තහනම් යැයි කී ‘කටාර් චැරිටි’ ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ; කටාර් තානාපතිත් සහතිකයක් දීලා

(නිලූක සඳුන් පද්මසිරි)

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ‘සේව් ද පර්ල්’ නම් සංවිධානයට මූල්‍යාධාර සැපයූ බව කියන ‘කටාර් චැරිටි’ නම් සංවිධානය ආරක්ෂක කැබිනට් අමාත්‍යාංශය යටතේ ඇති අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශකටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයට ගැසට් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ සංවිධානයක් බව වාර්තා වේ.

‘කටාර් චැරිටි’ සංවිධානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තහනම් සංවිධානයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දිනෙක අධිකරණයට වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මෙම විමර්ශනයට අදාලව හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරුන් අධිකරණයට කියා තිබුණේ එය ලංකා රජයද පිළිගත් සංවිධානයක් බවයි.

අධිකරණයට වාර්තා කර තිබූ බී වාර්තාව 

මේ ගැන කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ ශාඛාව රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ FL162614 දරණ අංකය යටතේ ලියාපදිංචි වී ඇති ආයතනයක් බවයි.

එහි කාර්යාලයක් තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි. කොරෝනා කාලයේදී කටාර් චැරිටි ආයතනය කටාර්හී අසරණ වී සිටි ශ්‍රී ලාංකිකයින්ට වියළි ආහාර බෙදා දීමට සුවිශාල සහයෝගයක් ලබාදී ඇති බව ද කටාර්හී ආරංචි මාර්ග පවසයි.

එම ආයතනය ශ්‍රී ලංකාව තුළ ද ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කර ඇති බව එම සංවිධානය කළ වැඩසටහන් වලින් තහවුරු වෙයි.

ලංකාවේත් ව්‍යාපෘති කිහිපයක් කරලා

කටාර් චැරිටි ආයතනය ශ්‍රී ලංකා රජයේ අනුමැතියෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබූ ඒ ආශ්‍රිත තොරතුරුවලින් තහවුරු වෙයි.2018 මාර්තු 03 වැනිදා එම ආයතනයේ ශ්‍රී ලංකාවේ කාර්යාලය විවෘත කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් සඳහා වන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති කේ කාදර් මස්තාන් මහතා ද (එවකට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය), වත්මන් විපක්ෂ නායක (එවකට නිවාස ඇමති) සජිත් ප්‍රේමදාස මහතා සහ එවකට කටාර්හි ශ්‍රී ලංකාවේ තානාපති රෂීඩ් බින් ෂෆි අල් මාරි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කතාවක් කරමින් පැවසූවේ තමා කටාර් චැරිටි සංවිධානය ලංකාවට පැමිණීම ගැන සතුටු වන බවත් නිවාස අමාත්‍යංශයේ වෙනම ඒකකයක් ආරම්භ කර නිවාස ගැටළු සම්බන්ධයෙන් අදාළ ආයතනය සමග සම්බන්ධීකරණය කිරීමට කටයුතු සකස් කරන බවත් ය.

මෙම අවස්ථාවට එක්වෙමින් එවකට ශ්‍රී ලංකාවේ කටාර් තානාපතිව සිටි ෆයිසාල් රෂීඩ් අල් ෆෙහයිඩා විසින් කටාර් චැරිටි ආයතනයේ මානුෂීය මෙහෙවර ගැන හඳුන්වා දෙනු ලැබීය. අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහාය වෙමින් ලොව පුරා තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙම ආයතනය ඔවුන් දිරිමත් කරන බව හෙතෙම පැවසීය. කටාර් චැරිටි ආයතනය ශ්‍රී ලංකාව තුළ මානුෂීය මැදිහත්වීම් 1993 දී ආරම්භ කළ බවද 2018 වන විට කටාර් රියාල් මිලියන 14 කට වඩා වැඩි වියදමකින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ද තානාපතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ඒවන විට කටාර් චැරිටි ආයතනය පුද්ගලයින් 1000 කට වැඩි පිරිසකට අනුග්‍රහය දක්වා ඇතැයි ද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අනාථ දරුවන් බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ 30 වසරක යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස ලබාදීමේ බහු සේවා මධ්‍යස්ථාන ව්‍යාපෘති හතරක් (Multi-service centres) 2018 වසරේදී කටාර් චැරිටි ආයතනය ක්‍රියාත්මක කළ අතර 2019 වසරේදී තවත් එක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

මඩකලපුව – ඔඩ්ඩමාවඩි, ත්‍රිකුණාමලය – කින්නියා, පොලොන්නරුව – ඇතුගල සහ මඩකලපුව – එරාවූර් යන ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසක එම ආයතනය නිවාස ලබාදීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය.(ඡායාරූප ලිපිය අවසානයේ)

ඇතුගල නිවාස ව්‍යාපෘතිය 2018 මාර්තු 04 වැනිදාත්, ඔඩ්ඩමාවඩි සහ එරාවුර් නිවාස ව්‍යාපෘතිය 2018 මාර්තු 17 වැනිදාත් කින්නියා නිවාස ව්‍යාපෘතිය මාර්තු 18 වැනිදාත් විවෘත කෙරිණි. මෙම සෑම ව්‍යාපෘතියක් විවෘත කිරීමට එවකට රජයේ අමාත්‍යවරුන් සහ නිලධාරීන් සහභාගී වී තිබේ.

සෑම මධ්‍යස්ථානයක්ම නිවාස 22 ක් (සමාජ නිවාස ඒකක), සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පෙරපාසලක්, ආගමික ස්ථානයක්, ළිඳක් සහ කඩ සාප්පු හතරකින් සමන්විත විය. ගල්ෆ් ටයිම්ස් වෙබ් අඩවියට අනුව මෙම මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා කටාර් රියාල් මිලියන හතරක් වැය වී තිබේ.

කටාර් තානාපති කාර්යාලය සමගත් වැඩ කරලා

අවස්ථා කිහිපයක දී එම ආයතනය කටාර්හී වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට උපකාර කිරීමට කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහයෝගය ලබාදී ඇති බව ද තානාපති කාර්යාලය ඒ දිනවල නිවේදනය කර තිබිණි.

වියළි ආහාර පාර්සල් 300ක් අවශ්‍ය පුද්ගලයන්ට බෙදා හැරීම සඳහා තානාපති කාර්යාලයට මෙම සංවිධානය විසින් ලබා දෙනු ලැබූ බවත් ලබාදුන් ඒවා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට බෙදා දුන් බවත් පසුගිය අප්‍රේල් 12 වැනිදා දෝහාහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.

එම නිවේදනය පහත දැක්වෙයි.

ජූනි 20 වැනිදා එම තානාපති කාර්යාලයම නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ කටාර් චැරිටි, කටාර් අභ්‍යන්තර සහ විදේශ අමාත්‍යංශය සහ කටාර්හී ශ්‍රී ලංකා සංවිධානවල සහයෝගයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වියළි ආහාර පාර්සල් 5000ක් බෙදා හැරි බවයි.

එම නිවේදනය පහත දැක්වෙයි

කටාර් චැරිටි ගැන වැඩිදුරටත් 

කටාර් චැරිටි සංවිධානය ලොවපුරා රටවල් රැසක විවිධ හේතූන් නිසා පීඩාවට පත් සහ දුප්පත් ප්‍රජාව වෙනුවෙන් ආධාර ලබාදෙන සංවිධානයක් වන අතර එය ආරම්භ නර ඇත්තේ 1992 දීය. එම සංවිධානය ලොවපුරා රටවල් රැසක මානූෂීය සහන සැලසීමේ කටයුතු සිදුකරන අතර රටවල් රැසක රජයන් සමග සමීපව කටයුතු කරයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන රැසක් සමග ද ඉතා සමීපව කටයුතු කරයි. කටාර් චැරිටි ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධ වී ව්‍යාපෘති සිදුකිරීම 1997 සිට ආරම්භ විය. පසුගිය වසර 22 තුළ බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතා ගිවිසුම් 77 ක් අත්සන් කිරීමෙන් මෙම සහයෝගිතාවය වැඩි දියුණු කරන ලද බවත් එහි මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 76 ඉක්මවා ඇති බවත් වාර්තා අනුව පෙනී යයි.

සහන සැපයීම, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, ජීවනෝපායන් වැඩි දියුණු කිරීම, ජලය, සනීපාරක්ෂාව, සැපයුම්, ආහාර, කෘෂිකාර්මික, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, සමාජ සුභසාධනය, විශේෂඥ උපදෙස් ලබාදීම වැනි මානුෂීය හා සංවර්ධන කටයුතු වල එම සංවිධානය නිරත වී තිබේ.පලස්තීනය, සෝමාලියාව, පකිස්ථානය, ඉරාකය, සුඩානය, යේමනය, නයිජීරියාව, සිරියාව සහ බංග්ලාදේශය ඇතුළු බොහෝ රටවල් මෙම සහයෝගිතාව යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබා ඇත.

අවතැන්වූවන්ගේ සහ සරණාගතයින් වෙනුවෙන් මානුෂීය ව්‍යාපෘතිවලට මුදල් සැපයීම සඳහා කටාර් චැරිටි ආයතනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (UNHCR) සමඟ සහයෝගීතා සහ හවුල්කාරිත්ව ගිවිසුම් 32 කට අත්සන් තබා තිබේ.

කටාර් චැරිටි ආයතනය කළ වැඩ සහ මෙය සෞදි අරාබියේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම් කරීමට හේතුව ගැන වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න…

කටාර් චැරිටි ශ්‍රී ලංකාව තුළ කරන ලද නිවාස ව්‍යාපෘති වල ඡායාරූප

කදුරුවෙල ව්‍යාපෘතිය

එරාවූර් ව්‍යාපෘතිය

ඔඩ්ඩමාවඩි ව්‍යාපෘතිය 

කින්නියා ව්‍යාපෘතිය 

කටාර් චැරිටි කාර්යාලය විවෘත කිරීම 

Previous article20 සම්මත වුණොත් රට යන තැන හිතාගන්න බෑ : 2000දී ව්‍යවස්ථාවට ගිනි තැබූ මන්ත්‍රී කියයි
Next articleඅවුරුදු දොළහක් ගිහිල්ලත් මගෙන් පළිගන්නවා – කල් පැනපු ලේ පැකට් ගැන රටට හෙළිකළ දුමින්ද ප්‍රසාද්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here