වගකීම් දියවෙන්න හේතුව පෞර්ෂයක් නැති මාධ්‍යවේදීන් – ලේඛක මිලින්ද රාජපක්ෂ

දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම මොකක්ද?

මුලින්ම සාධාරණ විදිහට ජනමාධ්‍යවේදියා කියන්නෙ කවුද කියන එක අපි තේරුම්ගන්න ඕනෙ. ඉතා පැහැදිලිවම අද ජනමාධ්‍ය ආයතනවලින් සියයට අනූනවයක්ම අයිති පෞද්ගලික ව්‍යවසායකයන්ට. ඒ ආයතනවල මූලික පරමාර්ථයක් තමයි ලාබ ලැබීම. ඒ ආයතනවල සිටින සියලු සේවකයන් නිතැතින්ම මේ ප්‍රාග්ධනය මූලික කරගත් සටනට අවතීර්ණ වෙලා ඉන්නවා. එතකොට මේ ආයතනවල පදනම වෙළඳ ප්‍රචාරණය. ඒත් එක්ක නොබැඳී කිසිම වැඩසටහනක්, ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙන්නෙ නෑනෙ. එතකොට වෘත්තීය ජනමාධ්‍යවේදියා කියන්නෙ මේ ලාබ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ආයතනවල වැටුප් ලබන කෙනෙක්. ඔහු තමන්ගෙ ජනමාධ්‍ය වෘත්තිය කරනවා වගේම ඔහු තමන්ගෙ ව්‍යවසායකයාට සේවය කරන්නෙක්. අනෙක් වෘත්තීන් ගත්තත් එහෙමයි. වෛද්‍යවරයා සහ රෝගියා අතර තියෙන්නෙත් එහෙම වෘත්තීමය බැඳීමක්. ජනමාධ්‍යවේදියට එහෙම නොවී ඉන්න බෑ. ඒක නිසා සාධාරණව අපි මේක ගැන බලන්න ඕනෙ.
එතකොට වෘත්තීය ජනමාධ්‍යවේදියාට උභතෝකෝටිකයක් තියෙනවා, තමන් ඉගෙනගත්තු ආචාරධර්ම, තමන් ඉගෙනගත්තු සදාචාරය, තමන් ඉගෙන ගත්තු වෘත්තීය වගකීම සහ රේටින්ග්ස්, ඇඩ්වටිස්මන්ට්ස්, අවෝර්ඩ්ස්, බොස්, බොස්ගේ දේශපාලනය, චැනල් එකේ දේශපාලනය කියන මේ දෙකම එක්ක ගනුදෙනු කරන්න. අද වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම මොකක්ද කියලා ඇහුවොත්, මට තියෙන උත්තරේ තමයි නිර්මාණශීලී විදිහට මේ දෙපැත්තේම ගනුදෙනුව පවත්වාගන්න එක. ආචාරධර්ම ටික, මිනිස්සු බලන, කියවන විදිහට ඉස්සරහට අරගෙන යන එක. ඒ නවෝත්පාදනය තමයි අද දවසේ වෘත්තීය ජනමාධ්‍යවේදියාට තියෙන අභියෝගය.

තීරණාත්මක වශයෙන් සමාජමාධ්‍ය ජනතාවගේ තීරණවලට බලපෑම් කරන මේ වගේ කාලයක, ප්‍රධාන මාධ්‍ය කොහොමද මේ අභියෝගය දිනන්නෙ…?

මගෙ අදහස නම් මේ දෙක අතර එකිනෙකා අභිබවා ජයග්‍රහණ ගන්න ගැටුමක් නෑ. මේ දෙකේ තියෙන්නෙ මාධ්‍යයේ පරිවර්තනයක්. ඉස්සර මාධ්‍ය කියලා තිබුණෙ පත්තර. ඊට පස්සෙ ගුවන්විදුලිය. ඊටපස්සෙ රූපවාහිනිය. ටීවී එක ඇවිත් රේඩියෝ එක ඉවර කළා කිව්වා. එහෙම ඇවිත් දැන් අලුත් මාධ්‍ය අවකාශයකට ඇවිත් තියෙනවා. අද මිනිස්සු පත්තරේ බලන්නෙ කොහොමද. ටීවී එකේ පත්තර කියවන එකෙන් නැත්නම් කම්පිටුයර් එකෙන්. අච්චු ගහනවා, විකාශය කරනවා වෙනුවට අද වෙන ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒකම මේ ප්ලැට්ෆෝම් එකේදිත් බලන්න, අහන්න, කියවන්න පුළුවන්. අලුත් යුගයේ සර්වයිව් වෙන්න නම්, ඇඩප්ටේෂන් එක කරන්න වෙනවා. ඒකට යන්න වෙනවා. පත්තර වැහෙන්නෙ නෑ. පත්තර අච්චු ගහන එකයි නතර වෙන්නෙ. මේ දෙක අතර අර්බුදයක් නෑ. වෙනස් වෙමින් තියෙනවා. අද රේඩියෝ ප්‍රෝග්‍රෑම් ෆේස්බුක් එකේ ලයිව් දෙනවා. එතැන තියෙන්නෙ මේක.

සමාජ මාධ්‍ය ඔස්සේ සෑම කෙනෙක්ම තොරතුරු බෙදාහරින්නෙක් වෙනවා. මේ අතර මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙ න්‍යායපත්‍රවලට මැදිවුණු වෘත්තීය ජනමාධ්‍යවේදියා කොහොමද අභියෝගාත්මක විදිහට තොරතුරු ලබාදෙන්නෙක් වෙන්නෙ…?

මගෙ අදහස නම් සමාජ මාධ්‍යවල එකිනෙකා තොරතුරු බෙදාහැරීමෙන් වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය අභියෝගයට පත්වෙලා නෑ. එකිනෙකා එතැන මත ප්‍රකාශ කිරීමෙන් හෝ තමන්ගේ පෞද්ගලික ගිණුම්වලින් ප්‍රවෘත්ති බෙදාහැරියට ඒක අභියෝගයක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් චතුර ද අල්විස්ගේ රෝල් එකට මට නිව්ස් බ්‍රේක් කරන්න බෑ. ඒක චතුරට අභියෝගයක් වෙන්නෙ නෑ. මාධ්‍ය ආයතනවල වැඩ කරන කියන එකෙන් තමයි ජනමාධ්‍යවේදියා මනින්නෙ. අනෙක් අය මේවා නිකම් බෙදාහරින්නො. චමුදිත හෝ චතුර අල්විස් ෆේස්බුක් එකේ හෝ යූටියුබ් එකේ වැඩ කළාට, ඔවුන්ගෙ තැන තියෙන්නෙ මාධ්‍ය ආයතනයත් එක්ක. අර රෝල් එකේම දිගුවක් තියෙනවා මිසක්, මාධ්‍යවේදියො කවුරුත් සමාජ මාධ්‍යවල වෙන වැඩක් කරන්නෙ නෑ. ඒත් ප්‍රවෘත්ති කියන එක අභියෝගයට ලක්වෙලා තියෙනවා. එන වේගය, තහවුරු කරන්න ගතවන කාලය, බෙදාහැරීමේ වේගය, ෆේක් නිව්ස් වගේ හේතු නිසා ප්‍රවෘත්ති අභියෝගයට ලක්වෙලා තියෙනවා. මොකක්ද හරි ප්‍රවෘත්තිය කියන එක ගැටළුවක්. ඒක වෙනම මාතෘකාවක්.

ඉහත කියපු අභියෝග සහ මාධ්‍ය හිමිකරුවන්ගේ භූමිකා එක්ක ආචාරධාර්මිකව, වඩාත් සාධනීය ලෙස ජනමාධ්‍ය කර්මාන්තය ඉදිරියට ගෙනියන්න ඔබට තියෙන යෝජනා මොනවද?

මම කියන්නෙ ජනමාධ්‍ය ආයතන බලන්න ඕනෙ අනෙක් තැන් දිහා. උදාහරණයක් විදිහට ගන්න, ලංකාවෙ ලොකුම ඇඳුම් මහන ෆැක්ට්‍රි එක එම්ඒඑස්. එතැන කී දෙනෙක් වැඩ කරනවද. වසර ගාණක් තිස්සෙ ලෝකයේම පරිසර දූෂණය පැත්තෙන් ඉස්සරහින්ම හිටියෙ මේ ඇඳුම් මහන ෆැක්ට්‍රි. අද බලන්න ඔවුන් අරන් තියෙන වෙනස් ඉදිරි ගමන, අද ලංකාවෙ ඉස්සරහින්ම ඉන්න තිරසර සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන ආයතනය බවට පත්වෙලා තියෙනවා. සෝලා පැනල් ගහලා ඉලෙක්ට්‍රිසිටි භාවිතය අඩු කරනවා. පරිසර හිතකාමී නව නිෂ්පාදන කරනවා. වනජීවී එක, වෙරළ සංරක්ෂණය එක්ක වැඩ කරනවා. ඒක තමයි, තමන්ගෙ ක්ෂේත්‍රයේ තියෙන අර්බුදය ඔවුන් විසඳගන්න විදිහ. අලුත් විදිහට හිතනවා. හැමදාම ඇඳුම් මහලා විතරක් හරියන්නෙ නෑ.
ජනමාධ්‍යයත් ඕකම හිතන්න ඕනෙ. දැන් ඔවුන් තමන්ගෙ මාධ්‍ය නව මාධ්‍ය අවකාශවලට ගෙනියලා තියෙන්නෙ. ඒ වගේම ඔවුන් දැන් හිතන්න ඕනෙ, මේ ප්‍රාග්ධනය නිසා, වෙනත් බලපෑම් නිසා තමන්ට සමාජය කෙරෙහි තියෙන වගකීම, ආචාරධර්ම අභියෝගයට ලක්වෙලා තියෙනවා. ඒක විසඳගැනීම සඳහා ඔවුන් වෙනත් පාරක් හොයන්න ඕනෙ. උදාහරණයක් විදිහට අපි ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් ගත්තොත්, ඒවගෙ හිමිකාරිත්වයට වඩා බලයක් එඩිටෝරියල් බෝඩ් එකට තියෙනවා. ඒකට හේතුව ඒ මාධ්‍යවේදීන්ගේ පෞර්ෂය. අපේ රටේ මාධ්‍ය දියවී යෑමට එක ප්‍රධාන හේතුවක් තමයි, මාධ්‍යවේදීන් තමන්ගෙ පෞර්ෂය පවත්වාගෙන නොයෑම. තමන්ගෙ ක්‍රියාකාරිත්වය තුළ ඔවුන් ඒක නැතිකරගෙන තියෙනවා. දැන් බලන්නකො, ඇඟළුම් සේවිකාවන්ගෙ ප්‍රශ්න ගැන ලියන මාධ්‍යවේදීන්ගෙ වැටුප කීයද කියලා. ඔවුන්ට ලෙඩ නිවාඩුවත් තියෙනවද කියලා. ඒක ගැන කතාකරගන්නවත්, ඒකට විරුද්ධව කතා කරන්නවත් ඒ මාධ්‍යවේදීන්ට පණ තියෙනවද. අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවද. එහෙම කතා කරන්න හැකියාවක්, බලයක් ඔවුන් නිර්මාණය කරගෙන නෑ. ඔය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගේ මාධ්‍ය සංවිධාන කියලා තිබුණු ඔක්කොම කෝ. ඒවා එන්ජීඕ ප්‍රොජෙක්ට් වෙලා දියවෙලා ගියානෙ.

ආචාරධර්ම ගැන විශ්වවිද්‍යාලවල ඉගැන්නුවා කියලා, වෘත්තීයවේදියො ටිකක් හදාගන්න හම්බෙන්නෙ නෑ. දැන් ඉන්නෙ කවුද රිපෝටර්ස්ලා විතරයි. දේශපාලනඥයන්ගෙ වාහන පස්සෙන් කැමරා අරන් දුවන අය මාධ්‍යවේදියොද. වෘත්තීයවේදියො හදාගන්නෙ නැතුව වෘත්තීය සදාචාරය, ආචාරධර්ම ගොඩනගන්න පුළුවන්ද. ඕනෙම ඉන්ඩස්ට්‍රියක වෘත්තීයභාවය හැදුවම තමයි, අනෙක් අයිතිවාසිකම් වගේම ගුණාංග ආරක්ෂා වෙන්නෙ. හිතන්න, කැමරාවක් අරන් කොවිඩ් ආසාදිතයෙක් පස්සෙන් දුවන කෙනෙක් එවන එක ප්‍රචාරය කෙනාගෙ නෙමෙයි ද ප්‍රශ්නෙ තියෙන්නෙ. එතැන තමයි අවුල. ඒක ගැළපෙනවද – නැද්ද කියලා තීරණයක් ගන්න බැරි සෙට් එකක් තමයි ඔය නිව්ස් රූම්වල ඉන්නෙ. ඉතින් මොන මාධ්‍ය ආචාරධර්ම ද. මාධ්‍ය සදාචාරය ද.

Previous articleපොල් ගෙඩිය දෙකට බෙදන් කන මෑන්පවර් සේවකයින්ගේ අඳෝනාව
Next article20ට කථානායක අත්සන තියයි : ඡන්දය දුන් දුරකථනයේ මන්ත්‍රීවරුන්ට වෙනම අසුන් ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here