අවුරුදු දොළහක් ගිහිල්ලත් මගෙන් පළිගන්නවා – කල් පැනපු ලේ පැකට් ගැන රටට හෙළිකළ දුමින්ද ප්‍රසාද්

(ශාලික විමලසේන)

ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කළ සාමාන්‍ය රජයේ සේවකයෙක්. දැන් දෙමටගොඩ පොඩි සිල්ලර කඩයක් දාගෙන ඉන්න තරුණයෙක්. ඔහු මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගත්තු වීරයෙක්. ඒ නිසාම පළිගැනීම්වලට ලක් වූ අයෙක්.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ ආණ්ඩුව පැවති කාලෙ කල් ඉකුත් වූ ලේ පැකට් ගෙන්වීම සහ භාවිතයට අදාළ අපරාධය හෙළි කළේ ඔහු. සෞඛ්‍ය ඇමැති කාලෙ නොකළ සාධාරණය ඉෂ්ඨ කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අවස්ථාවක් තිබුණා. ඒත් ඔහුට සාධාරණයක් කරන්න කිසිවෙකුට අවශ්‍ය වුණේ නෑ. මේ තවත් අලුත් ආණ්ඩුවක්…

මේ ඔහුගේ කතාව. ඔබේ ජීවිතයත් ඇතුළුව ජීවිත දහස් ගණනක් බේරාගත්තු කතාව.

කවුරුත් නොදන්න, ඒත් දහස් ගණනක් මරණෙන් බේරාගත්ත ඔබේ සම්පූර්ණ නම මොකක්ද..?

කරුණාරත්න ආරච්චිගේ දුමින්ද ප්‍රසාද්.

කරපු රස්සාව…?

සෞඛ්‍ය අමාත්‍යංශයේ සාමාන්‍ය සේවකයෙක්.

වැඩ පටන්ගත්ත දා ඉඳලම එතැනද හිටියෙ…?

ඔව්. මට උසස්වීම් තුනක් ආවා. ඒත් දුන්නෙ නෑ. පත්වීම් හංගලා මගෙන් පළිගත්තා.

රස්සාව පටන්ගත්තෙ…?

අනූ අටේ.

අයින් වෙන තැනට වැඩ සැලැස්සුවෙ…?

දෙදාස් අටේ. ඒ කාලෙ මට දිගටම අත්සන් කරන්න දුන්නෙ නෑනෙ.

හරි. හැමදේම සතියෙන් අමතක වෙන සමාජයට දැන් අපි ඔබව මතක් කරමු…?

ඒකෙන් මෙච්චර කාලයක් නම් වැඩක් වුණේ නෑ. මං තාමත් අසරණයි.

දැන් ආණ්ඩු වෙනස්…?

ඒත් හැමෝගෙම පාට එක වගේ.

ඒත් නැවත-නැවත අපි ආයෙත් කියමු. මේ කල් ඉකුත් වූ ලේ පැකට් කතාවට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?

කල් ඉකුත් වෙච්ච ප්ලාස්මා කට්ටල සහ ලේ පැරිසිස් දෙකම සිද්ධ වුණා. ලේ බැංකුවෙ දූෂණය වැඩියි. මේ විදිහට කල් ඉකුත් වෙච්ච ඒවා භාවිතයෙන් රෝගීන්ට වෙනත් ආබාධ ආවා. අපි දිගටම කිව්වා මේවා නවත්තන්න කියලා. අපි කිව්වා නීතිය ඉදිරියට යනවා කියලා.

ගියාද?

ඔව්. මුලින් අල්ලස් කොමිසමට.

නාමික ව…?

නෑ. මුලින් නිර්නාමිකව.

ඊට පස්සෙ මොකද වුණේ…?

ඒ අය හරියට වැඩක් කළේ නෑ. ඊට පස්සෙ අපි ජාතික රෝහලේ විගණන නිලධාරියා එක්ක එකතු වෙලා මේ ගැන විමර්ශනය කළා. මම සාමාන්‍ය සේවකයෙක් විදියට මේකට අවශ්‍ය විස්තර සියල්ල හොයලා දුන්නා. අපි ජාතික රෝහලේ මේ වැඩේ නැවැත්තුවා.

එතැනින් පළිගත්තෙ නෑ…?

ඇයි නැත්තෙ. මට එතැන ඉන්න දුන්නෙ නෑ. මාව ලේ බැංකුවට මාරු කළා.

එතැනත් ඔබ ඔබේ වැඩේ කළා…?

ඔව්. මේවා ගේනකොට කල් ඉකුත් වෙන්න අවුරුදු තුනක් කල් තියලා ගේන්න ඕනෙ. ඒත් මේ අය ගේන්නෙ  මාස හයක් විතර කල් තියෙන ඒවා. ඉතින් කල් පනිනවා තමයි. මේවා ප්‍රමිතියෙන් අඩුයි කියලා පැමිණිලි ඕනෙ තරම් ආවා.

වෛද්‍යවරු මේ ගැන මොනවද කිව්වෙ…?

මේ කල් ඉකුත් වුණු ලේ පැකට් පාවිච්චි කරන වෙලාවට මං ඉන්නව නම් මට තේ එකක් බීලා එන්න කියනවා. ඔන්න ඔහොමයි සැලකුවෙ.

ඔබ ලේ බැංකුවෙ මේ අපරාධයට විරුද්ධවත් පැමිණිලි කළා…?

ඔව්.

ඒවගෙ ප්‍රතිඵල…?

ඒ ගොල්ලන්ට විරුද්ධව විමර්ශන කරනවා වෙනුවට මට විරුද්ධව විමර්ශනයක් කළා.

කොහෙන්ද?

සෞඛ්‍ය අමාත්‍යංශයෙන්.

මොකක්ද චෝදනාව…?

පරිපාලනයට බාධා කරනවා, කුමන්ත්‍රණ කරනවා කියලා.

ඉතින් ඔප්පු වුණාද?

ඔප්පු වෙන්නෙ කොහොමද. සේවකයො ඔක්කොම, වෛද්‍යවරු පවා කිව්වා, මෙයාගෙ කිසි වරදක් නෑ, හොඳට වැඩ කරනවා කියලා.

ඊට පස්සෙ විමර්ශනයට ආපු අය මොකද කිව්වෙ…?

ඒ අය මාව කැඳෙව්වා. කැඳවලා කිව්වා, ඔයාට විරුද්ධව තියෙන චෝදනා එකක්වත් ඔප්පු වෙලා නෑ. ඔයා ළඟ මේකෙ අක්‍රමිකතා ගැන තොරතුරු තියෙනවා නේද, ඒවා ඔක්කොම අපිට දෙන්න කිව්වා. මං පැහැදිලිව කිව්වා, මේවා ගැන විමර්ශනය කරන්න. ජාතික රෝහලේ සාර්ථක විමර්ශනයක් කළා. ඒ නිලධාරීන්ගෙන් විමර්ශන කරන හැටි ඉගෙනගන්න කියලා.

එතකොට හිටපු සෞඛ්‍ය ඇමැති…?

නිමල් සිරිපාල ද සිල්වා.

ඇමැතිවරයට මේ ගැන පැමිණිලි කරන්න අවස්ථාවක් ලැබුණද?

පැමිණිලි කළා. වැඩක් වුණේ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ.

ඊට පස්සෙ මෛත්‍රිපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා ආවා…?

ඔව්. එතුමටත් කිව්වා.

මොකද වුණේ…?

එතැනදි අපේ කට්ටිය අතරම ප්‍රශ්නයක් ඇති වුණා. එක්කෙනෙක් මේ හොරකම් කරපු අයත් එක්ක එකතු වෙලා වෙන ගේමක් ගැහුවා. ඒක හින්දා එතුමට වැරදි තොරතුරු ගියෙ. මට හරි තොරතුරු දෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.

ඔබ අවස්ථාව ඉල්ලුවද?

ඔව්. ඒත් අවස්ථාව ලැබුණෙ අර ගේම් ගහපු අයට විතරයි.

ඒ අය ගිහින් වැඩේ පාවලා දුන්නා…?

හරියට හරි. ඒක තමයි කළේ. ඒගොල්ලො ඇමැතිතුමාට කියලා දැන් ප්‍රශ්න ඔක්කොම හරි කියලා.

හරි. දැන් මේ සිද්ධියට අදාළව ලේ බැංකුවෙ හිටපු අධ්‍යක්ෂිකා මංගලිකා බිංදුසාරට එරෙහිව නඩුවක් යනවා …?

ඔව්. උසාවියෙදි මේ ඔක්කොම වමාරවන්න ඕනෙ.

මංගලිකා බිංදුසාර එතැනින් ගියාට පස්සෙ ඔබ මොකද කළේ…?

ඔය කට්ටියම එක ම වැඩේ කළේ. ඊට පස්සෙ ආපු කට්ටියත් එහෙම තමයි. පස්සෙ එතැන්ට ආපු ආනන්ද ගුණසේකර මට පෞද්ගලිකව හම්බෙන්න එන්න කිව්වා. ඒත් මං ගියෙ නෑ.

ඇයි…?

මට ඒ වෙනකොට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබුණා. ජීවිත තර්ජනයකුත් තිබුණා. හැමෝම කිව්වෙ යන්න එපා, බොරු චෝදනාවක් දාලා පොලීසියට අල්ලලා දෙයි කියලා. බලය තිබුණේ ඒගොල්ලො ළඟනෙ.

ඒත් ඔබටත් පිරිස් බලයක් තිබුණා…?

ඔව්. ඒ හින්දා තමයි අමාත්‍යංශයේ හිටපු ලේකම් රුබේරු මහත්තයට මං ගැන පරීක්ෂණයක් කරන්න සිද්ධ වුණේ. මං හරිද, වැරදිද කියලා බලන්න. ඒකෙන් මගේ නිවැරදිභාවය ඔප්පු වුණා.

ඊට පස්සෙ ඒ වාර්තාව…?

ඒක තමයි හොඳම කතාව. ඒ වාර්තාව බලන්න යනකොට වාර්තාව අස්ථානගත වෙලා. එහෙම එකක් නෑ. අදටත් සෞඛ්‍ය අමාත්‍යංශයෙ මේ වාර්තාව නෑ.

ඔබ වගකීමෙන්ද කියන්නෙ එහෙම වාර්තාවක් හැදුවා කියලා…?

ඔව්. මං මොකටද බොරු කියන්නෙ. මේවා ඔප්පු කරන්න මට පුළුවන්.

ලේ බැංකුවෙ, එහෙම නැත්නම් ජාතික රුධිර මධ්‍යස්ථානයේ අනෙක් සේවකයන් ඔබේ මේ හෙළිදරව් කිරීම් වලට සහයෝගය දුන්නද?

කිහිපදෙනෙක් උදව් කළා. කම්කරුවන් වගේම නිලධාරීන්. ඒත් හුඟදෙනෙක් බයෙන් හිටියෙ. රස්සාව නැති වෙයි, දරු-පවුල් අනාථ වෙයි කියලා.

අදාළ ආයතනවලින් පරීක්ෂණ කෙරුණෙ නෑ. ඊට පස්සෙ…?

මං මේ ඔක්කොම මාධ්‍යයට දුන්නා. මාධ්‍යවේදීන්ව හොරෙන් ඇතුළට එක්ක ගිහින් පොටෝ ගන්න ඉඩ හදලා දුන්නා. ඊට පස්සෙ තමයි මේක රට දැනගත්තෙ.

මාධ්‍ය ඔබට සහයෝගය දුන්නා…?

ඔව්. ඒත් ඒ වගේම හුඟක් අය මේක වැහුවා. තව සමහරු වැඩේ කරගෙන මාව පාවලා දුන්නා.

වැඩේ පත්තු වුණාට පස්සෙ මේ පිරිස ඔබෙන් පළිගත්තෙ කොහොමද?

මට ජීවිත තර්ජනත් ආවා. ඒ වගේම මාව හතර වටේට මාරු කළා. මට වැඩක් කරන්න දුන්නෙ නෑ. මාව මානසිකව වැට්ටුවා. ජාතික රෝහලට, මහරගම පිළිකා රෝහලට,ආපහු ලේ බැංකුවට ඔය විදිහට.

ජීවිත තර්ජන ගැන ඔබ පොලීසියට පැමිණිලි කළා ද?

නෑ. පොලීසියට පැමිණිලි කළාට වැඩක් නෑ කියලා මම දැනගෙන හිටියා. ඒ ගොල්ලන්ට ආණ්ඩු බලය, අමාත්‍යංශ බලය, පොලිස් බලය ඔය ඔක්කොම තිබුණා.

මාරු කරන්න හේතු මොනවද කිව්වෙ…?

සේවා අවශ්‍යතා මත කියලා.

ඊට පස්සෙ ඔබව අයින් කළා…?

මගේ අම්මගෙ දානෙ ඉවර වෙලා වැඩට ගියාට පස්සෙ මට පොත අත්සන් කරන්න එපා කිව්වා.

ඒ කිව්වෙ කොහෙන්ද?

ජාතික රෝහලේ ලේ බැංකුවෙන්.

හරියටම කොහොමද ඒක කිව්වෙ…?

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීලා තියෙනවා, අත්සන් කරන්න දෙන්න එපා කියලා. එහෙමයි කිව්වෙ.

කවුද ඒක කිව්වෙ…?

හෙද පාලිකාව. අධ්‍යක්ෂතුමියගේ නියෝගයක් කිව්වා.

ඔබ ඒ ගැන අදාළ තැන් වලට පැමිණිලි කළාද?

ඔව්. ඒත් වැඩක් වුණේ නෑ.

කාටද කිව්වෙ…?

හැමෝටම ලිව්වා. ඇමැතිතුමා දක්වා හිටපු හැමෝටම අභියාචනා කළා.

ඒ කවුරුත් උත්තර එව්වෙ නෑ…?

නෑ. නිකම් ලිපි ලැබුණා කියලා එව්වා විතරයි. ඊටපස්සෙ මං ඔය සිද්ධියට අදාළ සියලු කාරණා ප්‍රසිද්ධ කළා.

එතකොට 2008 ජූලි මාසෙ ඉඳලා මේ දක්වා ඔබට නිකමටවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කතා කළේ නෑ…?

නෑ. තවම පළිගන්නවා.

වැටුප් නෑ…?

නෑ.

ඔබ දිගටම ලිව්වද?

ඔව්. මගේ රැකියාව ලබාදෙන්න, අඩුම තරමේ විමර්ශනයක් හෝ කරන්න කියලා මං ලිව්වා. ඒත් මොකුත් කළේ නෑ.

දැන් ජීවත් වෙන්නෙ කොහොමද?

පොඩි කඩයක් කරනවා.

මොනවද මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නෙ…?

මේ වගේ අපරාධ නොවෙන්න වගබලාගන්න එක. මටත් සාධාරණයක් ඉෂ්ඨ වුණොත් ලොකු දෙයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here