මරණවලින් බාගයක්ම රෝහලෙන් පිටතදී : නිවේදනවල 70%කටම වෙනත් ලෙඩ

(නිලූක සදුන් පද්මසිරි)

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ දෙවැනි පැතිරීමෙන් පසු සිදුවූ මරණවලින් 50%කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රෝහල්වලින් පිටතදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම එම වාර්තා අනුව පෙනී යන්නේ රෝහල්වලින් පිටත සිදුවූ මරණ සියල්ලම ඔවුන් කොරෝනා ආසාදිත බවට නොදැන මිය ගොස් ඇති බවත් මරණයෙන් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණවලදී කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වී ඇති බවත්ය.

මිනුවන්ගොඩ පොකුරේ හඳුනාගත් පළමු රෝගියා තහවුරු කෙරුණු ඔක්තෝබර් 03 වැනිදා සිට මේ වන තෙක් කොරෝනා ආසාදිත මරණ 17ක් සිදුව ඇති බවට රජයේ දත්ත වාර්තා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව එම මරණවලින් අට දෙනකුම මිය ගොස් ඇත්තේ රෝහල්වලින් පිටතදී වන අතර නව දෙනකු රෝහල්වලදී මිය ගොස් ඇත.

රෝහල්වලට පිටතදී මිය ගිය රෝගීන්ගෙන් හය දෙනකු සිය නිවෙස්වලදී මියගොස් තිබූ අතර දෙදෙනකු රෝහල්වලට ගෙන එද්දී මියගොස් තිබී ඇති බවට සඳහන් නමුත් එම මරණ සිදුවූයේ කොහේදිදැයි සඳහන් වන්නේ නැත.

තවද වැලිසර රෝහලේ මිය ගිය බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති රෝගියකු සම්බන්ධයෙන් ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ප්‍රකාශ කර තිබුණේ එම රෝගියා මිය ගියේ ⁣නි⁣වසේදී බවයි.

මිය යාමට වෙනත් හේතු

දෙවැනි රැල්ලේදී කොරෝනා ආසාදිත මරණ 17ක් මේ වන විට රජය තහවුරු කර තිබුණද එම රෝගීන් මිය යාමට විවිධ හේතුද සඳහන් කර තිබිණි.

ඉන් බොහෝ රෝගීන්ට නිධන්ගත රෝග, දීර්ඝකාලීන රෝග හෝ වෙනත් රෝග තිබී ඇති බවටත් එම රෝගවල සංකුලතා ද මරණයට හේතු වී ඇති බවටත් සඳහන් කර තිබිණි.

රෝගීන් 17 දෙනාගෙන් 12 දෙනකුටම නිධන්ගත රෝග, දීර්ඝකාලීන රෝග හෝ වෙනත් රෝග තිබූ බවට සඳහන් කර ඇති අතර එක් රෝගියකු මිය යාමට හේතුව ලෙස සඳහන් වූයේ කොවිඩ්-19 නිසා අැ ති වූ පෙනහළු ආසාදනය බවයි. තවත් රෝගියෙක් මිය යාමට හේතුව ‘කොවිඩ්-19 නියුමෝනීයා’ තත්ත්වයක් බවට සඳහන් විය.

රෝගීන් තිදෙනකුට කොවිඩ්-19 නිසා ඇති වූ හෘදයාබාධ ලෙසට සඳහන් කර තිබුණි නමුත් ඉන් එක් රෝගියකුටද නිධන්ගත රොගයන්ගෙන් පෙළුණ බවට සඳහන් කර තිබේ. අවසන් වරට එනම් ඊයේ (06) 30 වැනි කොරෝනා අසාදිත මරණය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු 23 හැවිරිදි තරුණයාට ද දියවැඩියාව තිබී ඇති බවට සඳහන් කර තිබිණි.

ඒ ඒ රෝගියාට අදාළව සඳහන් කර තිබූ වෙනත් රෝග

14 වැනි කොවිඩ්-19 මරණය නිධන්ගත රෝග
15 වැනි කොවිඩ්-19 මරණය හෘද රෝගයකින් සහ වකුගඩු රෝගී
16 වැනි කොවිඩ්-19 මරණය රුධිරයට විෂබීජයක් යාම 
17 වැනි කොවිඩ්-19 මරණය කිසිම හේතුවක් සඳහන් නැත
18 වැනි කොවිඩ්-19 මරණය දීර්ඝකාලීන දැඩි රෝගාබාධ
19 වැනි කොවිඩ්-19 මරණය දීර්ඝකාලීන දැඩි රෝගාබාධ
20 වැනි කොවිඩ්-19 මරණය නිධන්ගත රෝග
21 වැනි කොවිඩ්-19 මරණය අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදිත 
22 වැනි කොවිඩ්-19 මරණය කොවිඩ් -19 නියුමෝනියාව
23 වැනි කොවිඩ්-19 මරණය පෙනහලු ආසාදනය/උණ/කැස්ස
24 වැනි කොවිඩ්-19 මරණය නිධන්ගත රෝග
25 වැනි කොවිඩ්-19 මරණය දීර්ඝකාලීන වකුගඩු රෝග
26 වැනි කොවිඩ්-19 මරණය පපුවේ වේදනාව
27 වැනි කොවිඩ්-19 මරණය කොවිඩ් -19 හෘදයාබාධ
28 වැනි කොවිඩ්-19 මරණය කොවිඩ් -19 පෙනහලු ආසාදනය
29 වැනි කොවිඩ්-19 මරණය කොවිඩ් -19 හෘදයාබාධ
30 වැනි කොවිඩ්-19 මරණය දියවැඩියාව

මේ අනුව මරණ සංඛ්‍යාවෙන් සියයට 71කට පමණ නිධන්ගත රෝග සහ වෙනත් රෝග ඇති රජයේ දත්තවලින් බවට පෙනී යයි. 

දෙවැනි රැල්ලේ පළමු මරණය

කොරෝනා වෛරසය දෙවැනි වතාවට මෙරට පැතිරීමෙන් පසු පළමු මරණය ලෙස රජයට අනුව වාර්තා වූයේ ඔක්තෝබර් 22 වැනිදා වන අතර එලෙස මිය ගියේ කුලියාපිටිය ප්‍රදේශයේ 50 හැවිරිදි කාන්තාවකය.

ඇය 17 වැනිදා කුලියාපිටිය රෝහලේ සිට අයිඩීඑච් රෝහලට මාරුකර එවා තිබූ බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය ක⁣ළේය. 

ඇයට නිධන්ගත රෝග රාශියක් තිබී ඇති බවත් නිධන්ගත රෝගවල සංකූලතා නිසා මිය ගිය බවත් එම නිවේදනයේ සඳහන් විය.

15 වැනි මරණය

දෙවැනි රැල්ලේ දෙවැනි මරණය එනම් මෙරට 15 වැනි නිල මරණය වාර්තා වූයේ ඔක්තෝබර් 24 වැනිදාය.
56 හැවිරිදි පිරිමි පුද්ගලයකු කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මෙලෙස මිය ගොස් තිබිණි.

ඔහු කුලියාපිටිය උෟරලිය – කිතලව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද ඔක්තෝබර් 14 රෝහල්ගත කර තිබූ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. ඔහු හෘද රෝගයකින් සහ වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළී තිබුණු බවත් එම තත්ත්වය උත්සන්න වී මිය ගොස් ඇති බවත් රජය නිවේදනය කළේය.

විෂබීජයක් ගිහින් ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියා

25 වැනිදා කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක් 16 වැනි කොරෝනා මරණය ලෙස නම් කර තිබේ.

ඔහු ඔක්තෝබර් 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුළු වීම නිසා රෝහල්ගත වී ඇතැයි ද මිය ගොස් ඇත්තේ රුධිරයට විෂබීජයක් යාම නිසා ඇතිවූ සංකූලතා නිසා බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

17 වැනි මරණය

ජාඅැල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අයිඩීඑච් රෝහලේ දී ඉකුත් 27 වැනිදා මිය ගියේය. මෙය කොවිඩ්-19 ආසාදිත 17 වැනි මරණය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර ඔහු මිය යාමට වෙනත් හේතු දක්වා තිබුණේ නැත.

වයස අවුරුදු 19ක තරුණයෙකුටත් දිවි අහිමි වෙයි

මෙරට කොරෝනා ආසාදිත 18 සහ 19 වැනි මරණය ලෙස ප්‍රකාශයට පත් කෙරු⁣⁣ණේ එක් නිවේදනයකින් වන අතර එහි 19 වියැති තරුණයෙකු සහ 87 හැවිරිදි කාන්තාවක මිය ගිය බවට සඳහන් විය.

ඔවුන් දෙදනාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ 27 වැනිදා වන අතර දෙදෙනාගේම පදිංචිය කොළඹ ලෙස සටහන් කර තිබිණි. ඔවුන් දෙදෙනා මිය යන තෙක් කොරෝනා රෝගීන් ලෙසට හඳුනාගෙන නොතිබූ අතර රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව සඳහන් විය.ඔවුන්ට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කරන ලද පීසීආර් පරීක්ෂණයෙනි.

වයස අවුරුදු 19ක තරුණයාත් වයස අවුරුදු 87ක කාන්තාවත් දීර්ඝකාලීන දැඩි රෝගාබාධවලින් පෙළී ඇති බවඑ රජය ප්‍රකාශ කළේය.

20 වැනි මරණය

ඔක්තෝබර් 29 වැනිදා ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි කාන්තාවක ඔක්තෝබර් 30 වැනිදා මිය ගොස් තිබිණි.පීසීආර් පරීක්ෂණය 31 වැනිදා ලැබී තිබුණු අතර මරණය නිවේදනය කෙරු⁣⁣⁣ණේ ද 31 වැනිදාය. ඇය නිධන්ගත රෝගවලින් පෙළී තිබූ බවට හේතු දක්වා තිබිණි.

21 වැනි මරණය

මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයකු ඔක්තෝබර් 31 වැනිදා වැලිසර රෝහලේදී මිය ගිය බවට නිවේදනය කළේ නොවැම්බර් 01 වැනිදාය.

අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් 23 වැනිදා වැලිසර ලය රෝහලට ඇතුළත් කර ඇති බවත් පළමු පීසීආර් පරීක්ෂණය අනුව ඔහුට කොරෝනා ආසාදිත නැති බවට තහවුරු වී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

මිය ගිය පසු මරණ පරීක්ෂණයේදී කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු⁣ට කොරෝනා ආසාදිත බව තහවුරු වූ බවටද සඳහන් විය.නමුත් මොහු මිය ගොස් ඇත්තේ 31 වැනිදා හේනේගම සිය නිවසේදී බවත් ගම්පහ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවත් ගම්පහ නගරාධිපති එරංග සේනානයක මහතා එදින ෆේස්බුක් සටහනක් ඔස්සේ පැවසීය.

22 වැනි මරණයත් නිවසේදී

කොළඹ ජම්පටා වීදියේ නිවසේදී ඉකුත් පළමුවැනිදා 68 හැවිරිදි කාන්තාවක මිය ගිය බවටත් එම මරණය මෙරට 22 වැනි කොවිඩ්-19 මරණය බවටත් නිල වශයෙන් නිවේදනය කෙරුණේ තුන්වැනිදාය. ඇයගේ පවුලේ අයකුට කොරෝනා තිබූ බවත් පවුලේ අය නිවෙස් නිරෝධායනයට ලක්කර තිබු බව එම නිවෙිදනයේ සඳහන් විය.

ඇයට පීසීආර් කර තිබු⁣ණේද පශ්චාත් මරණ පරීක්ෂණයේදී බවත් මිය යාමට හේතුව කොවිඩ්-19 නියුමෝනීයා තත්ත්වය බවත් එහි සඳහන් කර තිබිණි.

23 වැනි මරණය

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක නොවැම්බර් 02 වැනිදා සිය නිවසේදී මිය ගොස් තිබූ බවට ඉකුත් 03 වැනිදා නිවේදනය කෙරිණි. උණ කැස්ස උගුරේ ආසාදනය ආදී රෝගී තත්ත්වවලින් ඈ පෙළුණු බවද මිය යාමට ආසන්නම හේතුව පෙනහලු ආසාදනයක් බවද සඳහන් විය.

මාසයක් රෝගීව සිටි කතක්

24 වැනි මරණය ද සිදුව තිබුණේ නිවසකදීය. කොළඹ 13 පදිංචි 79 හැවිරිදි කාන්තාවක 03 වැනිදා කොරෝනා ආසාදිත වී මිය ගොස් ඇතැයි නිවේදනය කරනු ලැබුවේ ඊට පසු දිනය. ඇය මාසයක් රෝගී තත්ත්වයෙන් නිවසේ පසූ වී තිබූ බවත් නිධන්ගත රොගයන්ගෙන් පෙළී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් ලෙසට මරණයට හේතුව දක්වා තිබිණි.

25 – 26 වැනි මරණ

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පිඹුර මූලික රෝහලේ දී ඉකුත් 04 වැනිදා දින මිය ගොස් ඇති බවට 05 වැනිදා නිවේදනය කෙරිණි. එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් ද පෙළී ඇති බවට සඳහන් විය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 04 වැනි දා මියගොස් ඇති බව රජය නිවේදනය කළේය. එය මෙරට 16 වැනි කොවිඩ්-19 මරණයයි.

මරණයේ හේතු නොදැක මිය ගිය තවත් තිදෙනෙක්

ඉහත 25-26 මරණ සහ 27-28-29 යන මරණ ප්‍රකාශයට පත් කෙරුණේ එකම නිවේදනයකින් වන අතර 27-28-29 යන මරණ තුනම සිදුව තිබුණේ නිවෙස්වලදීය.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක සිය නිවසේදී මිය ගොස් තිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගත් බවත් මරණයට හේතුව කොවිඩ් -19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.මෙය මෙරට 27 වැනි නිල කොවිඩ්-19 ආසාදිත මරණයයි.

28 වැනි මරණය ලෙස මිය ගොස් තිබුණේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. ඇය ද සිය නිවසේදී මියගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබිණි. මරණයට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහලු ආසාදනයක් බවයි.

29 වැනි මරණය ලෙස කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයකු සිය නිවසේ දී මිය ගොස් තිබූ බව ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයකු ලෙස තහවුරු වූ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

මරණයට හේතුව ලෙස දක්වා තිබුණේ  කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවටයි.

30 වැනියට මියගිය 23 හැවිරිදි තරුණයාටත් දියවැඩියාව

කොරෝනා වෛරසය ආසාදිත වූ 23 හැවිරිදි තරුණයෙකු දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (06) නිවේදනය කළේය.

මෙය මෙරට තහවුරු වූ 30 වැනි කොරෝනා මරණය බව ද ඔහු ඉකුත්  05 වැනිදා මිය ගිය බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු මෙලෙස දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 ආසාදිත විම නිසා මිය ගිය බව එම නිවේදනයේ දැක්විණි.

වෙනත් හේතු නිසා මිය ගිය දෙන්නෙක්ටත් මරණ පරීක්ෂණයෙන් කොරෝනා බවට තහවුරු වූ බව⁣ට රජය නි⁣වේදනය කළේය. ඉන් එක් මරණයක් කොරෝනා ආසාදිත මරණයක් ලෙසට ප්‍රකාශයට පත් කර නැවත අවලංගු කෙරිණි

ආපසු හැරවූ 22 වැනි කොවිඩ්-19 මරණය

22 වැනි කොරෝනා මරණය ලෙස රජයේ සෞඛ්‍ය අංශ විසින්ම ඉකුත් 02 වැනිදා උදැසන ප්‍රකාශයට පත් කරනු ලැබු පානදුර තරුණයකුගේ මරණය කොවිඩ්-19 මරණ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එදින සවස වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය. ඒ එම මරණය කොරෝනා නිසා ඇති වූ මරණයක් නොවන නිසා බව එම අංශය බව එහි සඳහන් විය.

එම මරණය සිදුවීමට කොරෝනා දායක වී නොමැති නිසා මෙම තීරණය ගත් බවත් කොවිඩ්-19 රෝගයේ බලපෑම තක්සේරු කිරීමට වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණ වෙනම ගණන් කිරීමට තීරණය කර ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ එම නි⁣වේදනයේ දැක්විණි.

ඇද වැටී මිය ගිය කෙනෙක්ටත් කොරෝනා : දැනගෙන ඇත්තේ මැරුණාට පසු

ඇද වැටීමෙන් මිය ගිය බව කියන 78 හැවිරිදි පුද්ගලයකුටත් කොරෝනා ආසාදිත වී ඇති බවට මිය යාමෙන් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉකුත් 04 වැනිදා නිවේදනය කළේය.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස ඇද වැටීමෙන් බරපතල තුවාල සිදුවී ඉකුත් 02 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් 03 වැනිදා මිය ගිය බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණය අවස්ථාවේදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේදී මෙලෙස ඔහු කොවිඩ්-19 ආසාදිතයකු ලෙස හඳුනාගත් නමුත් මරණයට ආසන්නම හේතුව සලකා බලා මෙය කොරෝනා මරණයක් නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Previous articleවන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම පර්යේෂණයට MediaLK ගෞරවය !
Next articleවසංගතයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියදිවි නසාගැනීමට පොළඹවන්නේ කවුද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here