20 සම්මත වුණොත් රට යන තැන හිතාගන්න බෑ : 2000දී ව්‍යවස්ථාවට ගිනි තැබූ මන්ත්‍රී කියයි

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා රටට හදුන්වාදුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට 1994 දී බලයට පත්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට අවශ්‍ය විය.

ඒ අනුව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුතු ජී.එල්.පීරිස් අමාත්‍යවරයාට පැවරු අතර ඔහු ඇතුළු කණ්ඩායම නිර්මාණය කළ ව්‍යවස්ථා කෙටුම්පත පැකේජය නමින් හැදින්විය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එයට ගිනිතැබුවේය.

එලෙස ගිනිතැබීමට මුලික වුයේ එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වු ඩී.එම්. බණ්ඩාරනායක මහතායි. මේ වනවිට ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන ඇති ඔහු සිය ගම් ප්‍රදේශය වන යාපහුව දළදාගම ප්‍රදේශයේ වාසය කරයි.

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ දැඩි කතාබහක් ඇති මේ සමයේ එදා සිදුවු සිදුවීම් සම්බන්ධයෙන් ඩී.එම් බණ්ඩාරනායක හිටපු මන්ත්‍රිවරයා පැවසුයේ මෙලෙසිනි.

එදා පාර්ලිමේන්තුවේදී මොකද වුණේ ?

1978 ව්‍යවස්ථාව පිළිබඳව නොයෙකුත් මත තිබුණා. මේ ව්‍යවස්ථාව ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා තමන්ගේ වුවමනාවට ගෙනාවා කියන මතය තමයි රටේ ගොඩනගන්න උත්සාහ ගත්තේ. පුටුව ලකුණින් තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නායකත්වය දුන්න පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම ඒ කාලේ කිව්වේ මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා කිව්වේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වගේම මහින්ද රාජපක්ෂ මහත්තයත් ඉදිරිපත් වුණ හැම මැතිවණයකදීම කිව්වේ මේ ව්‍යවස්ථාව අයින් කරනවා කියලා. එහෙම කිව්වට එහෙම දෙයක් වුණේ නැහැ. ඊට පස්සේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි දැකපු විදිහට ඒ ව්‍යවස්ථාව තුළ රටට අහිතකර කරුණු රාශියක් තිබුණා. මට මතක විදිහට ඒ ව්‍යවස්ථාවෙන් උප ජනාධිපති කෙනෙක් පත්කරන්නත් යෝජනා කරලා තිබුණා. මේ කුඩා රටට තවත් උප ජනාධිපති කෙනෙක් සහ උප අගමැති කෙනෙක් දාන එක ගැළපෙන්නේ නැහැනේ. ඒක තවත් වියදම් වැඩි කිරීමක් විතරයි. ඒ වගේම නිදහස් අධ්‍යාපනයට හානියක් වෙන තත්ත්වයක් ඒකෙ තිබුණා. මේ නිසා විශාල පිරිසක් මේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළා. එයට විරුද්ධ වෙන්න අපිටත් සිදුවුණා. පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුවෙන් පිටත අපි අපේ විරෝධතාවය ගෙන ගියා. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙද්දි තදබල ලෙස විරෝධය දක්වලා ඒ ව්‍යවස්ථාව එතැනින් ඉවත් කරලා දැම්මා.

ඒ ව්‍යවස්ථාවට ගිනි තියන්න පෙළෙඹුණේ කොහොමද?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණ ඒ ව්‍යවස්ථා කෙටුම්පත ඉරලා ගිනි තිබ්බා. ඒ ගිනි තියන සිද්ධියට සම්බන්ධ වුණේ මම. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක නතර කරන්නයි අපිට අවශ්‍ය වුණේ. ඒ නිසා අපි විවිධ බලපෑම් කළා. නමුත් ඒ එක බලපෑමක්වත් සැලකිල්ලට ගන්නේ නැතිව මේක කරන්න යද්දි අපි තවත් ආවේගශීලී වුණා. ඒ ආවේගශීලීව ක්‍රියාත්මක වෙද්දි එය ඉරලා පුච්චලා දාන්න අපිට සිදුවුණා. මම මේ ව්‍යවස්ථාව ඉරලා පුච්චලා දාන්න යද්දි කබීර් හෂීම් මන්ත්‍රීතුමා තමයි මට ලයිටර් එක පත්තුකරලා දුන්නේ.

මේ සිදුවීම කිසිදු පෙර සූදානමකින් තොරව කරපු එකක්. කවුරුවත් උපදෙස් දුන්නේ නැහැ මෙහෙම කරන්න කියලා. අඩුම තරමේ අපි එළියෙ කතා වුණේවත් නැහැ. මන්ත්‍රීවරුන් සබාගැබට එද්දි ව්‍යවස්ථාවේ පිටපතක් මන්ත්‍රී මේස උඩ තියල තිබ්බා. කබීර් හෂීම්, ලකී ජයවර්ධන වගේ මන්ත්‍රීවරු ඒ වෙලාවේ මගේ ළඟ හිටියා. විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු දහදෙනෙක් විතර මේකට සම්බන්ධ වුණා.

එදා කරපු දේ ගැන අද මොකද හිතෙන්නේ?

එදා අපි ගත්තු තීන්දුව හරි කියලා මම හිතනවා. ඒ මොකද එදා ඉදිරිපත් කළාටත් වඩා එහා ගිය ව්‍යවස්ථා සංශෝධනයක් තමයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන්නේ. ඒ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දිත් විපක්ෂය විරෝධතාවය දක්වනවා. මම ප්‍රවෘත්තිවලින් බැලුවා. මේ ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනොත් රට කොතැනින් නතර වෙයිද කියලා හිතාගන්න අමාරුයි.

එදා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඉදිරිපත් වුණ අය, අද විධායක ජනාධිපති ධුරය හොඳටම ශක්තිමත් කරන්න යෝජනා ඉදිරිපත්කරලා තියෙනවා. පොදු අපේක්ෂකයා විදිහට සිරිසේන මහත්තයා ඉදිරිපත් වුණෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදිලා සිරිසේන මහත්තයා දිනුවේ. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති බලතල බොහොමයක් අඩු කරලා ඒවා පාර්ලිමේන්තුවට දුන්නා. ඒක හොඳ දෙයක්.

වර්තමාන පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්  අදහස මොකද්ද?

වර්තමාන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන හැටි දැක්කාම අපි දේශපාලනය කරලා මන්ත්‍රීවරුන් විදිහට හිටියා කියල කියන්නත් ලැජ්ජයි මට. ඒ මොකද මන්ත්‍රීවරයා එහෙම නැතිනම් මහජන නියෝජිතයෝ සියලුදෙනා දිහාම ජනතාව බලන්නේ හොරු දූෂිතයෝ විදිහට තමයි. මේ නිසාම මම මන්ත්‍රීවරයෙක් විදිහට හිටියා කියල කියන එක ලැජ්ජාසහගත තත්ත්වයකට පත්වුණ අවස්ථා තිබිලා තියෙනවා. මොකද හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන්. අපේ කාලේ එහෙම නැහැ. දැන් අපි ජීවත් වෙන විදිහ බලලම ඕනැම කෙනෙකුට ඒක තේරුම්ගන්න පුළුවන්. මහ විශාල ගෙවල්දොරවල් අපිට නැහැ. අපි ඉස්සර ඉඳන්ම ජීවත් වුණ ගමේම තමයි දැනුත් ඉන්නේ. පාර්ලිමේන්තු ගිහින් අපි සල්ලි හෙව්වෙ නැහැ. අද වුනත් අපි පාරට බැහැලා තනියම යනවා. ගමන්බිමන් යන්නේ බස් එකෙන්, කෝච්චියෙන්. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. නමුත් වර්තමාන මන්ත්‍රීවරයකුට ඒ තනතුරු අහිමිවෙලා ඉද්දි අපි වගේ මේ විදිහට පාරට බහින්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා.

ඒ මොකද හැමදෙනාම මුදල් මතම රැඳිලා ඉන්නවා. වර්තමාන මන්ත්‍රීවරයකුට ලක්ෂ තුන හතරක් ලැබෙනවා. නමුත් ඒ මුදලින් ඔහුට තිබෙන වැඩ කරගන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම තමයි මරණ දඬුවම නියම වුණ උදවිය දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම දන්න විදිහට නම් මරණ දඬුවම නියම වුණ කෙනෙකුට ඡන්දෙ දාන්නවත් බැහැ. මේ වගේ කටයුතු නිසා තමයි මන්ත්‍රී ධුරය හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ.

දේශපාලනයට පැමිණි ආකාරය ගැන සඳහන් කළොත්?

මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වුණේ 1989 අවුරුද්දේදී. ඒ මොකද 1988 අවුරුද්දේ ජනාධිපතිවරණය තිබුණා. ඒ ජනාධිපතිවරණ කාලසීමාවේදී රට බොහොම අර්බුදකාරී තත්ත්වයක් තිබුණේ. මොකද ජනතා විමුක්ති පෙරමුණ කලබල ඇති කරන තත්ත්වයක් මතු වුණා. විශාල වශයෙන් මිනිස්සු මැරුණා. මේ කාලය තුළ යාපහුව මැතිවරණ කොට්ඨාසය තුළ 58ක් මැරුවා. ඒ අවස්ථාව වෙද්දි අපිට හිටපු එස්.බී. අබේරත්න ඇමතිතුමා රට දාල ගියා. එතුමා ඇමතිකමෙන් ඉල්ලා අස්වීම එව්වෙ ඒ රටේ ඉඳලා. ඇමතිතුමා ගියාට පස්සේ මේ මැතිවරණ කොට්ඨාසය අකර්මණ්‍ය වුණා. මිනිස්සුන්ට විශ්වාසය නැතිවුණා. වැඩ කරගන්න කවුරුත් හිටියේ නැහැ. ක්‍රියාකාරී උදවිය හැටියට මේ වැඩපිළිවෙළේ හිටියේ අපි කිහිපදෙනෙක් පමණයි.

ඒ කාලේ පක්ෂයේ දිස්ත්‍රික් මධ්‍ය සංවිධානයේ භාණ්ඩාගාරිකවරයා ලෙස සහ කඩුගන්නාව කෝරල බලමණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ මම. මේ සිද්ධියත් එක්ක අපි මොකද දැන් කරන්නේ කියලා අපි කිහිපදෙනා සාකච්ඡා කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට කරන්න පුළුවන් ඕනෑම උදව්වක් කරන්න අපි තීරණය කළා. එහෙම කිව්වට අපිට එළියට බහින්නවත් පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. කොළඹින් ඇවිත් තමයි පෝස්ටරයක් පවා ගහලා ගියේ. රැස්වීම් තියන්න වේදිකාව හැදුවෙත් කොළඹින් ඇවිත්. අඩුම වශයෙන් අපිට ඡන්දපොළ නියෝජිතයෙක්වත් පත්කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඒ වෙනකොට ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා වයඹ මහඇමතිතුමා. එතුමාට අපිව හමුවෙන්න අවශ්‍යයි කියලා කිහිපදෙනෙකුට පණිවුඩයක් එවලා තිබුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී මුදියන්සේ රත්නායක මහතාගේ නිවසේ හමුවෙන්න අපි තීරණය කළා. එහෙම වෙලාව දාගෙන අපි රැස්වීමට ගියාම මුදියන්සේ රත්නායක මහත්තයට අමතරව මම විතරයි හිටියේ. පසුව ජයවික්‍රම පෙරේරා මහ ඇමතිතුමාගේ වාහනේ ඉල්ලගෙන ගිහින් කිහිපදෙනෙක් එකතු කරගෙන ආවා. ඒ සාකච්ඡාවෙන් පසුව අපේ ආසනයේ කෙනෙක් සංවිධායක ලෙස පත්කරගන්න තීරණය කරගත්තා. මේ ගැන අගමැති ප්‍රේමදාස මහත්තයගෙ එකඟතාවයක් අරගෙන නැවත ජයවික්‍රම පෙරේරා මහත්තයා ආවා. ඒ පොරොන්දුව අනුව අපි ජනාධිපතිවරණයට උපරිමයෙන් කැපවෙලා වැඩ කළා. එහෙම වැඩ කළත් යාපහුව මැතිවරණ කොට්ඨාසය ඡන්ද 700න් පරාද වුණා. නමුත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති ලෙස පත්වුණා. ඊට පස්සේ යාපහුව සංවිධායක ලෙස ජනාධිපතිතුමාව මාව පත් කළා.

පසුව මහ මැතිවරණයට මම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යාපහුව නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. මහ මැතිවරණය තිබ්බේ 1989 පෙබරවාරි 15දා. ඒ මැතිවරණයෙන් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මාව තේරී පත්වුණා. ඒ අනුව මම මන්ත්‍රී ධුරයේ කටයුතු කළා. මගේ කාලසීමාව තුළ විශාල වශයෙන් මිනිස්සුන්ට සේවය කරන්න මම මැදිහත් වුණා.

ඒ කාලේ මිනිස්සු විශාල වශයෙන් බලාපොරොත්තු වුණේ විදුලිය ලබාගැනීම වගේ දේවල්. එවැනි කටයුතු කරන අතරේ රටේ සාමය ස්ථාපිත කරන්න ලොකු කාලයක් ගත කළා. ඉන්පසුව විදුලිය ලබාදීම්, වාරිමාර්ග කටයුතු දියුණු කිරීම්, පාසල් පද්ධතිය ස්ථාපිත කිරීම ආදී කටයුතු සිදුකළා.

නැවත 1994 මහ මැතිවරණය පැවැත්වුණා. ඒ වෙනකොට ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවිතක්ෂයට පත්වෙලා. (1993 මැයි 1 දින ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා කොළඹදී පැවති මැයි දින රැළියේදී ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ඝාතනය කරන ලදී) ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ විශාල පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්වෙලා තිබුණා. මේ නිසා ප්‍රේමදාස ජනාධිපතිතුමගෙන් පසුව ඩී.බී විජේතුංග මහත්තයා ජනාධිපති ලෙසත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ලෙසත් පත්වෙනවා. ඔවුන්ගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට අපි ඉදිරිපත් වුණා. එවර මහ මැතිවරණයේදී අපිට ආණ්ඩුව පිහිටුවන්න බැරිවුණා. (වසර 17ක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ දමමින් 1994 අගෝස්තු 16දා පැවති මහ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්විය.) අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට කටයුතු කළා. නැවත වතාවක් 2000 සහ 2001 මැතිවරණ පැවැත්වුවා. 2001 පැවති මහ මැතිවරණය අපි ජයග්‍රහණය කළා.

ඔබට අමාත්‍යධුරයක් ලැබුණා නේද?

2001 මැතිවරණයේදී අපි ආණ්ඩුව පිහිටුවූවා. එවකට ජනාධිපති වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. අගමැති ලෙස පත්වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ ආණ්ඩුවේ මම ඇතුළු විශාල පිරිසකට ඇමති ධුර ලැබුණේ අවසාන කාලයේදී. අපිට අවුරුද්දක්වත් ඒ ඇමති ධුරයේ ඉන්න ලැබුණේ නැහැ. රංජිත් මද්දුමබණ්ඩාර, කෙහෙලිය රඹුක්වැල්ල, හේමකුමාර නානායක්කාර ආදී අපි කණ්ඩායමටම මුලින්ම ඇමති ධුර ලැබුණේ ඒ කාලයේ.

එතැනදී මට ලැබුණේ ‘වී වගා සංවර්ධන’ රාජ්‍ය අමාත්‍ය ධුරය. එහි කැබිනට් ඇමති ධුරයේ කටයුතු කළේ එස්.බී දිසානායක මහත්මා. මට ලැබුණු ඇමති ධුරයෙන් යමක් කළා කියලා මම විශ්වාස කරනවා.

2004 මහ මැතිවරණයට මම ඉදිරිපත් වුණා. ඒ වෙද්දි යාපහුව ආසනයේම මගේ නිවසට ආසන්නයේම තවත් අපේක්ෂයෙක් ඉදිරිපත් කළා. මනාප ක්‍රමයට අනුව තිබෙන මැතිවරණයේ එකම ස්ථානයේ දෙදෙනෙක් ඡන්දෙ ඉල්ලුවොත් කොහොමත් එක් අයෙකුට පරදින්න සිදුවෙනවා. ඒ නිසාම මට දිනන්න බැරිවුණා. ඊට පස්සේ පැවැත්වුණ මැතිවරණ වලට මම ඉදිරිපත් වෙන්න ගියෙත් නැහැ. ඊට පස්සේ වෙන සංවිධායකවරයෙක් පත් කළා. මගෙන් පසුව යාපහුව ආසනයට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු හත්දෙනෙක් පත්කරලා තියෙනවා. ඒත් මේ ආසනයෙන් මන්ත්‍රීවරයෙක් බිහිකරගන්න තවම බැරිවෙලා තියෙනවා. ඒකට හේතුව නායකත්වය කියලා තමයි මම නම් හිතන්නේ. මොකද අපි අයින් කරලා වෙන කෙනෙක් දානවා නම් ඊට වඩා හොඳ යමක් කරන්න පුළුවන් උදවිය දාන්න තිබුණා. එහෙම දැම්ම නම් පක්ෂයට මේ තරම් හානියක් වෙන්නේ නැහැ. ඒ දේ නොකර විවිධ හිතවත්කම් මත කටයුතු කරපුවාම මිනිස්සු ඒවට අනුකූල වෙන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here