ගැසට් හතරයි – කැසට් විතරයි : සහල් මිල පාලනයේ ඇත්ත කතාව

(නිලුක සඳුන් පද්මසිරි)

සහල් සඳහා උපරිම මිල ගණන් නියම කරමින් ආණ්ඩුව අද (04) හතරවැනි වතාවටත් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසටත් සම්බා කැකුළු කිලෝවක මිල රුපියල් 94ක් ලෙසටත් නාඩු කිලෝවක මිල රුපියල් 92ක් ලෙසටත් කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 89ක් ලෙසටත් එම ගැසට්ටුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ගැසට්ටුවේ සඳහන් වන්නේ සහල් සඳහා සිල්ලර උපරිම මිල නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම එම ගැසට්ටුවේ සඳහන් වන්නේ ද නිෂ්පාදකයකු හෝ සහල් මෝල් හිමියකු මෙම මිලට වඩා වෙළඳාම් නොකළ යුතු බව මිස එහි බෙදාහරින්නන් හෝ වෙළෙන්ඳන් අලෙවි කළ යුතු සිල්ලර උපරිම මිලක් සඳහන් වන්නේ නැත.

ආණ්ඩුව මෙලෙස අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ මීට පෙර ගැසට් කර තිබූ උපරිම මිලටත් වඩා අධික මිලකට සහල් අලෙවි වන අවධියකය.

මීට පෙර බලාත්මකව පැවති පැරණි ගැසට්ටුව අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වූ අතර නාඩු කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 96ක් ලෙසටද, කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 93ක් ලෙසටද සටහන් විය.(2020 මැයි මස 28 වැනි බ‍්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබූ අංක – 2177/9 දරණ ගැසට්ටුව අනුව)

නමුත් අද දිනයේ සහල් කිලෝවක තොග මිල පවා ඉහත ගැසට්ටුවේ මිලට වඩා ඉතාමත් ඉහළ බව මහ බැංකු දත්ත සඳහන් කරයි. මහ බැංකුව අද (04) නිකුත් කළ දත්ත අනුව පිටකොටුව වෙළෙඳපො⁣ළේ සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 115ක් වූ අතර මරදගහමුල එම මිල රුපියල් 114ක් ලෙස සටහන් විය.

මහ බැංකු වාර්තාව අනුව අද සහල් කිලෝවක තොග මිල

සම්බා

  • පිටකොටුව – රුපියල් 115
  • මරදගහමුල – රුපියල් 114

නාඩු

  • පිටකොටුව – රුපියල් 102
  • මරදගහමුල – රුපියල් 104

සුදු කැකුළු

  • පිටකොටුව – රුපියල් 100
  • මරදගහමුල – රුපියල් 94

රතු කැකුළු

  • පිටකොටුව – රුපියල් 100
  • මරදගහමුල – රුපියල් 95

ආණ්ඩුව විසින් මීට පෙර නිකුත් කරනු ලැබූ ගැසට්ටුවේ සම්බා සහල් කිලෝවක උපරිම මිල රුපියල් 98ක් ලෙස සටහන් වූවද පසුගිය දිනවල ඇතැම් ප්‍රදේශයන්හී වෙළෙඳසැල්වල එම මිල රුපියල් 120ත් 130ත් අතර බව අප කළ සොයාබැලීමකදී අනාවරණය විය.

පසුගිය දිනවල සම්බා සහල් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 130කට බවටත්, නාඩු සහල් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 115කට බවටත්, කැකුළු සහල් කිලෝවක් රුපියල් 110කට අලෙවි වූ බවටත් සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයෝ පැවසූහ. එම දිනවල බලාත්මකව තිබූ ගැසට්ටුව අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 96ක් ද කැකුළු හාල් කිලෝවක උපරිම මිල රුපියල් 93ක් ද විය යුතුව තිබිණි.

මහ බැංකුවට අනුව අද (දඹුල්ල) සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 119  ක් වන අතර නාඩු කිලෝවක් රුපියල් 107ක් ද සුදු කැකුළු රුපියල් 100ක්ද රතු කැකුළු රුපියල් 102 ද වෙයි. එ් අනුව අද සම්බා සහල් කිලෝවක මිල පෙර පැවති ගැසට්ටුවට වඩා රුපියල් 20කින් වැඩිය. (ඇඳිරිනීතිය හේතුවෙන් කොළඹ සිල්ලර වෙළෙඳසැල් වසා දැමීම තිබීම නිසා අද මහ බැංකු වාර්තාවේ කොළඹ සිල්ලර මිල සටහන් වන්නේ නැත. සටහන් වන්නේ දඹුල්ලේ මිල පමණි)

මීට මාසයකට පෙර තත්ත්වය

මහ බැංකුව මීට හරියටම මසකට පෙර එනම් ඔක්තෝබර් 05 වැනිදා නිකුත් කළ දෛනික මිල දත්ත වාර්තාව අනුව සම්බා සහල් කිලෝවක මිල ඒ දිනවල පැවති පාලන මිලට වඩා රුපියල් 10කින් වැඩි බව පෙනී ගියේය. එවකට රුපියල් 98ක උපරිම මිලක් පනවා තිබූ සම්බා සහල් කිලෝවක මිල (පිටකොටුව) එදින සටහන් වූයේ රුපියල් 108ක් ලෙසය. එදින එම වාර්තාවේ දඹුල්ලේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100ක් ලෙස සටහන් විය.

එම මහ බැංකු වාර්තාව අනුව සම්බා සහල් සඳහා වූ තොග මිලත් නියමිත සහල් පාලන මිලට (උපරිම සිල්ලර මිල) වඩා වැඩි තත්ත්වයක් ගෙන තිබිණි. 

එවකට පැවති ගැසට්ටුව අනුව සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වුවද එය මරදගහමුල තොග වෙළෙඳපොලේ එම සීමාව ඉක්මවා ගොස් කිලෝවක තොග මිල රුපියල් 104ක් ලෙස සටහන් විය. ඒ අනුව සම්බා සහල් කිලෝවක තොග මිලත් නියමිත සිල්ලර මිලට වඩා රුපියල් 6ක් වැඩියෙන් අලෙවි වී තිබේ.

මරදගහමුල තොග මිල පසුගිය මාසය තුළ වැඩි වූ අයුරු

මහ බැංකු දෛනික මිල වාර්තා අනුව මීට මාසයකට පෙර සහල් කිලෝවක තොග මිල පහත දැක්වෙයි.

සම්බා

පිටකොටුව – රුපියල් 100
මරදගහමුල – රුපියල් 104

නාඩු

පිටකොටුව – රුපියල් 90
මරදගහමුල – රුපියල් 91

සුදු කැකුළු

පිටකොටුව – රුපියල් 90
මරදගහමුල – රුපියල් 88

රතු කැකුළු

පිටකොටුව – රුපියල් 88
මරදගහමුල – රුපියල් 91

පිටකොටුව තොග මිල පසුගිය මාසය තුළ වැඩි වූ අයුරු

මාසයකදී සහල් මිලේ සිදුවූ වෙනස

ඉකුත් මස 05 වැනිදා සහ අද තත්ත්වය අතර සන්සන්දනය කළ හැක්කේ දඹුල්ල වෙළෙඳපොළේ මිල ගණන් පමණක් වන ඊට හේතුව ඇඳිරිනීතිය නිසා අද කොළඹ සිල්ලර මිල සටහන් නොවීමය.

ඒ අනුව ඔක්තෝබර් 05 වැනිදා රුපියල් 100ක්ව පැවති සම්බා සහල් කිලෝවක් අද දඹුල්ලේ අලෙවි වන්නේ රුපියල් 119කටය. ඒ අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් 19කින් වැඩි වී තිබේ.

එදා රුපියල් 98ක්ව පැවති නාඩු කිලෝවක මිල අද රුපියල් 9කින් රුපියල් 107 දක්වා වැඩි වී තිබෙන අතර එදින රුපියල් 87ක් ව පැවති සුදු කැකුළු කිලෝවක් අද රුපියල් 100 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව එම මස තුළ සුදු කැකුළු කිලෝවක් රුපියල් 13කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම එදා 92ක්ව පැවති රතු කැකුළු මිල අද වන වි⁣ට රුපියල් 10කින් රුපියල් 102 දක්වා වැඩි වී තිබේ.

දඹුල්ල සිල්ලර මිල පසුගිය මාසය තුළ වැඩි වූ අයුරු

හාල් මිටියක මිල වැඩි වුණ හැටි

රජයේ පර්යේෂණ ආයතනයක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතයයේ මිල දර්ශනය අනුව ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 23 වන විට සම්බා සහල් කිලෝ 50 මිටියක තොග මිල රුපියල් 265කින් ඉහළ ගොස් ඇත. (එම මිල අද සමග සන්සන්දනය කළ නොහැකි වීමට හේතුව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම වාර්තා ඔක්තෝබර් 23 වැනිදායින් පසු යාවත්කාලීන කර නොතිබීමයි)

සහල් මිටියක (50kg) මිල පසුගිය මාසය තුළ වැඩි වූ අයුරු

මේ අතර නාඩු කිලෝ 50 මිටියක් රුපියල් 150කින්ද රතු කැකුළු මිටියක මිල රුපියල් 100කින් ද සුදු කැකුළු මිටියක මිල 220කින් ද ඉහළ ගොස් තිබේ.

ඔක්තෝබර් 05 වැනිදාට සාපේක්ෂව ඔක්තෝබර් 23 වැනිදා තොග මිල (කිලෝ 50 මිටියක)

සම්බා

ඔක්තෝබර් 05 – රුපියල් 5310
ඔක්තෝබර් 23 – රුපියල් 5575

නාඩු

ඔක්තෝබර් 05 – රුපියල් 4650
ඔක්තෝබර් 23 – රුපියල් 4800

රතු කැකුළු

ඔක්තෝබර් 05 – රුපියල් 4560
ඔක්තෝබර් 23 – රුපියල් 4660

සුදු කැකුළු

ඔක්තෝබර් 05 – රුපියල් 4490
ඔක්තෝබර් 23 – රුපියල් 4710

ආණ්ඩුවේ හාල් ගැසට්ටු ඉතිහාසය

සම්බා සහ නාඩු කිලෝ ග්‍රෑම් 1 ක් සදහා උපරිම මිල රුපියල් 98ක් ලෙසට නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සෙනවීර මහතා 2019 දෙසැම්බර් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා අංක 2154/19 දරණ ගැසට් නිවේදනය නිකුත් කළේය. එය මෙම ආණ්ඩුවේ පළමු හාල් ගැසට්ටුවයි.

ඊට පෙර කිලෝග්‍රෑමයක් සදහා උපරිම සහල් මිල තිබුණේ සම්බා සදහා රුපියල් 85ක් ලෙසත් සුදු නාඩු රුපියල් 80ක් ලෙසත් රතු නාඩු සදහා රුපියල් 74ක් ලෙසත් ය.( අංක 2125/66 – 2019.05.31 ගැසට්ටුව අනුව)

දෙසැම්බර් ගැසට්ටුවෙන් වැඩි කෙරුණු සහල් මිල යළි අඩු කරමින් 2020 අප්‍රේල් මස 10 වැනි දා 2170/7 දරණ ගැසට්ටුව නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනය අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 90ක් ලෙසත් නාඩු කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 90ක් ලෙසත් ප්‍රකාශයට පත් කෙරිණි. එම නිවේදනය අනුව කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 85ක් ලෙසටද සදහන් විය.

එලෙස මිල අඩු කරමින් වත්මන් රජය පැවසූවේ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි මිල වැඩි නොකරන බවයි. එවකට තිබූ පාලන මිලට වඩා සත පහක්වත් වැඩි කිරීමට අවශ්‍ය නැතැයි ද ආණ්ඩුවේ මැතිඇමතිවරු පැවසූහ.

නමුත් ඉහත ගැසට් නිවේදනයෙන් මාස දෙකක් ගතවීමටත් පෙර එනම් 2020 මැයි මස 28 වැනිදා එම ගැසට්ටුව අවලංගු කරමින් අංක – 2177/9 දරණ ගැසට් නිවේදනයෙන් යළි සහල් මිල වැඩි කෙරිණි. එය වත්මන් ආණ්ඩුවේ සහල් මිල පාලනය කිරීමේ තුන්වැනි ගැසට්ටුවයි.

ඒ අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, සම්බා කැකුළු කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, නාඩු කිලෝ ග්‍රෑම් 1 ක උපරිම මිල රුපියල් 96ක් දක්වාත් කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් උපරිම මිල රුපියල් 93ක් දක්වාත් ඉහළ දැමීය.

තුන්වැනි ගැසට්ටුව අද දක්වා බල පැවැත්වූණ නමුත් ඉහත කී පරිදි එම මිල ගණන්වලට වඩා වෙළෙඳපොලේ සහල් අලෙවි වූ බව රජයේ දත්ත වාර්තා තහවුරු කරයි.

පළමු ගැසට්ටුව

දෙවන ගැසට්ටුව

තුන්වැනි ගැසට්ටුව

සිව්වැනි ගැසට්ටුව (අද නිකුත් කළ)

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර බලාත්මක වූ ගැසට්ටුව

Previous articleශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්
Next articleගෝඨාභයගේ පාර්ලිමේන්තු සභාව ‘වැඩක් නැතුවම’ අවසන් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here