මන්ත්‍රී පෙත්සමෙන් දුමින්ද සිල්වා එළියට එයි ද?

(ශාලික විමලසේන)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු අධිකරණයෙන් මරණ දඬුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

එම පුවත්පතේ දේශපාලන තීරුවට අනුව දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පෙත්සමක් අත්සන් කරමින් සිටී. එම පෙත්සම අත්සන් කිරීමට අදාළ මූලික කටයුතු සිදු කර ඇත්තේ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ සිදුවෙමින් තිබියදී ය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාගේ කාර්යාලයේදී මෙය මන්ත්‍රීවරුන් අතට පත්කිරීම සහ ඊට අදාළ සාකච්ඡා කිරීම් සිදු වී ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමෙන් පසු මෙම පෙත්සම ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බවත් එම පුවත්පත් වාර්තාවේ සඳහන් ය.  

අධිකරණ තීන්දුව

2011 පළාත්පාලන මැතිවරණය දිනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පියා වන, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේදී ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කෙරිණි. මේ සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනෙකුට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරුණු අතර, එක් සැකකරුවකු අතුරුදන් ය. ගලබොඩ ප්‍රියන්ත නමැති ඔහු දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කර ඇත. මෙම තීන්දුවට අදාළව ඉහළ අධිකරණයේ ගොනුකළ අභියාචනයෙන් ද මෙම පිරිස වරදකරුවන් කරනු ලැබූ අතර, දඬුවම ද වෙනස් නොකෙරිණි.

සමාවේ ඉතිහාසය

ජනාධිපති සමාව කියන්නේ මේ රටේ වැඩියෙන්ම අවභාවිත වූ සහ අවභාවිතවීමට නියමිත බලයකි. ආණ්ඩුව සහ එහි රැකවලුන් විසින් නීතියේ ආධිපත්‍යය අවභාවිත කරන ආකාරය හොඳින්ම පෙන්වන දර්ශකයකි, මේ කියන ජනාධිපති සමාව. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ළමා අපචාරයකට වැරදිකරු වූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දුන්නේය. එයිනුත් නොනැවතී මුළු දිවයිනටම සාම විනිසුරු කළේය. උදාහරණ රැසක් මැද්දේ රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුකරගෙන පැමිණ, මහින්ද රාජපක්ෂ යළිත් මේ ජනාධිපති සමාවට අලුත් අර්ථකතනයක් දුන්නේය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ සබරගමුව දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂගෙන් නිදහස ලැබීය. මෛත්‍රිපාල සිරිසේන යුගයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, ජූඩ් ශ්‍රමන්ත ජයමහට මෙන්ම වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ද ජනාධිපති සමාව හිමි විය.

මහින්දගෙ රිෂාඩ් සහ මෛත්‍රීගෙ ඥානසාර

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිරගතව සිටි ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන්නේය. ඕනෑම කෙනකුට අධිකරණයට ඕනෑම දෙයක් කළ හැකි යැයි යන සංඥාව ජනාධිපතිවරයා ලබාදුන්නේ එසේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගැසූ රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ රිෂාඩ් බදියුදීන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා බවක් රාජ්‍ය මාධ්‍යවලින් පැවසුවද, එවැන්නක් සිදුවූයේ නැත. ඔහු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණි. කෙසේ හෝ දැන් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රා.ස. සභාපති සිද්ධිය

වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාකේවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහටද ජනාධිපති සමාව ලැබිණි. ඔහුට එල්ල වී තිබුණේ අල්ලස් චෝදනාවකි. ඊට වරදකරු වූ ඔහුට වසර 18 ක සිර දඬුවම් නියම වී තිබිණි. ඊට එරෙහිව චූදිත විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුවෙන්ද පැරදිණි. වරකාපොළ ප්‍රදේශයේ මාර්ග තුනක් ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත් ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා, එය ලබාගැනීම ඔහුට එරෙහි චෝදනාව විය. වසර 24 කට පෙර සිදු කළ වරදකටය, මේ දඬුවම හිමි වී තිබුණේ.

හාස්‍යයට ලක්කළ අධිකරණය

හිටපු සභාපතිවරයාට එරෙහි දඬුවම අනුමත කෙරුණු අභියාචනාධිකරණ තීන්දුව ඔහුට කියවා පැහැදිලි කිරීම සඳහා විත්ති කූඩුවට කැඳවිණි. ඔහු ඊට ගොඩවූයේ ලිපිගොනුවක්ද අතැතිවය. එහි සඳහන් වූයේ ජනාධිපති සමාව ලැබුණු බවට වූ ලිපියකි. ලිපි ගොනුවේ තිබුණේ ඔහුට ජනාධිපති සමාව ලබා දී ඇති බව සඳහන් කරමින් අධිකරණ අමාත්‍යංශය මගින් කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට එවා තිබූ ලිපියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (ඇ) යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මේ නම් සඳහන් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවත්, ඒ අනුව කටයුතු කළ යුතු බවත් එයින් වැඩිදුරටත් කියවිණි.

1995 ජනවාරි 01 සහ 31 අතර කාලයේදී වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ, ‘රජයේ සේවකයාට‘ එරෙහිව අල්ලස් ලබාගැනීම ඇතුළු චෝදනා පහක් ගොනු කර තිබිණි. එයින් වරකාපොළ ප්‍රදේශයේ උඩුගම, තඹදිය සහ ඕවිටිගල යන මාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබාදීමට අල්ලස් ගත් බව ඔප්පු කෙරිණි. ඒ අනුව චෝදනා තුනකට ඔහුව වැරදිකරු කරමින් 2009 ඔක්තෝබර් 29 දා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. 2010 මාර්තු 31 වැනිදා ඔහු මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

මහින්ද – මෛත්‍රී හවුලේ දුන් සමාව

2019 ඔක්තෝබර් 20 දා කොළඹදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ ඉවසීමේ අගය පිළිබඳව ය. ඉවසීම නැති වූ නිසා ජූඩ් ශ්‍රමන්ත ජයමහ විසින් රෝයල් පාර්ක් ඝාතනය සිදුකර ඇති බවත්, ඔහු බන්ධනාගාරයේදී යහපත් කල්ක්‍රියාවෙන් සිට ඇති නිසා ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් සලකාබලන බවක් එහිදී වැඩිදුරටත් හිටපු ජනාධිපතිවරයා පවසා තිබිණි. මේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඔහුට ජනාධිපති සමාව ලැබිණි.
2005 වසරේදී රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහට කොළම මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවම් නියම කෙරිණි. මෙම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශ්වයෙන් අභියාචනා කරන ලද අතර, අභියාචනාධිකරණය විසින් ඔහුගේ දඬුවම, මරණ දඬුවමක් දක්වා වැඩි කළේය. මෙම මරණ දඬුවමට එරෙහිව විත්ති පාර්ශ්වය යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කළේ අභියාචනාධිකරණයට ද මරණ දඬුවම ලබාදිය හැකිය යන විශේෂ තීන්දුවක් ද ලබාදෙමින් ය. කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේනට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙසට ලිහිල් කෙරිණි.

බලයේ තරම

ජනාධිපතිවරයාට මෙවැනි තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇත. එහෙත් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන ආකාරයට අපේ ව්‍යවස්ථාවේ ඇති දෝෂයක් නම්, එය කුමන තත්ත්වයක් යටතේ කළ යුතුද යන්න හෝ එසේ ජනාධිපති සමාව ලබාදෙන නිර්ණායක මොනවාද යන්න පිළිබඳ කිසිදු සඳහනක් එහි නැත.
නීතිවේදීන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ව්‍යවස්ථාවේ සියලු කරුණු එකින් එක අර්ථකතනය කළ නොහැකි බවද සත්‍යයක් බවයි. එහෙත් එය නීතිමය සහ සදාචාරමය පසුබිම්වලින්ද බැඳී පවතී. උදාහරණයක් ලෙස මේ සමාව ලබන පුද්ගලයා රටේ අනාගත පැවැත්මට සෘජු දායකත්වයක් ලබා දිය හැකි, ඔහුට සමාව දෙන ලෙස රටෙන් බරපතළ ලෙස ඉල්ලීමක් සහිත, යම් වරදක් කළද, ඊට වඩා සමාජ යහපත කළ හැකි අයෙකු සැලකිය හැකිය. එවැනි ඉල්ලීමක් සලකා බැලීමට ජනාධිපතිවරයා බැඳී සිටී.

දුමින්ද වෙනුවෙන් අරමුණ ඉදිරියට

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සඳහන් පෙත්සමක් අත්සන් කරන්නේත්, ඊට ප්‍රසිද්ධියක් ලබාදීමට උත්සාහ කරන්නේත් ඉහත හේතුව නිසා ය. එවිට මේ තීන්දුව ගන්නා ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීමට ජනතාවට ඇති  අවස්ථාව තරමක් අවුල් වේ. රටෙන් ප්‍රබල ඉල්ලීමක් ඇති අවස්ථාවක, එවැනි ඉල්ලීමක් සලකා බැලීමට ජනාධිපතිවරයා බැඳී සිටින බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පවා පවසන කරුණකි.

ඇමරිකා‌වෙත් එහෙමයි

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය කාලයේදී අධිකරණයෙන් වැරදිකරුවන් කළ දහයකට වැඩි පිරිසකට ජනාධිපති සමාව ලබා දී ඇත. අවසාන වරට 2019 මැයි මාසයේදී  ඔහුගෙන් සමාව ලැබුවේ මාධ්‍ය ආයතන හිමිකරුවකු වූ ඔහුගේ සමීපතම මිත්‍රයෙකි. ‘ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු වගේ වෙන කෙනෙක් නැත‘ නම් ප්‍රශස්ති පොත ලිව්වේ ඔහුය. නම කොන්රඩ් බ්ලැක් ය. ඔහුට එල්ල වී තිබුණේ මූල්‍ය අක්‍රමිකතා චෝදනා ය. ඔහුට සමාව දෙන ලෙස රටෙන් බලපෑමක් තිබුණේ නැත. ඔහු කවුදැයි රට දැන සිටියද, ඵලක් වූයේ නැත.

Previous articleකොරෝනා රට පුරා පැතිරුණේ ප්‍රදේශ හුදකලා කිරීම ප්‍රමාද වූ නිසයි – හරිත අලුත්ගේ
Next articleකුඩු චෝදනා බොරු : කුඩුවලට එරෙහිව සටන් කරන්නේ හිරු විතරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here