පොල් ගෙඩිය දෙකට බෙදන් කන මෑන්පවර් සේවකයින්ගේ අඳෝනාව

(නිලුක සදුන් පද්මසිරි)

කොරෝනා වෛරසය ඇඟළුම් කම්හල් ආශ්‍රිතව පැතිරීම නිසා දැඩි ලෙස අසරණභාවයට පත්ව සිටින බව මෑන්පවර් සේවක සේවිකාවෝ පවසති.

මෑන්පවර් සේවක සේවිකාවන් කිහිප දෙනකු ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින් දැක්වේ. (ඔවුන්ගේ නම් ගම් සඳහන් කර නැත)

අපිට සහනයක් ලබා දෙන්න – ඇවරිවත්ත ප්‍රදේශයේ මෑන්පවර් සේවිකාවක්

“අපි මේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොටු වෙච්ච අය ඇවරිවත්ත ටවුන් එක අවට තමයි ඉන්නේ අපට කොහාටවත් යන්න එන්න විදියක් නෑ. මාර්ගයක් නෑ. කියන්න කෙනෙකුත් නෑ බෝඩිම් කාමර 18ක් 20ක් තියෙනවා.
සියලුම දෙනා අවතැන් වෙච්ච අය ඉන්නේ. ඒ වගේම පොඩි ළමයි ඉන්න මෑන්පවර් යන සෙට් එකක්ම තමා ඉන්නේ. ඒ හින්දා මොන⁣වගෙන් හෝ අපට සහනයක් ලබා දෙනවනම් අපි එය ඉතාම අගය කොට සලකනවා.”


“පොඩි දරුවටත් කන්න දෙන්න විදියක් නෑ”

” අපි මෑන්පවර් යන්නේ. අපිට දැන් මෑන්පවර් වැඩත් නෑ මාසයක් විතර. මහත්තයටත් ස්ථීර රස්සාවක් නෑ. බස්වල වැඩ කරන්නේ. පොඩි දරුවෙක් ඉන්නවා අවුරුදු තුනක. එයාටත් කන්න දෙන්න බැරි තරමේ තත්ත්වයක දැන් වැටිලා ඉන්නේ අපි. අපිට පුළුවන්නම් ආධාරයක් කරන්න කියලා තමයි කියන්නේ.”


“කොහෙන්හරි මොකක් හරි ආධාරයක්⁣ දෙන්න”

“අපි මෑන් පවර් යන්නේ අපිට ස්ථීර රස්සාවක් නෑ. දැන් මෑන්පවරුත් නෑ. මගේ මහත්තයත් බෝඩිමට වෙලා ඉන්නේ. මගේ මහත්තයා කුලී වැඩට ගියේ අත්වැඩට. දැන් මහත්තයටත් වැඩ නෑ. මටත් වැඩ නෑ. අපි මෑන් පවර් එදා වේල හොයාගෙන කෑවේ. අද වෙනකම් දැන් මාසයක් එක හමාරක් විතර වැඩ නෑ අපට. දැන් ජීවත් වෙන්න මාර්ගයක්ම නෑ. ඒ හින්දා රජයෙන් කියලා මේ වෙනකම් අපට කිසිම ආධාරයක් දුන්නේ නෑ. එදා යූනියන් එකෙන් බඩු මල්ලක් විතරයි හම්බුණේ. අපිට මොකක් හරි කොහෙන් හරි කමක් නෑ අපිට ආධාරයක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. අපේ බෝඩිම් කාමර 18ක් තියෙනවා. 18ම කට්ටියට වැඩක් නෑ. මෑන් පවර් ළමයි ගොඩක්ම ඉන්නේ. ඒ හින්දා කොහෙන්හරි අපට ආධාරයක් ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”


“කන්න බොන්නවත් විදියක් නෑ” – අමන්දොළුවේ මෑන්පවර් සේවිකාවක්

“අපි අමන්දොළුවේ ඉන්නේ. අපි බෝඩිමේ හිරවෙලා ඉන්නේ. අපිට කන්න බොන්නවත් විදියක් නෑ. ෆැක්ටරියේ ළමයිත් වැඩ නෑ. පඩිත් දාලා නෑ. ඒක හින්දා අපිට පුළුවන් තරම් මොනව හරි උදව්වක් කරන්න කියලා අපි ඉල්ලනවා ඔයාලගෙන්. අපිට ඒක ක⁣⁣⁣ළොත් ලොකු උදව්වක්.”


“ළමයිත් හතර දෙනෙක් ඉන්නවා” – අමන්දොළුවේ මෑන්පවර් සේවකයෙක්

“අපි අමන්දොළුවේ ඉන්නේ. මෙතැන බෝඩිමේ පිරිමි කට්ටියයි ගැණු කට්ටියයි ඔක්කොම 20ක් විතර ඉන්නවා. ළමයිත් හතර දෙනෙක් ඉන්නවා. අපිට කන්න බොන්න විදියක්වත් නෑ. කඩවලුත් වහලා. වැඩට යන්න විදියකුත් නෑ. පුළුවන්නම් ආධාරයක් කරන්න අපිට. ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට”


“ෆැක්ටරිවලට වැඩ කරන අයට හම්බුණ ඒවාගෙන් බෙදා හදාගෙන කෑවේ”

“අපි නිරෝධායනය වන ⁣බෝඩිමකින් කතා කරන්නේ. කිසිම කෙනෙක් අපි දිහා බලන්නේ නෑ. කන්න බොන්න නෑ. වැඩපොළවල්වල ළමයිටනම් බඩු පාර්සල් හම්බුණා. ඒවාගෙන් තමයි බෙදාගෙන කෑවේ බිව්වේ. එත් අපිට මොනව හරි දෙයක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ මොකද මේ වෙනකොට සමහර ළමයිට කන්න නැති ළමයි ඉන්නවා මෑන්පවර් හින්දා දවස ගානේ වැඩට ගිහින් තමයි කීයක් හරි හොයාගත්තේ. ඒකත් දැන් කොරෝනා නිසා ඒකත් අපට හොයාගන්න බෑ. අට වැනිදා ඉඳලාම ඇඳිරිනීතිය දාපු නිසාත් 19 වැනිදා කොරෝනා එක්කෙනෙක් අරන් ගියා අපේ බෝඩිමෙන්. එදා ඉඳලා බෝඩිමේ ගේට් එක වහලා. සමහර විට බඩු ගේනවද කියලා අපි දන්නේ නෑ. ඒත් අපිට ඇතුළට දෙන්නේ නෑ. ගෙනාවත් අපිට ලැබෙන්නේත් නෑ. අපි ඉල්ලන්නේ දෙන දෙයක් දෙනවනම් අපේ අතට දෙන්න කියලා විතරයි.”


තවත් මෑන්පවර් සේවකයෙක්

“මම මෑන්පවර් කෙනෙක්.  19 වැනිදා කෙනෙක් පොසිටිව් වුණා කොරෝනා ලෙඩෙක්.එදා ඉඳලා අපි නිරෝධායනය කරලා තියෙන්නේ ඇතුළේ. අපිට කෑමට පොඩ්ඩක් අමාරුයි. ෆැක්ටරිවල ළමයිට දෙන ඒවා බෙදාගෙන කන්නේ. පුළුවන් උදව්වක් තියෙනවනම් කරන්න කියල අපි ඉල්ලා සිටිනව.අපේ ළමයි ඉන්නවා අසරණ වෙලා ඉන්නේ. පුළුවන් උදව්වක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.”


“පොල් ගෙඩියත් දෙකට බෙදන් කෑවේ”

“මන් මෑන්පවර් වැඩ කරන්නේ. මන්නම් පළමු වැනිදා ඉඳලා මේ බෝඩිමේ ඉන්නේ. මෑන්පවර් හින්දා කිසිම වැඩපළකට ගත්තේ නෑ⁣ කොරෝනා හම්බෙච්ච හින්දා. අපිට ගෙදරවත් යන්න වුණේ නෑ ඇඳිරිනීතිය දාපු හින්දා. ඊට පස්සේ ඒ ඉන්න අතරේ තමයි 19 වැනිදා අපේ බෝඩිමෙන් කොරෝනා ළමයෙක් හම්බුණේ. ඒ ළමයි ගෙනිච්ච දා ඉඳලා ඉතින් ගේට්ටුව වහලා අපි නිරෝධායනය කරලා අපිට එලියටවත් යන්න විදියක් නෑ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ කෑම බීම අතින් කිසිම දෙයක් නෑ.මේ දවස් ටිකේනම් ෆැක්ටරිවලින් හම්බෙච්ච එ්වා බෙදාගෙන තමයි අපි කෑවේ බිව්වේ. පොල් ⁣ගෙඩිය වුණත් අපි දෙකට බෙදාගෙන කෑවේ. එලියටවත් යන්න විදියක් නෑ බඩු ටිකක් ගෙනියන්න. බඩු ගන්නත් දැන් අතේ සල්ලි නෑ. මොකද අපිට රස්සාවක නෑනේ. අපි මෑන්පවර් නේ මෙච්චර කල් කළේ. ගොඩක් අසරණයි. කියන්න තේරෙන්නේ නෑ මොනවද කියන්නේ කියලා. අපෙ අසරණබාවය තමයි කියන්න තියෙන්නේ.”


“ෆැක්ටරිවලට වැඩ කළ අයටත් දැන් කන්න නෑ”

“අපි මෙතැන නිරෝධායනය කරලා ඉන්න බෝඩිමෙන් කතා කරන්නේ. අපි ගොඩක අසරණ වෙලා ඉන්නේ. අපිට කන්න බොන්නවත් විදියක් නෑ. අටවැනිදා ඉඳන් බෝඩිම වහලා තියෙන්නේ. මේකේ 19 වැනිදා කොරෝනා රෝගියෙක් හම්බුණා. බෝඩිමත් නිරෝධායනය කරලා තියෙන්නේ. ඉතින් අපිට කන්න බොන්නවත් විදියක් නෑ. ෆැක්ටරිවල ළමයි ඉන්නවා. ෆැක්ටරිවල ළමයිට හම්බුණා ෆැක්ටරිවලින්. ඒවා තමයි මෙච්චර දවස් බෙදා හදාගෙන කෑවේ. ඉතින් එ් ළමයිටත් නෑ දැන් කිසිම දෙයක් කන්න බොන්න. මේක ඉතින් කියාගන්නත් තේරෙන්නේ නෑ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. පුළුවන් විදියට සහනයක් ලබා දෙන්න කියලා කියන්නම්. ඇත්තටම ඇඬෙනවා කතා කරගන්නත් බෑ.”


පහත දැක්වෙන්නේ මෑන්පවර් සේවකයින් දෙදෙනකු අදහස් දැක්වෙන වීඩියෝ දෙකකි. 

“වේලක් කාලා වේලක් නොකා ඉන්නේ”

“අපි කෑම බීමක් නැතිව 10-08 වැනිදා ඉඳලා බෝඩිමට වෙලා ඉන්නේ. වැඩක් පළක් නෑ. වැඩක් කරගන්න යන්න විදියක් නෑ. අපිට කන්න බොන්න කිසිම දෙයක් නෑ බෝඩිමට කොටුවෙලා ඉන්නේ. අපිට සල්ලි නෑ අතේ. මේ වෙනකම් රජයෙන් කියලා කිසිම දෙයක් හම්බුණේ නෑ. අපි වේලක් කාලා වේලක් නොකා ඉන්නෙ.කරන්න දෙයක් නැතිව අපි හිර වෙලා අන්ත අසරණ වෙලා ඉන්නේ. කිසිම සරණක් කාගෙන්වත් හම්බුණේ නෑ මේ වෙනකම්. අපි ඉල්ලා සිටින්නේ පුළුවන් විදියට අපිට මොනා හරි බඩු මල්ලක් අපිට කාලා බීලා ඉන්න පුළුවන් විදියට හරියන්න මෙි දවස් ටික ගෙවාගන්න මොනව හරි සහනයක් කරලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ පුළුවන් තරම් ඉක්මනින් මොනව හරිදෙයක් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.”


“හැමෝම අසරණ වෙලා ඉන්නේ”

“මම රැකියාව කළේ කටුනායක. මෑන්පවර් යන්නේ. කොරෝනා ප්‍රශ්නය නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අපේ ⁣බෝඩිම සීල් කරලා තියෙන්නේ. අපේ බෝඩිමේ කොරෝනා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවයි කියලා වාර්තා වූ නිසා. බෝඩිම සීල් කරපු දවසේ ඉඳන් රජයෙන්වත් අපිට කිසිම ආධාරයක් මේ වෙනකම් ලබාදීලා නෑ. ළඟදී ග්‍රාම සේවක ඇවිත් නම් ලිස්ට් එක අරන් ගියා පුළුවන් ආධාරයක් ලබාදෙනවා කියලා. අපි නම් ලිස්ට් එක දුන්නායින් පස්සේත් අපිට මේ වෙනකම් කිසිම තොරතුරක් දුන්නේ නෑ රජයෙන් මෙහෙම දෙයක් කරනවා කියලවත් බඩු මල්ලක් දෙනවා කියලවත් අපිට තාම දුන්නේ නෑ. මං වගේම ගොඩක් ළමයි ආයතනවල වැඩ කරන මෑන් පවර් යන අය ගොඩක් ළමයි අසරණ වෙලා ඉන්නවා. පවුල් ඉන්නවා. එයාලගේ ළමයි ඉන්නවා. හැමෝම අසරණ වෙලා ඉන්නේ. අපි කියන්නේ අපිට පුළුවන් සහනයක් ලබා දෙන්න කියලා”


මෑන්පවර් සේවකයින්ගේ මෙම ගැටළු සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඉල්ලමින්  සංගම් 13ක් ආයෝජන මණ්ඩලයට පසුගියදා ලිපියක්  යොමු කළේය. (ඊට අදාළ පුවත මෙතැනින්)

සේවා ⁣යෝජකයින් වගකීම ගත යුතුයි – පැමිණිල්ලක් ලැබුණොත් අනිවාර්යයෙන් කටයුතු කරනවා – කම්කරු කොමසාරිස් 

මෑන්පවර් සේවකයින් ගැන ඔවුන්ගේ යෝජකයින් අනිවාර්යයෙන් වගකීම ගත යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසීය.

එමෙන්ම මෑන්පවර් සේවකයින් ගැන තම දෙපාර්තමේන්තුවට කටයුතු කළ හැකි බවත් ඒ සඳහා පැමිණිල්ලක් කළහොත් අනිවාර්යයෙන් ඒ ගැන සොයා බලන බව ඒ මහතා කීවේය.

නමුත් මේ වන තෙක් එවන් පැමිණිල්ලක් ලැබී නැතැයි ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙසේද පැවසීය.

ප්‍රශ්නය : මෑන්පවර් සේවකයින් ගැන කටයුතු කරන්න කම්කරු දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවාද?

මෑන්පවර් සේවකයින් ගැන අපිට කටයුතු කරන්න පුළුවන්.

ප්‍රශ්නය : කටුනායක සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෑන්පවර් සේවකයින් ගැන තත්ත්වය වාර්තා වෙලා තියෙනවාද?

අපිට එහෙම එකක් වාර්තා වෙලා නෑ තවම. ඒකට පැමිණිල්ලක් ලැබෙන්න ඕනේ.අපිට එහෙම වාර්තා වෙලා නෑ තවමත්. මේ වෙනකම් පැමිණිල්ලක් ලැබිලා නෑ.

ප්‍රශ්නය : පැමිණිල්ලක් ලැබුණොත් කටයුතු කරනවාද?

පැමිණිල්ලක් කළොත් අනිවාර්යයෙන් ඒ ගැන කටයුතු කරනවා.

ප්‍රශ්නය : මේකේ වගකීම කාටද?

ඒ වගේම මෑන්පවර් හිටියට එයාල සේවයට යොදවන කට්ටියක් ඉන්නවානේ. ඒ සේවායෝජකයින් අනිවාර්යයෙන් වගකීම ගත යුතුයි. පැමිණිල්ලක් ලැබුණොත් අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා.

Previous articleමෑන්පවර් සේවකයින් ගැන සොයා බලන්නැයි ආයෝජන මණ්ඩලයට ඉල්ලීමක්
Next articleවගකීම් දියවෙන්න හේතුව පෞර්ෂයක් නැති මාධ්‍යවේදීන් – ලේඛක මිලින්ද රාජපක්ෂ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here