වසංගතයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියදිවි නසාගැනීමට පොළඹවන්නේ කවුද?

(ශාලික විමලසේන)

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හෝ එවැනි පිරිස් රැකබලාගැනීමේ සහ ඔවුන්ට අපහසුතා ඇතිවීම වැළැක්වීමේ වගකීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික කවුන්සිලය හරහා අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැරිය යුතු බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් අවධාරණය කරයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගකීම

හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ සහ පානදුර ප්‍රදේශයේ මෙසේ රැකබලාගන්නන්ට වෛරසය ආසාදනය වීම නිසා, ඔවුන්ගෙන් අදාළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙන්කිරීමත් සමග එම පුද්ගලයන් සියදිවි නසාගැනීමේ සිදුවීම් දෙකක් වාර්තා විය. මෙවැනි අවස්ථාවලදී අදාළ පුද්ගලයන් හුදෙකලා නොකොට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් විකල්ප රැකබලාගැනීමේ ස්ථානයක් වෙත කඩිනමින් යොමු කළ යුතු බව ද පෙන්වා දෙන මනෝ වෛද්‍ය විශේෂඥවරයා, එම වගකීම ඉටු නොකිරීම බරපතළ තත්ත්වයක් බව ද සඳහන් කරයි. තමන්ට කිසිදු රැකවරණයක් නොමැති බව හැඟීයෑමෙන් ඔවුන් දැඩි භීතියට පත්වන බවත්, එවැනි අවස්ථාවල ඔවුන් සියදිවි නසාගැනීමට පෙළඹෙන බවත් MediaLK කළ විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හෝමාගම සහ පානදුර සිදුවීම්

හෝමාගම, කිරිවත්තුඩුව, හරිත උයන ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත තරුණයකු සියදිවි නසාගැනීමේ සිදුවීමක් වාර්තා වූයේ පසුගිය 31 දා ය. ඔහුගේ මව කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට රෝග ලක්ෂණ පෙන්වීම නිසා ප්‍රදේශවාසීන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමෙන් පසු, ඇය ප්‍රතිකාර සඳහා රැගෙන යෑම සිදු වී තිබේ. මෙහිදී අදාළ විශේෂ අවශ්‍යතා සහිත තරුණයා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන්ගෙන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් විමසා ඇති අතර, ප්‍රදේශවාසීන්ට අනුව ඔවුන් පවසා ඇත්තේ ප්‍රදේශවාසීන් එය කළ යුතු බවයි. කෙසේ වෙතත් මෙම තරුණයාගේ තත්ත්වය, ඔහු නිතර නිවසින් පළායෑම, ප්‍රදේශයේ කිසිවකු සමග සම්බන්ධතා නොපැවැත්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇතත්, ඊට විධිමත් පිළිතුරක් ලැබී නැතැයි ද ප්‍රදේශවාසීහු පවසති. පසුව අදාළ ආසාදිත මවගේ වැඩිමහල් පුත්‍රයා වන ගාල්ලේ පදිංචි තරුණයෙකුට ඔහුගේ වගකීම පවරා නිලධාරීන් පිටත්ව ගිය බවත්, පසුදින උදෑසන මෙම තරුණයාට ආහාර ලබාදීමට ඔහුට කතා කිරීමේදී, ප්‍රතිචාරයක් නැති නිසා නිවස විවෘත කර බලන විට ඔහු සියදිවි නසාගෙන සිටින ආකාරය දුටු බවත් ප්‍රදේශවාසීහු වැඩිදුරටක් සඳහන් කරති. පානදුර ප්‍රදේශයේ සිදුවීම ද මීට සමාන වේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් උපදෙස් නෑ

මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කිසිදු උපදෙසක් ලබාදී නොතිබීම බරපතළ කරුණක් බවයි. මෙවැනි අවස්ථාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මූලික වගකීම වන්නේ හැකි ඉක්මනින් ආසාදිතයා ප්‍රතිකාර සඳහා යොමු කිරීම බව ද පෙන්වා දුන් ලේකම්වරයා, අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එය සිදු කර ඇති බව ද සඳහන් කළේය. මෙවැනි අවස්ථාව සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් මෙතෙක් ක්ෂේත්‍ර නිලධාරීන්ට කිසිදු උපදෙසක් ලබාදී නොමැති බවත්, ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ නියෝග ඉටුකිරීම පමණක් බවත් අවධාරණය කළ ඔහු, ක්ෂේත්‍රයේදී මතුවන මෙවැනි ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව ද පෙන්වා දුන්නේය.

ආසාදිතයා හැර වෙනත් කිසිවකු කිසිදු හේතුවක් මත ගිලන් රථයේ නංවායැවීමට අවසරයක් නැති බවත්, ප්‍රදේශයක සිටින රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි කළමනාකරණය නොකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙහි සියලු වගකීම් පැවරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් මතුවී ඇති බවත් වැඩිදුරටත් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ලේකම්වරයා සඳහන් කළේය.

ක්ෂේත්‍රය ගැන නොදත් චක්‍රලේඛ

‘ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක රජයේ නිලධාරීන් කීදෙනෙක් ඉන්නවද. අපි සංගමයක් විදිහට පළමු රැල්ල ආපු අවස්ථාවෙ ඉඳලම කිව්වා, මේ කොට්ඨාසයකට මේ වගේ තත්ත්වයන්ට මුහුණදෙන්න පුළුවන් වෙන්න එක මධ්‍යස්ථානයක් බැගින් හදන්න කියලා. මේ වගේ වැඩකට ගන්න පුළුවන් වහලා දාපු රජයේ ගොඩනැගිලි කොච්චර තියෙනවද. ඒ මධ්‍යස්ථාන හරහා රජයේ නිලධාරීන් ඔක්කොම සම්බන්ධීකරණය කරන වැඩපිළිවෙලක් හදන්න කියලා අපි කිව්වා. ඒත් ඉහළ නිලධාරීන්ට මේ ක්ෂේත්‍රයේ ගැටළු තේරෙන්නෙ නෑ. වීදුරු කාමරවල ඉඳලා ඒගොල්ලො නිකුත් කරන චක්‍රලේඛවලින් මේවට උත්තර ලැබෙන්නෙ නැත්තෙ ඒකයි.’ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මේ පිළිබඳව අදහස් දක්වමින් එසේ ද පැවසීය.

සම්බන්ධීකරණ ගැටළුව

ලංකාවේ ජනගහනය අනුව බැලූ විට, එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සිටින්නේ ජනගහනයෙන් 20,000 කට ය. එවැනි තත්ත්වයක් යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ප්‍රදේශවලට පත්කර ඇති ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, ළමා හිමිකම් නිලධාරි, පරිවාස නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි වැනි රාජ්‍ය නිලධාරීන් අතර විධිමත් සම්බන්ධීකරණයක් ඇති නොකිරීම බරපතළ තත්ත්වයක් බව අප සමග අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයෙක් සඳහන් කළේය. මෙම නිලධාරීන් අතර සම්බන්ධීකරණයක් ඇතිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වුවද, ඒ සියලු සාකච්ඡා නිශ්චිත තීරණයකින් තොරව අවසන් වූ බව ද පැවසූ එම දිස්ත්‍රික් ලේකම්වරයා, මේ අතරින් රාජ්‍ය නිලධාරීන් බහුතරයකගෙන් මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා කිසිදු සේවයක් ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද කිසිදු සැලසුමක් නැති බව පෙන්වා දුන්නේය. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදිය යුතු නොවන්නේද යනුවෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි වැඩපිළිවෙළක් සකස් කිරීම සමස්ත බලධාරීන්ගේ වගකීමක් බවයි. මෙය සෞඛ්‍ය අංශවල රාජකාරියක් පමණක් බවට පත්කොට තිබීම නිසා ඉහත ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් තවත් වැඩිවිය හැකි බව ද ඔහු අවධාරණය කර සිටියේය.

සෞඛ්‍යයට පමණක් පැවරිය හැකිද?

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් පවසන්නේ මෙවැනි තත්ත්වයකදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වෙනම චක්‍රලේඛ හෝ උපදෙස් අනවශ්‍ය බවත්, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ සඳහා තමන් යටතේ සිටින නිලධාරීන් යෙදවිය හැකි බවත් ය. නිලධාරීන් අතර සම්බන්ධීකරණයක් ඇති කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් ලෙස හුවාදැක්වීම අසාධාරණ බවත්, මේ මොහොතේ එය සියල්ලන්ගේ වගකීමක් බවත් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් MediaLK වෙත පැවසීය.

1996 අංක 28 දරන පනත

මේ අතර මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වගකීම සහිත සමාජ සේවා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික කවුන්සිලයක් තිබේ. 1996 අංක 28 දරන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනත යටතේ මෙම කවුන්සිලය පිහිටුවා ඇත. අදාළ විෂය භාර ඇමැතිවරයා එම කවුන්සිලයේ සභාපතිවරයා විය යුතු බවත්, සභාපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් 11 දෙනෙකු සහ විවිධ ක්ෂේත්‍රවලින් මෙන්ම පළාත් සභා සහ පළාත්පාලන ආයතන මට්ටමින් පත්කෙරෙන සාමාජිකයන් 9 දෙනෙකුගෙන් මෙම කවුන්සිලය සමන්විත වන බව පනතේ සඳහන් ය. විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස් මත මේ සියලු සාමාජිකයන්ට විධිමත් ලෙස ගෙවීම් සිදු කළ යුතු බව ද එහි දක්වා ඇත. එනම් මෙය ගරු සේවයක් නොවන අතර, රාජකාරියකි.

පහසුකම් සැපයීමේ වගකීම

කවුන්සිලය යටතේ ක්‍රියාත්මක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද පනත මගින් ප්‍රතිපාදන සකස් කර තිබේ. මෙම පනතේ 13 (අ) හි කවුන්සිලයේ කාර්යය යටතේ සඳහන් වන්නේ මෙම කවුන්සිලය පළාත්පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල සමග සම්බන්ධ වී, ඒ එක් එක් ප්‍රදේශවල සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවක් ලබාගෙන, ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා මැදිහත් විය යුතු බවයි. එහි අංක 06 යටතේ රට පුරා සිටින එවැනි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් නඩත්තු කළ යුතු බව ද සඳහන් ය. එසේම අවශ්‍ය අවස්ථාවලදී, විශේෂ තත්ත්වයක් යටතේ ඔවුන්ට අදාළ සියලු පහසුකම් සැපයීම ද මෙම කවුන්සිලයේ කාර්යයක් ලෙස පනතේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් පවසන්නේ කවුන්සිලයෙන් අපේක්ෂිත කාර්යභාරය ඉටු නොවීම කනගාටුවට කරුණක් බවයි. අඩු තරමේ ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධවෙමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා පහසුකම් සැපයීමක් හෝ සිදු නොකරන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. මේ අතර 2001 වසරේ සිට අදාළ පනත යටතේ අමාත්‍යංශයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ද (DOJF – Disability Organization Joint Front) කටයුතු කරමින් සිටී.

කලාපයේ දෙවැනි තැන ලංකාවට

කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුව මගින් 2019 වසර අවසානයේදී නිකුත් කරන ලද ආසියානු කලාපයේ සමාජ ආරක්ෂණ දර්ශකය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ කලාපයේ දෙවැනි ස්ථානයේ ය. ලංකාවට ඉදිරියෙන් සිටින්නේ තායිලන්තය පමණි. ළමා, වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන සුබසාධක සේවා සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට හතක්, එනම් මිලියන 1.4 ක ජනතාවක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබේ.



මානසික ගැටළු සදහා හදිසි උපකාරක අංක:

CCC line 1333 
ලංකා සුමිත්‍රයෝ පදනම – 0112696666
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය -1926
Previous articleමරණවලින් බාගයක්ම රෝහලෙන් පිටතදී : නිවේදනවල 70%කටම වෙනත් ලෙඩ
Next articleබස්නාහිර ඇඳිරිනීතිය ඉවත් වෙන ප්‍රදේශවලිනුත් ඊයේ කොරෝනා රෝගීන් හමුවෙලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here