මෑන්පවර් සේවකයින් ගැන සොයා බලන්නැයි ආයෝජන මණ්ඩලයට ඉල්ලීමක්

(නිලූක සඳුන් පද්මසිරි)

කොරෝනා වෛරසය ඇඟළුම් කම්හල් ආශ්‍රිතව පැතිරීමත් සමග අසරණ වී සිටින මෑන්පවර් සේවකයින් ගැන සොයා බලා වහා කටයුතු කරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති 13ක් ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමු කර තිබේ.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ ඒ අවට සේවය කරන මෑන්පවර් කම්කරුවන් ඇතුළුව සියලුම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කරන්නැයි ද COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන සියලුම රජයේ නිරෝධායන පහසුකම් සහ රෝහල් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලවන බවට සහතික කරන්නැයි ද ඔවුහු ඉල්ලා සිටිති.

මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව COVID19 නිසා රැකියා අහිමිවූ හෝ දැනට වැඩ කිරීමට නොහැකි වූ නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් සඳහා රුපියල් 10,000 සෞඛ්‍ය දීමනාවක් ලබා දෙන්නැයි ද එම සංගම් ඉල්ලයි.

බෝඩිම්වල හෝ කර්මාන්තශාලාවල සිටින කිසිවෙකු ආසාදිත බව හෝ රෝග ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන අවස්ථාවලදී සහ රජයේ ප්‍රතිචාර සහ හදිසි සම්බන්ධතා පිළිබඳ විස්තර ගන්නා අවස්ථාවලදි අවදානම් සන්නිවේදනය සඳහා නිරන්තර ක්‍රියා පිළිවෙලක් පවත්වා ගන්නැයි ද එම සියලුම සන්නිවේදනයන් සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම ලබා දී ඇති බවට සහතික වන්නැයි ද එම සංගම් 13 යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන කම්කරුවන්ට, අනිවාර්ය ස්වයං නිරෝධායනයක දී හෝ ලොක්ඩවුන් කිරීමකදී වැඩට යාමට නොහැකි වූ අයට වන්දි ලබා දෙන ලෙසත් එම සංගම් ඉල්ලා තිබේ. ඒකාබද්ධ කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරන ලද ලොක්ඩවුන් කිරීමේදී වන්දි ගෙවීම පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ප්‍රසිද්ධ කිරීම සහ බලාත්මක කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

කම්කරුවන්ට ආධාර සැපයීම සඳහා රජය කොවිඩ්-19 අරමුදලින් යම් ප්‍රමාණයක් උපයෝගී කර ගන්නා බවටත් මේ දක්වා අරමුදල් භාවිතා කර ඇති ආකාරය පිළිබඳ විස්තරය ප්‍රසිද්ධ කරන බවටත් තමන් විශ්වාස කරන බව ඔවුහු අවධාරණය කරති.

එමෙන්ම මෑන්පවර් සේවකයින් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළුව නිදහස් වෙළඳ කලාපයේ හා ඒ අවට කම්කරුවන් පිළිබඳ හදිසි සමීක්ෂණයක් හෝ අවශ්‍යතා තක්සේරු කිරීමක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටින බව එම සංගම් පවසයි. කර්මාන්තශාලා විවෘත කර ඇති විට හා වැඩ කිරීමට වාර්තා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින විට රජයේ සෞඛ්‍ය බලධාරීන් හරහා ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි ද එම සංගම් ඉල්ලයි.

මේ වන විට දහස් ගණනක් කම්කරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ මෙම විශාල පොකුර දැන් කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙළඳ කලාප (FTZ) වෙත වේගයෙන් ව්‍යාප්ත වී තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට නිරෝධායනය කරනු ලබන කම්කරුවන් 1000 කට වැඩි පිරිසකට අමතරව බොහෝ කම්කරුවන්ට තම නේවාසිකාගාර සහ බෝඩිං ස්ථාන තුළ ස්වයං නිරෝධායනය වන ලෙස පවසා ඇතැයි ද කම්කරුවන් නවාතැන්වලින් ඉවතට පැමිණියහොත්  ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට නේවාසිකාගාර හිමියන්ට පොලීසිය විසින් අනතුරු අඟවා ඇතැයි ද ඔවුහු සඳහන් කරති.

කෙසේ වෙතත් මෙම කම්කරුවන්ට නිසි පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති නිසා ඔවුන්ට ආහාර සහ ඖෂධ ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ ගබඩා කර ගැනීමට නොහැකි වී ඇති බවත් එබැවින් ඔවුන් දිවි ගලවා ගැනීමේ අරගලයක නියැලී සිටින බවත් එම වෘත්තීය සමිති සඳහන් කර තිබේ.වඩාත්ම බලපෑමට ලක්වූ සමහර ප්‍රදේශ ලෙස කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඇවරිවත්ත, ජයවර්ධනපුර හා අමන්දොලුව ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වලාන සහ කෝවින්න ප්‍රදේශ හැඳින්විය හැකි බව ද එහි සඳහන් වෙයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා කිහිපයකින් COVID-19 ආසාදිත සේවකයින් සොයා ගැනීමෙන් පසුව, එම කර්මාන්තශාලා වල සේවකයින්ට රැකියාවට යෑම තහනම් කර ඇති බවද ඔවුන්ගේ නේවාසිකාගාරවලින් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන්ට ගමන් තහනමක් ද පනවා ඇතැයි ද මෙම සේවකයින් වෙනුවෙන් වගකීම භාර ගැනීමට සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව කටයුතු කිරීමට කිසිදු ආයතනයක් ඉදිරිපත් වී නැතැයි ද ඔවුහු පෙන්වා දෙති. රැකියාවට වාර්තා කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව ඔවුන්ගේ සේවායෝජකයින් විසින් ඔවුන්ගේ වරදක් ලෙස සලකන බවද එහි සඳහන් වෙයි.

වෛරසය වේගයෙන් ව්‍යාප්ත වී ඇති ඇතැම් කර්මාන්තශාලා මගින් තම සේවකයින් සඳහා යම් සහන සලාක පමණක් ලබා දී ඇති අතර අනෙක් සේවකයින් තමන්ටම තමන්ව බලා ගැනීම හෝ කුසගින්නේ සිටීම පමණක් ඉතිරි කොට අත්හැර දමා තිබෙන බවත් එහි දැක්වෙයි.

කටුනායක ප්‍රදේශය හා ඒ අවට සිටින මෑන්පවර් හා අනෙකුත් දෛනික වැටුප් කම්කරුවන් 300-400 ක් පමණ ඔවුන්ගේ වාසස්ථානවල අනිවාර්ය ස්වයං නිරෝධායනයකට භාජනය වෙමින් සිටින බවද ඔවුහු පවසති. මීට පෙර නේවාසිකාගාරයක හෝ හවුල් නවාතැන්පලක යමෙකු අසාදිත බවට පරීක්ෂණයෙන් හෙළි වූ පසු ඒ අවට ඇති සියලුම නේවාසිකාගාරවල සේවකයින් වටකර බස් රථවලට නංවා රට පුරා හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබූ බවත් ඒවායින් බොහොමයක් අපිරිසිදු තත්ත්වයේ තිබූ බවත් මූලික COVID-19 ආරක්ෂණ ප්‍රමිතීන්ට ද අනුකූල නොවන බවත් ඔවුහු පෙන්වා දෙති. මෙම මධ්‍යස්ථානවල ආසාදිත බව හඳුනාගත් කම්කරුවන් මාලඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලට යවා ඇතැයි ද එම රෝහලේ නිසි ආරක්ෂක විධිවිධාන නොමැති බව එහි සේවකයින් පවසා ඇතැයි ද එහි සඳහන් වෙයි.

“දැන් ආසාදිත බව තහවුරු වූ අය පමණක් ප්‍රතිකාර සඳහා ගෙන යනු ලබන අතර අවට සිටින අයගෙන් ස්වයං නිරෝධායනයවන ලෙස ඉල්ලා සිටී. රජයේ නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායනය යටතේ සිටින බවට ඔවුන්ගේ ගේට්ටුවල ස්ටිකරයක් අලවනු ලැබේ.” යැයි එහි සඳහන් වෙයි. කම්කරුවන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලබා නොදී බිත්ති හතරක් තුළ සහ ගේට්ටුවක් පිටුපස කොටු කර ඇතැයිද ඔවුන්ගේ නඩත්තුව සඳහා වගකිව යුතු නිල ආයතනයක් නොමැති නිසා මෑන්පවර් නියෝජිත ආයතන සේවකයින් මෙම තත්ත්වයන් යටතේ විශේෂයෙන් අවදානමට ලක්ව ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

එම ලිපිය අත්සන් කර ඇති සංගම්

1.ලංකා බැංකු සේවක සංගමය(CBE)
2.ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU)
3.ලංකා කාර්මික සේවක සංගමය (CIWU)
4.ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU)
5.ලංකා ගුරු සංගමය (CTU)
6.දාබිඳු සාමූහිකය ශ්‍රී ලංකාව, කටුනායක
7.විමුක්ති ව්‍යාපාරය
8.ශ්‍රී ලංකාවේ නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS)
9.ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය
10.මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), කටුනායක
11.ශ්‍රමාභිමානී කේන්ද්‍රය, සීදූව
12.ලංකා නැගීසිටිමු ව්‍යාපාරය, කටුනායක
13.එක්සත් කම්කරු සංගමය (UFL)

 

Previous articleචීනයේ ව්‍යාපාර සහායක පොම්පෙයෝ, ලංකාවේදී චීනය ගැන කියයි
Next articleපොල් ගෙඩිය දෙකට බෙදන් කන මෑන්පවර් සේවකයින්ගේ අඳෝනාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here