වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම පර්යේෂණයට MediaLK ගෞරවය !

මුල්ම විද්‍යාත්මක අධ්‍යයනය

උඩවලව ඇත්අතුරු සෙවණ වෙත යොමු කෙරෙන අලි පැටවුන්ගෙන්ද සියයට 40 ක් පමණ මරණයට පත්වන බව ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකළ පර්යේෂකයන් පිරිසක් අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මේ වනතෙක් අලි ජාවාරම් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කර නැති බැවින් අලි ජාවාරම් ව්‍යාපාර මට්ටමින් සිදුවෙමින් පවතින බවද එම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත් වන අලි පැටවුන් නීතිවිරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව සිදුකළ මෙම ප්‍රථම විද්‍යාත්මක අධ්‍යයනයේ ප්‍රතිඵල සහිත පර්යේෂණ පත්‍රිකාව ‘Illegal capture and internal trade of wild Asian Elephants (Elephas maximus) in Sri Lanka’ යනුවෙන් නම්කර ඇත. මේ සඳහා දෙස් – විදෙස් පර්යේෂකයන් පිරිසකගේ දායකත්වය ලැබී තිබේ.

අලියා

අලියෙකු සම්බන්ධයෙන් සිදුකරන වරදක් නීතියෙන් ඇප දිය නොහැකි වරදක් ලෙසට නීතියේ දක්වා තිබේ. එමෙන්ම ලංකාවේ පවතින නීතිය අනුව අලියෙකු පෞද්ගලිකව තමන් සතුකර ගැනීමට නීත්‍යනුකූල හැකියාවක්  නොමැත. ලංකාවේ කැලෑවල අලි ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින තත්ත්වයක් මත පෞද්ගලිකව අලින් සන්තකයට ගැනීමට උත්සාහ දැරීම සහ එය ජාවාරමක් බවට පත්වී තිබීම බරපතළ තත්ත්වයකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 වර්ෂයේ කළ පරීක්ෂණයේදී වාර්තා වූ ආකාරයට ලංකාවේ සමස්ත වන අලි ගහනය 5,879ක් වේ. එමෙන්ම 2017 වර්ෂයේ අලි මරණ 275ක් වාර්තා වී ඇති අතර,  2018 වර්ෂයේ එය 300 දක්වා ඉහළ ගොස් ඇත. 2019 වන විට එය 400 දක්වා සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

ලංකාවේ අලි ජාවාරම්

දිවයිනේ වනාන්තරවල ජීවත් වූ වනඅලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්දන බෙහෙත් විද මව් ඇතින්න අකර්මණ්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්දන බෙහෙත් විදීමෙන් අකර්මණ්‍ය කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව උඩවලව ඇත්අතුරු සෙවණින් පුනරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන්ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනරුත්ථාපනය කිරීමට ඇත්අතුරු සෙවණ වැනි රැඳවුම් මධ්‍යස්ථානවලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව හෙළි වී ඇත. එමෙන්ම වනයේ අතරමං වන අලිපැටවුන් සම්බන්ධ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඇත්අතුරු සෙවණ වෙත වාර්තා වීමට ප්‍රථම එම අලි පැටවුන් තම ග්‍රහණයට ගෙන ජාවාරම් කිරීමටද ජාවාරම්කරුවන් විසින් කටයුතු කර ඇත.

මෙසේ ජාවාරම් කරනු ලබන අලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දූෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචාසහගත ලෙස ලියාපදිංචි කරගෙන ඇති බව පසුගිය විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමින් පර්යේෂකයෝ අනාවරණය කරති. උඩවලව සහ රුහුණු යාල ජාතික උද්‍යාන, කටගමුව අභයභූමිය, හම්බන්තොට වනඅලි කළමනාකරණ ප්‍රදේශය, ගල්ගමුව, මහව සහ වීරවිල යන ප්‍රදේශ වලින් මෙසේ ජාවාරම්කරුවන් විසින් අලින් අල්ලා ඇති බවට සෘජු සාක්ෂි ඇතැයි පෙන්වා දෙන පර්යේෂකයන්, ඊට අමතරව හබරණ ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින්ද අලින් අල්ලා ඇති බවට සම්මුඛ සාකච්ඡා මගින් හෙළි වී ඇති බව පවසයි. සැකකටයුතු අලින්ගේ ලියාපදිංචි ලේඛනවල දක්වා ඇති වයස සහ වනජීවී පශු වෛද්‍යවරුන් විසින් නිර්ණය කරන ලද වයස අතර සංඛ්‍යාන විද්‍යාත්මකව කැපී පෙනෙන වෙනසක් ඇති බව මෙම අධ්‍යයනයේදී අනාවරණය කරගෙන තිබේ.

වසර 10 ක පර්යේෂණයක්

2008 ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ මෙරටින් වාර්තා වූ වනඅලි පැටවුන් වනාන්තරවලින් ඇල්ලූ බව වාර්තා වූ සහ එසේ අල්ලාගෙන පෞද්ගලික භාරකාරීත්වයේ රඳවාගෙන සිටි බවට සැක කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලය ලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලින් 55 දෙනෙකු පිළිබඳව පර්යේෂකයන් මෙම අධ්‍යයනයේදී කරුණු අනාවරණය කර තිබේ.

ආසියානු අලිඇතුන් ජීවත් වන රටවල් අතරින් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල වනාන්තරවලින් අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව පුළුල් විද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබේ. එසේ වුවද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එම පර්යේෂණ මෙතෙක් සිදුකර නැත. ඒ අනුව මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ ඊට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. දැනට ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලිඇතුන්ගේ ජෛවමිතිය හා නීතිමය ලියකියවිලි ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ වනඅලි ඇල්ලීමේ හා ජාවාරම් කිරීමේ ක්‍රම, ඒවා සිදුවන ප්‍රදේශ, වෙළෙඳ මාර්ග, සම්බන්ධ පාර්ශ්වකරුවන් සහ වෙළෙඳ පොළ වටිනාකම පිළිබඳව මෙහිදී පර්යේෂකයන් විසින් අධ්‍යයනය කර ඇත. ඒ සඳහා අධිකරණයේ විභාග වන නඩුවල වාර්තා, අලි ජාවාරම පිළිබඳව සෙවීමට පත් කළ කමිටු වාර්තා, විගණකාධිපති වාර්තා, පරිසරවේදීන් විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සහ මාධ්‍ය වාර්තා මෙන්ම මීට සම්බන්ධ විවිධ පාර්ශ්ව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා ඇතුළු මූලාශ්‍ර රැසක් උපයෝගී කරගෙන තිබේ.

අනාවරණය කරගත් තොරතුරු

උඩවලව ඇත්අතුරු සෙවණ වෙත යොමු කෙරෙන අලි පැටවුන්ගෙන්ද සියයට හතළිහක් පමණ මරණයට පත්වන බව පෙන්වා දෙන පර්යේෂකයන් සඳහන් කරන්නේ එවැනි පශු වෛද්‍ය සත්කාර රහිත ජාවරම් කරනු ලබන අලි පැටවුන් අකාලයේ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවයි. තවද මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැස්කිරීමට ඇති ප්‍රායෝගික අපහසුවද එසේ අඩු අලින් ප්‍රමාණයක් වාර්තා වීමට හේතු විය හැකි තවත් කරුණකි.

පර්යේෂකයන්ගේ නිර්දේශ

මෙම ජාවාරම වැළැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට පර්යේෂකයන් නිර්දේශ කරයි. සැකකරුගේ සමාජ තත්ත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතු බව ඔවුහු අවධාරණය කරති. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත් කළයුතු බවද ඔවුන්ගේ අදහසයි. උඩවලව ඇත්අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලිඇතුන් නැවත වනයට මුදාහැරීමට තරම් සුදුසුදැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබාදීමටද ඔවුහු යෝජනා කරති. තවද ගෘහාශ්‍රිතකරණය කළ අලිඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සකස් කළ යුතු බවටද ඔවුහු යෝජනා කරති.

පර්යේෂණයට දායකවූවන්

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සහ තරුණ වනජීවී පර්යේෂකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් මෙම පර්යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇති අතර, මෙරට වනඅලි අල්ලා මුදලට විකිණීමේ ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ උපුල් ඉන්ද්‍රජිත් සහ චමින්ද අත්තනායක යන වනජීවී නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඊට දායකත්වය ලබා දී ඇත. එමෙන්ම වනජීවී වෙළෙඳාම පිළිබඳව ලොව පුරා අධ්‍යයන රැසක් සිදුකර ඇති එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්සන්ට් නිජ්මන්, ඇමරිකාවේ ලෝන්ග්වුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජාන් හේන්කනත්තෙගෙදර, මෙරට ප්‍රමුඛ පෙළේ වනජීවී පර්යේෂකයෙකු වන ස්වභාව ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමේ ප්‍රධානී සමීර සුරන්ජන් කරුණාරත්න සහ ජෛවවි විධත්ව සංරක්ෂණ සංගමයේ පර්යේෂක මාධව බොතේජු යන මහත්වරු මෙම පර්යේෂණ කණ්ඩායම නියෝජනය කරති.


Previous articleපැරිස් සම්මුතිය ඉරා දැමූ ‘ට්‍රම්ප්’ එතැනින් කොතැනටද ?‍
Next articleමරණවලින් බාගයක්ම රෝහලෙන් පිටතදී : නිවේදනවල 70%කටම වෙනත් ලෙඩ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here