පැරිස් සම්මුතිය ඉරා දැමූ ‘ට්‍රම්ප්’ එතැනින් කොතැනටද ?‍

(ශාලික විමලසේන)

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා ලද තීරණයකට අනුව දේශගුණික වෙනස්වීම් අවම කිරීම පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය පසුගිය 04 දා නිල වශයෙන් ඉවත් විය.

දේශගුණික වෙනස්වීමක් නැත

මීට වසර තුනකට පෙර, එනම් 2017 වසරේ ජුනි මාසයේ ට්‍රම්ප් මෙම තීරණය ගත් අතර, ඔහු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී ධවල මන්දිරයෙන් පිටත්වන්නට පැය ගණනකට පෙර එය ක්‍රියාත්මක වීම ඇරඹිණි. සමස්ත ලෝකය ම මෙම සම්මුතිය, දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ වැදගත්ම අන්තර්ජාතික සම්මුතිය ලෙස සලකද්දී, ට්‍රම්ප් කිව්වේ ඊට හාත්පසින් වෙනස් කතාවකි. දේශගුණික වෙනස්වීම් යනුවෙන් කිසිවක් නොමැති බවත්, මෙම සම්මුතිය රටේ සංවර්ධනයට බාධාවක් බවත් ඔහු වරින්-වර පවසා තිබිණි.

ඔබාමාගේ අත්සන ඉවත් කරගනී

2015 දෙසැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය මෙම සම්මුතියට අත්සන් තැබූ අතර, එවකට එරට ජනාධිපතිවරයා වූයේ බරක් ඔබාමා ය. ඔහුගේ කාලයේ එරට රාජ්‍ය ලේකම් ධුරය දැරූ ජෝන් කෙරී ඊට අත්සන් තැබුවේ සිය මිනිබිරිය ද ඇකයේ තබාගෙන ය. එමගින් ඔහු අනාගතය වෙනුවෙන් මෙය සිදුකරන බව සංකේතවත් කරන ලදැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. 2015 වර්ෂයේදී කෙටුම්පත් කරන ලද පැරිස් සම්මුතියේ අරමුණ වූයේ දේශගුණික වෙනස්වීම්වලට එරෙහිව ගෝලීය වශයෙන් සාමූහිකව ප්‍රතිචාර දැක්විය හැකි එකමුතුවක් නිර්මාණය කිරීම ය. මෙම සියවසේ ගෝලීය උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක දෙකකට වඩා පහළ අගයක තබාගැනීම එමගින් අපේක්ෂා කෙරිණි.

උෂ්ණත්වයේ තීරණාත්මක වෙනස

ලෝකයේ මෙතෙක් වැඩිම උණුසුමක් වාර්තා වූ මාසය ලෙස 2019 ජුලි මාසය ප්‍රකාශයට පත්කර තිබේ. මීට පෙර වැඩිම උණුසුමක් වාර්තා වූ මාසය ලෙස පර්යේෂකයන් හැඳින්වුයේ 2016 ජුලි මාසයයි. ඊට වඩා සෙල්සියස් අංශක 0.04 කින් 2019 ජුලි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වී තිබේ. යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණ වෙනස්වීම් පිළිබඳ වැඩසටහනේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ 1981 – 2010 කාලයට සාපේක්ෂව, 2019 ජූලි මාසයේදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.56 කින් ඉහළ ගොස් ඇති බවයි. එය අතිශය භයානක ඉහළයෑමක් බව ඔවුන්ගේ නිරීක්ෂණයයි.

කොපර්නිකස් වැඩසටහනේ ප්‍රධානී ජීන් නොවෙල් අවධාරණය කරන්නේ ජූලි මාසය සාමාන්‍යයෙන් වසරේ උෂ්ණත්වය අධිකම මාසය ලෙස තම වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් හඳුනාගෙන ඇති බවයි. එසේ වුවත් මේ උෂ්ණත්වය ඉහළයෑම මගින් අනාගතය අඳුරු කිරීම අනිවාර්ය බව ද ඔහු පවසා තිබේ. මෙම වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ෆ්රෙජෝ වැම්බර්ග් පෙන්වා දෙන්නේ 2015 – 2018 කාලය ලෝකයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වසර හතර බවයි. උෂ්ණත්ව වාර්තා අනුව ගෝලීය උෂ්ණත්වයේ ඉහළයෑමේ සාමාන්‍යය සෙල්සියස් අංශක 1.2 ක් බවද ඔහු සඳහන් කරයි. දේශගුණික වෙනස්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය කමිටුව 2018 වසරේදී අනාවැකි පළ කලේ 2030 වසර වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් ඉහළ යනු ඇති බවටයි.

ලංකාව 171 වැනි රට

යුරෝපා සංගමයද ඇතුළුව ලෝකයේ රටවල් බහුතරයක් මෙම සම්මුතියට අත්සන් තැබීම මගින් ප්‍රතිඥා දී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් අඩු කිරීමට සිය උපරිම දායකත්වය ලබාදෙන බවටයි. 2016 අප්‍රේල් 22 දින සම්මුතියට අත්සන් තැබීමෙන්, ශ්‍රී ලංකාව ඊට එකඟ වූ 171 වැනි රට බවට පත්විය. ලංකාව වෙනුවෙන් ඊට අත්සන් තබන ලද්දේ එවකට මෙරට විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ඇමැතිවරයා වූ සුසිල් ප්‍රේම්ජයන්ත ය.

වැඩිම බලපෑම ඇමරිකාවෙන්

කෙසේ වෙතත් ගෝලීය උෂ්ණත්වය ඉහළයෑමට වැඩි දායකත්වයක් දක්වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති ඇමරිකා එක්සත් ජනපදය ඉන් නිල වශයෙන් ඉවත් වී අවසන් ය. මිහිතලය උණුසුම්වීමට තීරණාත්මක ලෙස බලපාන ලෝක හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 15 ක් සිදුවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් බව වාර්තා පෙන්වා දෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ජෝ බයිඩ්න් පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී පවසා තිබුණේ යළිත් පැරිස් සම්මුතියට අත්සන් තබන බවයි.

බයිඩ්න් ඔබාමාගේ පාරේ යයිද?

2015 දෙසැම්බර් මාසයේ අත්සන් කළ මෙම ගිවිසුම, 2016 නොවැම්බර් 4 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක වීම ඇරඹිණි. බලාත්මක වීමෙන් පසු වසර තුනක් යන තෙක් කිසිදු රාජ්‍යයකට මෙයින් ඉවත් විය නොහැකි බවත්, යම් හෙයකින් එසේ ඉවත්වීමට අවශ්‍ය වුවහොත් ඒ බව දැනුම්දීමෙන් පසු වසර තුනක කාලයක් සම්මුතිය සමග සිටිය යුතු බවත් ආරම්භයේදීම සියලු පාර්ශ්ව එකඟ වූ කරුණකි. ඒ අනුව ට්‍රම්ප් සම්මුතියෙන් ඉවත් වන බව දැනුම් දී, වසර තුනක් ගතවූයේ පසුගිය 04 දා ට ය. කෙසේ වෙතත් රටක් එයින් ඉවත් වුවද, අවශ්‍ය ඕනෑම අවස්ථාවක යළිත් ඊට එකතුවීමට බාධාවක් නැත. ජෝ බයිඩ්න් තම මැතිවරණ කටයුතු අතර, සම්මුතියට යළිත් එක්වන බව පැවසුවේ ඒ නිසා ය.

බිහිසුණු යතාර්ථය

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහ ලේකම් පෙට්රි ටාලාස් මාධ්‍යයට පවසා තිබුණේ 2019 ජූලි මාසයෙන් පසු ලෝකයේ දේශගුණ ඉතිහාසය නැවත ලියන්නට සිදු වනු ඇති බවයි. ‘මේක විද්‍යා ප්‍රබන්ධයක් නෙමෙයි. මේක තමයි දේශගුණ වෙනස්කම්වල යතාර්ථය. ඉතාම ඉක්මනින් ලෝකයම එක්ව මීට එරෙහිව කටයුතු නොකළොත් මේ ග්‍රහලෝකය ජීවත්වීමට නුසුදුසු තැනක් වෙයි.’

Previous articleප්‍රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් !
Next articleවන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම පර්යේෂණයට MediaLK ගෞරවය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here