චීනයේ ව්‍යාපාර සහායක පොම්පෙයෝ, ලංකාවේදී චීනය ගැන කියයි

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වෛරී රාජ්‍යයක් ලෙස පැවතීම ඇමරිකාවේ අපේක්ෂාව බවත්, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ විනිවිදභාවය හරහා ලංකාවට එම තත්ත්වයට ළඟා විය හැකි බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම චීනය යනු නීතිගරුක නොවන රටක් ලෙස ද ඔහු එහිදී හැඳින්වීය.
විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සමග පැවැත්වූ මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේ ආයෝජනය කිරීමට ඇමරිකානු ව්‍යාපාරිකයන් සූදානම් බව ද දැනුම් දුන්නේය. ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලංකාව හැඳින්වූ රාජ්‍ය ලේකම්වරයා, එම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමට ලංකාවට හැකියාව ඇති බව ද මෙහිදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ඇමරිකාව සහ ලංකාව අතර පැවැති සම්බන්ධතා ඉදිරියේදී තවත් පුළුල් වනු ඇති බවත්, තොරතුරු තාක්ෂණය, අන්තර්ජාල ආරක්ෂාව, කෘෂිකර්මය, දේශගුණ විපර්යාස ඇතුළු විෂයයන් රැසක් යටතේ එය සිදුවනු ඇති බවත් ය.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඇමරිකාව ශ්‍රී ලංකා ජනතාවගේ අවශ්‍යතා තේරුම්ගෙන, වෙනත් රටවල රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට මැදිහත්වීමේ දුෂ්ඨ හැසිරීම වෙනස් කරගනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මෙම නිවේදනය ට්විටර් සමාජජාලය ඔස්සේ නිකුත් කර තිබිණි. ශ්‍රී ලංකා – චීන සම්බන්ධතා සම්බන්ධයෙන් ඇමරිකාව මීට‌ පෙර සිදු කළ තර්ජනය සීතල යුද මානසිකත්වය සමග බැඳී තිබෙන්නක් බවට ද චීන තානාපති කාර්යාලය එම නිවේදනයේ සඳහන් කර ඇත. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙමින්, එම රටවලට හිරිහැර කිරීම ඇමරිකාවේ පුරුද්දක් බවට ද මෙමගින් චීනය චෝදනා කර සිටී.
මයික් පොම්පෙයෝගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර පසුගිය 22 වැනිදා ඇමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ චීනය සම්බන්ධයෙන් වන ගනුදෙනුවලදී ශ්‍රී ලංකාවට දුෂ්කර නමුත් අනිවාර්ය තීරණයක් ගැනීමට සිදුවන බවයි. මේ ප්‍රකාශයට පසුදින, එනම් 23 දා ද චීන විදේශ අමාත්‍යංශය දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබිණි.

චීනයේ ව්‍යාපාර සහායකයා

ඇමරිකාවේ වර්තමාන රාජ්‍ය ලේකම්වරයාට මීට පෙර චෝදනා එල්ල වී තිබුණේ චීන රජයට අයත් සමාගමක් සමග ව්‍යාපාර කරන බව අනාවරණය නොකළ බවටයි. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු ඇමරිකානු රහස් ඔත්තු සේවය වන සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා බවට පත් කෙරුණේ 2016 වසරේදී ය. කැන්සාස් ප්‍රාන්තයේ පිහිටි පොම්පෙයෝ සභාපති ධුරය දරන ලද සෙන්ට්‍රි ඉන්ටර්නැෂනල් නම් සමාගමක් මගින් චීන රජය සමග ව්‍යාපාර කටයුතු සිදු කර ඇති බව වොෂින්ටන් පෝස්ට් ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මගින් පසුගිය වසරේදී චෝදනා කෙරිණි කෙසේ වෙතත් ඔහු එම සමාගමේ සභාපති ධුරය දරා ඇත්තේ 2006 – 2010 කාලයේදී ය.

අද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබු ට්විටර් පණිවිඩයක මෙසේ සඳහන් විය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here