍රම ලෙස අපි උපක්‍රම තුනක් පෙන්වා දුන්නා. ඒ අනුව පීසීආර් ධාරිතාවය වැඩිකිරීමට යෝජනා කළා. ඒ අවස්ථාව වන විටත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පීසීආර් මැෂින් 55 ක් තිබුණා. මේ සම්ප්‍රදායික පීසීආර් මැෂින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ආකාරයට බෙදාහැරීම වගේම බහුකාර්ය පීසීආර් මැෂින් ගෙන්විය යුතු බව අපි පෙන්වා දුන්නා.

අද අපි කියපු කාරණය ඔප්පු වෙලා තියෙනවා. කුරුණෑගල, කලුතර, කෑගල්ල, හම්බන්තොට දිස්ත්‍රික්ක වලට පීසීආර් මැෂින් මේ වන විටත් නැහැ. ඒ වගේම ජාතික රෝහල තුළත් පීසීඅර් මැෂින් එකක් තවමත් නැහැ. මේ තත්ත්වය තුළ රට වටේම කළ යුතු පීසීආර් පරීක්ෂණ කොළඹට ගෙනැවිත් කරන්න සිදුවෙලා තිබෙනවා. මේ නිසා අපි දැනුත් අවධාරණය කරන්නේ මේ කාරණය ප්‍රමාද වී හෝ දැන්වත් ඉටුකරන්න කියලා.

ඒ වගේම අලුත් තාක්ෂණය එකතු කළ අලුත් පීසීආර් මැෂින් ගෙන්න කියලා අපි කිව්වා. එහෙම ගෙන්නුවනම් මහා පරිමාණයෙන් පීසිආර් පරීක්ෂණ කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපල, බොරැල්ල පර්යේෂණ ආයතනය, උණ රෝහල වගේ තැන්වල පමණයි දැනට ඒවා තිබෙන්නේ. එය සිදුකරන්න ලෝක බැංකුවෙන් ආධාර පවා ලැබුණා. නමුත් කොවිඩ් ඉවරයි කියලා එය කළේ නැහැ. මගහැරපු නිලධාරින් ඒවාට වගකියන්න අවශ්‍යයි.

පීසීආර් පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක ඇතිවී තිබෙනවා. එය රසායනාගාරවල දුර්වලතාවයක්ද?

පීසීආර් පරීක්ෂණ ප්‍රමාදවීම ගැන ලොකු කතාබහක් තිබෙනවා. ක්ෂේත්‍රයේ සිට පීසීආර් කිරීම සඳහා ලබාගන්නා නියැදි රසායනාගාර වලට ලැබීමට දවසක් පමණ හෝ ඊට වඩා කල් ගතවෙන අවස්ථාවන් තිබෙනවා. රසායනාගාරය තුළ ඒ පරීක්ෂණය පැය අටක් තුළ සිදුකරනවා. නමුත් මේ අතරමැදි කටයුතුවලට කාලය ගතවීම තුළ වැඩිවෙලාවක් ගතවෙනවා. රසායනාගාර තුළ සෑම පීසීආර් පරික්ෂණයක්ම පැය 08 ක් තුළ සිදුකිරීමට අපි කටයුතු කර තිබෙනවා.

මේ තදබදය අවම කරන්න රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් ඇති කරන්න කියලා අපි යෝජනා කළා. ඒවගේම පර්යේෂණාගාරය ක්ෂේත්‍රයට අරගෙන යන්න කියලා අපි යෝජනා කළා. එයට ආදාළ තාක්ෂණය ලබාදීමත් රජයේ වගකීමක්.

ඒ වගේම ප්‍රතිදේහ පරීක්ෂණ වගේම ප්‍රතිදේහ ජනත පරීක්ෂණ සඳහාත් අවස්ථාව ලබාදෙන්න කියලා අපි යෝජනා කළා. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ප්‍රකාශ කලා. පීසිආර් පරීක්ෂණ වගේම ප්‍රතිදේහ ජනක පරීක්ෂණයත් ප්‍රතිදේහ පරීක්ෂණයත් සිදුකිරීමට අවස්ථාව සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත් ඔවුන් එයට ඇහුම්කන් දුන්නේ නැහැ. මේ වනවිට ප්‍රතිදේහ ජනක පරික්ෂණය සඳහා පමණක් අවසර තිබුණත් ප්‍රතිදේහ පරීක්ෂණ තවමත් ස්ථාපිත වෙලා නැහැ. දැන්වත් මේ පරීක්ෂණ සඳහා අපි සුදානම් විය යුතුයි. ලංකාවේ මුලික රොහල් වල පවා තිබෙන ප්‍රතිශක්තික රසායනික උපකරණ මගින් දවස් දෙකක් ඇතුළත ප්‍රතිදේහ පරීක්ෂණ ආරම්භ කරන්න පුළුවන්. ඒ සදහා ප්‍රතිදේහ කට්ටල ගෙන්වා දිය යුතුයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය එය දිගටම වැළැක්වු නිසා මෙතෙක් එය ගෙන්වා නැහැ. ඒ වගේම තවත් ජංගම රසායනාගාර අවම වශයෙන් දහයක් හෝ හදාගත යුතුයි එහෙම වුණොත් ක්ෂේත්‍රයේ පරීක්ෂණ කරන්න පුළුවන්. මේ කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉටුවෙනවානම් ඕනෑම තත්වයකට මුහුණ දෙන්න අපි ලැස්තියි.

එසේ නම් පීසීආර් පරීක්ෂණ සිදුකිරීම හමුදාවට පවරන්න යන්නේ ඇයි?

වෘත්තිකයන් විදිහට මේ වනතුරු අපි කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. එහෙම තියද්දි හමුදාව මගින් පීසීආර් පරීක්ෂණ කරනවා වගේ දේවල් කතාවෙනවා. අපි කියන්නේ එවැනි කතා පය බර වායට පිටිකර බෙහෙත් බදිනවා වගේ කතාවක් කියලා විතරයි. බල්ලගේ වැඩේ බුරුවා කරන්න ගිහින් අනාගන්න වැඩ කියල තමයි අපිට කියන්න තිබෙන්නේ. අපේ වෘත්තිකයෝ කවුරුවත් පීසීආර් කරන්න බැහැ කියලා නැහැ. අපිට තිබෙන සම්පත් වල ප්‍රමාණයට අපි පීසීආර් කරලා තියෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ පීසීආර් කරන්න බැරිකම නෙවෙයි ඒ සඳහා පහසුකම් නැතිකමයි.

ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාග වලින්වත් පීසීආර් රසායනාගාරයක් පටන්ගන්න බැරිවෙලා තිබෙනවා. එයට සෞඛ්‍ය පරිපාලනය කරන වෛද්‍ය කළමනාකරණය වගකිව යුතුයි. ඒකට අපිට වගකියන්න බැහැ.  කුරුණෑගල රෝහලට මැෂින් එකක් දීලත් තවම පටන් අරගෙන නැහැ. ජාතික රෝහලට දීපු මැෂින් එක හරවලා යවලා. එවැනි තත්ත්වයක් තුළ සිදුකළ යුත්තේ මෙය හමුදාවට ලබාදීම නොවෙයි. රෝහල්වල ඉදිමින් දුර්වල කළමණාකරනයකින් කටයුතු කරන පුද්ගයින්ට දඩුවම් කර ඉවත්කිරිම සහ වැඩකරන්න හැකියාව ඇති අයට ඒ අවස්ථා ලබාදීමයි කළ යුත්තේ. වැඩකරන් බැරි අය ඉවත් කරලා ඒ වෙනුවට හමුදාවෙන් අරගෙන දැම්මට අපිට ප්‍රශ්නයක් නැහැ.

කෝවිඩ් නිසා අනිකුත් ලෙඩ තිබෙන රෝගීන් මියයන තත්ත්වයක් හෝ කොවිඩ් පසුව හදුනාගන්නා තත්ත්වයක් ඇතිවෙමින් යනවා. ඉදිරියට එය වැඩිවෙන් පුළුවන්. එය වළක්වන්නම් කොවිඩ් ආසාදිතයින් ඉක්මණික් හදුනාගන්නා තත්ත්වයක් ඇතිකළ යුතු වෙනවා. රට විවෘත කරනවානම් ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීම බාහිර රෝගී අංශ වලට පවරන්න. එහෙම කළොත් තමයි අනිකුත් රොගීන් ආරක්ෂා වෙන්නේ සහ ඔවුන් ගැන අවධානය යොමුවෙන්නේ.

ප්‍රතිදේහ ජනත පරීක්ෂණ සම්බන්ධයෙන් දැන් බරපතල ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මේවා එක සමාගමකට පමණක් ලබාදීලා වැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කළා කියලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. ප්‍රතිදේහ වලටත් ඒ දේම වෙනකම් ඉන්න එපා. එය පටන් ගන්න කවුරුහරි සමාගමක් ඇවිත් කොමිස් මුදලක් දෙනකම් ඉන්න එපා. රට විවෘත කරනවානම් අනිවාර්යෙන්ම ප්‍රතිදේහ පරීක්ෂණ සුදානම්ව තිබිය යුතු වෙනවා. මේ වනතුරු එය නොකර ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාශයට කවුරු හෝ සමාගමක් කොමිස් මුදලක් ලබාදෙනකම්ද කියලා අපිට අහන්න සිදුවෙනවා.

වෛද්‍ය රාසායනාගර විද්‍යාව සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් තිබෙන තාක්ෂණ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන්නේ නැහැ කියලා පැහැදිලියි. එය ලබාගන්න ඔවුන් කැමැත්තක් දක්වලත් නැහැ.   නිවැරදිව වැඩකරනවානම් වෘත්තිය ආයතනවල උපදෙස් ගත යුතුයි. නමුත් සමහර පුද්ගලයින් ඉන්නවා ඔවුන් කැමති නැහැ පීසීආර් පරීක්ෂණය හැර වෙනත් පරීක්ෂණ කරන්න. මොකද ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාර නඩත්තු කරන නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ගන්න ඇතැමුන්ට පෞද්ගලික රෝහල්වල රසායනාගාර තිබෙනවා. විවිධ උපකරණ ගෙන්වන සමාගම් තිබෙනවා. මේ නිසා තමයි මේ අකමැති වෙන්නේ. ඒක පාර්ශවීය නොවී මේ වසංගත තත්ත්වය මැඩපවත්වන්න කටයුතු කරන්න කියලයි අපි කියන්නේ

Previous articleකොවිඩ් ගැන සෞඛ්‍ය උපදෙස් නොතකා ගත් දේශපාලන තීන්දුව !
Next articleනීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here