නොවැ. 02 – මුක්තිය ලද අපරාධකරුවන් සමග ගමනක් !

(MediaLK කර්තෘ මණ්ඩලය)

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් නොලබා සිටීම අවසන් කිරීමේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නොවැම්බර් දෙවැනිදා, එනම් අද දිනය නම් කරනු ලැබ තිබේ. මෙම ලිපිය ඒ සම්බන්ධයෙනි.

අපරාධ එකතුව

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් අප කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත දත්ත පද්ධතියක් හෝ නඩත්තු නොකරන පසුබිමක සිට ය. ඇතැම් මාධ්‍ය සංවිධාන විසින් එවැනි තොරතුරු සහිත ප්‍රකාශන එළිදක්වා ඇතත්, අතීතයේ සිටම සිදුවූ සියලුම සිදුවීම් ඒවායේ අන්තර්ගතවී නැත.
නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක මහතා 2016 නොවැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2006 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගණන 13කි. පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 87කි. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් ගණන 20ක් වන අතර, ජනමාධ්‍ය ආයතන පහක් ප්‍රහාරයට ලක්වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද  ‘මරණය සමඟ වසර නවයක්‘ ප්‍රකාශනයට අනුව 2004 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා ඝාතනය කළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ගණන 44කි.  ජනමාධ්‍ය ආයතන ප්‍රහාරයට ලක්වූ අවස්ථා ගණන නවයකි.

මාධ්‍ය සංදර්ශන

2015 වසරේදී බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට පැමිණ පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කරන බවට පොරොන්දු විය. මාධ්‍ය මර්දනයන් සිදුවූ අවස්ථාවලදී එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ තම රජයක් බලයට පත්වූ පසු මාධ්‍යවේදීන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරන බවයි. කෙසේ වෙතත් 2015 වසරේදී මෛත්‍රී-රනිල් ප්‍රමුඛ යහපාලන යැයි කියාගත් ආණ්ඩුවද මාධ්‍යවේදීන් වෙනුවෙන් කිසිවක් නොකළ අතර, මාධ්‍ය සංවිධානවල බලපෑම් හමුවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක් පමණක් ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකළ අපරාධ සම්බන්ධයෙන් කොතරම් මුක්තියක් අපරාධකරුවන්ට තිබේදැයි කියතොත් 2016 දී සාගල රත්නායක මහතා කළ කතාවට අනුව සිදුවීම් 126ක් ඇතිමුත්, විමර්ශන ආරම්භ කෙරුණේ සිදුවීම් හයක් සම්බන්ධයෙන් පමණි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීම, උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම, නාමල් පෙරේරා මහතාට පහර දීම සහ පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීම යන සිදුවීම්වලට පමණි.  මාධ්‍යවේදීන්ට එරෙහි වෙනත් අපරාධ සම්බන්ධයෙන් අඩු තරමේ විමර්ශනයක්වත් ආරම්භ කළේ නැත. ඉහත කී සිදුවීම් අතුරෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කීත් නොයාර් මහතාට පහරදීම, උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම, නාමල් පෙරේරා මහතාට පහරදීම සහ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පමණි. එම සියලුම සැකකරුවෝ හමුදාවේ සාමාජිකයෝ ය. මෙම මාධ්‍යවේදීන්ට පහරදීමට හමුදාවේ සාමාජිකයන්ට කිසිදු පෞද්ගලික අවශ්‍යතාවක් නොතිබෙන්නට ඇති අතර, ඔවුන් එසේ කළේ කාගේ හෝ නියෝගයකට අනුව බව පිළිගත හැකි සත්‍ය වුවද, එසේ නියෝග දුන් පුද්ගලයෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත. එම සිදුවීම් හතර සම්බන්ධයෙන් ද තවමත් අධිකරණ ක්‍රියාවලිය සිදුවන අතර, සැකකරුවන් කිසිවකුට දඬුවම් ලැබී නැත. සැකකරුවෝ ඇප පිට සිටිති.

අණදුන් පිරිස්

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙක් කිසිම සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත. පොලිසියේ කිහිප දෙනෙකු පමණක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් නොව, ඝාතනයේ සාක්කි විනාශ කිරීම හෝ සාක්කි වෙනස් කිරීම සම්බන්ධයෙන් පමණි. එවකට සිටි පොලිස්පතිවරයාද අත්අඩංගුවට ගත යුතු පිරිස අතර සිටියද, ඔහු අධිකරණ නියෝගයක් ලබාගනිමින් අත්අඩංගුවෙන් මිදුණේය.

පෝද්දල ජයන්ත මහතාට පහරදීම සම්බන්ධ විමර්ශනවලදී සාක්කි වසන් කළැයි එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුව සිටි කුප්‍රකට පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියද, එය සිදු නොවීය. එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ වනවිට පොලිස්පති සිහිනය අබියස සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.

උදයන්, ලංකා ඊනිව්ස් ඇතුළු මාධ්‍ය ආයතනවලට අවස්ථා ගණනාවකදී ප්‍රහාර එල්ල වුවද ඒවා සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් පැවැත්වූයේ නැත. විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් මාධ්‍ය වෘත්තියේ යෙදුණු ධර්මරත්නම් සිවරාම් (තාරකී), ඒ. නඩේසන්, කේ.ඒ. බාලනඩරාජා, රෙලංගි සෙල්වරාජා, සුබ්‍රමනියම් සුගිතරාජන්, බී.ජී. සගයදාස්, චන්ද්‍රබෝස් සුදාකර්, සෙල්වරාසා රජිවර්මන්, සහදේවන් නිලක්ෂන්, වඩිවේලු නිමලරාජ්, පී. දේවකුමාර් ඇතුළු මාධ්‍යවේදීන් රැසකගේ ඝාතන පිළිබඳ විමර්ශන තවමත් ආරම්භ කර නැත.  

යහපාලනය යැයි කියාගත් ආණ්ඩු කාලයේද මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ රැසක් සිදු විය. ඉන් ප්‍රධානම සිදුවීම වූයේ හිටපු නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියකුට ප්‍රසිද්ධියේ පහරදීමයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළා පමණක් නොව, පසුව ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස උසස් කොට සේවා දිගු කිහිපයක්ද ලබා දුන්නේය.

එහෙත් ලංකාව වගේමයි !

මෙසේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට මුක්තිය, එනම් ඊට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් නොලබා සිටීමේ හැකියාව ලෝකය පුරාම අඩු-වැඩි වශයෙන් පවතී. උදාහරණයක් ලෙස මාලදිවයිනේ අහ්මද් රිල්වාන්ගේ සිදුවීම පෙන්වා දිය හැකිය. මාලදිවයින් මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පොලිස් විමර්ශන නිසි පරිදි සිදු වන බවත්, ඊට කිසිදු බලපෑමක් එල්ල වී නැති බවත් එරට ජාතික ප්‍රතිපත්ති කොමිසම  2019 දී යළි-යළිත් අවධාරණය කළේය. එහෙත් වසර පහකට පෙර, එනම් පෙර ආණ්ඩුව යටතේ 2014 දී පැහැරගත් රිල්වාන් සම්බන්ධ විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කර සිටිති.

මාලදිවයිනේ වර්තමාන ආණ්ඩුවේ හෝ පරාජයට පත් යමීන්ගේ ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙකු හෝ රජයේ ඉහළ බලධාරියෙකු මේ විමර්ශනවලට බාධා කර ඇති බවට කිසිදු සාක්ෂියක් නැතැයි ද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි. 2014 වසරේදී රිල්වාන් පැහැරගත්තද, වසර පහක් යන තුරු ඊට අදාළ කිසිදු විමර්ශනයක් සිදු වූයේ නැත. ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිගේ නව මාලදිවයින් ආණ්ඩුව මගින් මීට අදාළ විමර්ශන යළි ආරම්භ කෙරිණි. හරියටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන යහපාලන ආණ්ඩුව ආරම්භ කළා වගේ ය.

මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වුයේ එම විමර්ශනවලදී ය. රිල්වාන්එවකට පැවැති ආණ්ඩුවේ වංචා-දූෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙක් විය. හරියටම ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව යහපාලන ආණ්ඩු කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගත්තාක් මෙන් ය. ඉස්ලාමීය සටන්කාමීන් විසින් රිල්වාන්ගේ ඝාතනය සිදු කළ බව මීට පෙර යමීන්ගේ ආණ්ඩුව පැවසීය. හරියටම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී ඝාතන සහ අතුරුදන්වීම් එල්ටීටීඊ ය පිට පටවා අතපිසදා ගත්තාක් මෙන් ය.

සිය නිවස ආසන්නයේදී පැහැර ගැනුණු රිල්වාන්ව මාලදිවයිනේ සංචාරක පාරාදීසයක් වන හුල්හුමාලේ දූපතට ගෙන ගොස් ඇති බවත්, ඉන්පසු බෝට්ටුවකින් මුහුද මැදට ගෙන ගොස් ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ. සංචාරකයන් බහුලව ගැවසෙන නිසා හුල්හුමලේ දූපත ආශ්‍රිත කලාපය යනු රජයේ ආරක්ෂක අංශ මගින් නිරන්තරව විමර්ශනයට ලක් කරන කලාපයකි. හරියටම ලසන්ත වික්‍රමතුංග අත්තිඩිය ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී ඝාතනය වීම වගේ ය. එවැනි තත්ත්වයක් තුළ රිල්වාන් ඝාතනයට ලක්වීමත්, හුල්හුමාලේ ප්‍රදේශයටම ඔහුව ගෙන යෑමත් යමීන්ගේ ආණ්ඩුව මීට සම්බන්ධ බවට සැකකළ හැකි පදනමකි.

අපරාධකරුවන් නිදහස්

2014 සැප්තැම්බර් මාසයේදී රිල්වාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත්, ඔවුන් දෙදෙනා සතියක් තුළ නිදහස් වී තිබේ. එවකට සංචාරක කටයුතු පිළිබඳ ඇමති ධුරය දැරූ අහමද් අඩිබ් මේ පුද්ගලයන් දෙදෙනා නිදහස් කර ගැනීමට සෘජුව මැදිහත් වී ඇතැයි ද විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේ. එම සිද්ධියෙන් වසරකට පසුව ඔහු මාලදිවයිනේ උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇත. ලංකාවට වඩා තත්ත්වයන් වෙනස් ද?

යමීන්ට එරෙහිව රාජ්‍ය මුල්‍ය අක්‍රමිකතා යටතේ සෝලිගේ ආණ්ඩුව පැමිණි විගස නඩු පැවරිණි. සෝලිගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මූලිකම කරුණක් වුයේ යමීන්ගේ දුෂණ සහ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. 2015 ජනාධිපතිවරණ සමය සහ ඉන්පසු මාස කිහිපයක කාලය ඔබට මතක් විය යුතුය.

සෝලිගේ ආණ්ඩුව මේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බව පැවසුවද, ලංකාවේ වගේම ඔවුන්ද යමීන්ගේ ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන්නට පටන්ගත්තේ බලයට පත්ව මාස කිහිපයක් ගතවීමෙන් පසුව ය. අදටත් රිල්වාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම හැර, අණ දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමක් සිදු වී නැත. ලංකාවේ වගේම ය.

යුක්තිය නැති අපරාධ

එපමණක්ද, තුර්කියේ ඉස්තාන්බූල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කෙරුණු වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගී සම්බන්ධයෙන් ද මීට වඩා වෙනස් ආකාරයට යුක්තිය පසිඳලීමක් සිදුවූයේ නැත. 2018 ඔක්තෝබර් 02 දා ඝාතනය කෙරුණු කෂෝගීගේ සිද්ධියට අදාළ නඩුව පසුගිය මාසයේදී වසා දැමිණි. ඒ සැකකරුවන් කිහිපදෙනෙකුට දඬුවම් පැමිණවීමෙන් පසුව ය.

කෂෝගීගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න’ යනුවෙනි. එහෙත්, ඒ අණදුන් කිසිවකුට දඬුවම් නියමකිරීමක් සිදු වූයේ නැත.

අපරාධවලට ජනතා සහාය

මේ පොළොව මත තමන්ට නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇතැයි විශ්වාස කරන සහ ඒ වෙනුවෙන් පෙළගැසී, එක්ව සටන් කරන බහුතර ජනතාවක් බිහිවිය යුතුය. එසේ නොවන්නේ නම් දෙයාකාරයක අපරාධ දිගින්-දිගටම සිදු වනු ඇත. එකක් නම්, වැරදි තොරතුරු ජනතාව වෙත මුදාහැරීමත්, එම වැරදි තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් බලය තහවුරු කරගන්නා පාර්ශ්ව තමන්ගේ අරමුණු ඉටු කරගැනීමත් ය. එහිදී ජනතාවට තීරණ ගැනීමට සිදුවන්නේද වැරදි තොරතුරු මත ය.

දෙවැන්න නම්, වැරදි තොරතුරු පිළිගන්නා ජනතාවක් අතර, නිවැරදි සත්‍ය තොරතුරු ගවේෂණය කරන මාධ්‍යවේදීන් මර්දනය කිරීමට, ඝාතනය කිරීමට සහ අතුරුදන් කිරීමට බලය ලබාගෙන සිටින පිරිස්වලට පහසුවීම ය. බලය ලබාගැනීමටත් වඩා, බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඕනෑම අපරාධයක් කරන ආණ්ඩු විසින් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන ලංකාව වැනි රටවල, බහුතර ජනතාව කෙළින් සිටනොගන්නා තුරු අපරාධකරුවන්ට මුක්තිය හිමිවනු ඇත.
 

Previous articleරජයේ පරස්පර ප්‍රකාශවලින් ජනතාව අමාරුවේ
Next articleපොසිටිව් පීසීආර් නෙගටිව් වන්නේ සෞඛ්‍ය සේවය නොසලකා හැර ඇති නිසා ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here