කොරෝනා රට පුරා පැතිරුණේ ප්‍රදේශ හුදකලා කිරීම ප්‍රමාද වූ නිසයි – හරිත අලුත්ගේ

(හසරිඳු රාජපක්ෂ)

ප්‍රාදේශීය වශයෙන් ප්‍රදේශ හුදකලා නොකිරීම නිසා කොරෝනා වෛරසය රට පුරා පැතිරුණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ප්‍රාදේශීය වශයෙන් ප්‍රදේශ හුදකලා කිරීම මගින් පවතින කොරෝනා වසංගත තත්ත්වය වළක්වාගත හැකි බව ද එය ප්‍රමාද නොවී කළ යුතු බවද එසේ නොකිරීම මෙසේ වෛසරය රටපුරා පැතිරීමට හේතුවූ බවද හෙතෙම කීවේය. රටම වසා දැමීම වැළැක්වීම තම ප්‍රධාන අරමුණ බවත් ඊට හේතුව එසේ වුවොත් රටේ ආර්ථිකයට වගේම ජන ජීවිතයටත් දැඩිලෙස එය බලපාන බවත් පෙන්වා දුන් අලුත්ගේ මහතා ඒ වෙනුවෙන් ප්‍රාදේශීය වශයෙන් හරි තීරණ ගතයුතු බව ද පෙන්වා දුන්නේය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින අවදානම ජනතාවට සන්නිවේදනය කළ යුතු බවත් එය වසංගත රෝග විද්‍යා අංශ්‍ය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමක් නමුත් එහි බරපතළ අඩුපාඩුකම් දකින්නට ඇති බව හෙතෙම කීවේය. සමාජ ව්‍යාප්තිය යන කාරණය සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වීම හොඳ දෙයක් නොවන බවද රටම වසාදැමීම ප්‍රායෝගික නොවන බවද හෙතෙම ප්‍රකාශ කළේය. ධීවර වෙළෙද සැල් අසල කොවිඩ්-19 පොකුරු ඇතිවු ආකරයෙන් මීළඟ කෝවිඩ් රැල්ල තැබැරුම් ආශ්‍රිතව ඇතිවීමේ අවදානමක් ඇතැයි ද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ Medialk.com සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක අධි අවදානම් කලාප ලෙස නම්කළ හැකි බවද පැවසු අලුත්ගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

කෝවිඩ් සමාජගත වී තිබෙනවාද? නැතිද?

සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා. ඒක නැහැ කියන්න බැහැ. නිරෝධායන මධ්‍යස්ථාවලින් වාර්තා වෙනවාට වඩා රෝගීන් වැඩි පිරිසක් දැන් වාර්තා වෙනවා. ඒ රෝගීන් වාර්තා වෙන්නේ සමාජයෙන්. මිනුවන්ගොඩ පොකුර ගත්තත් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ පොකුර ගත්තත් ඒ පොකුරුවලින් රෝගීන් 700 පමණ වාර්තාවෙද්දි ඔවුන් ලංකාව පුරාම ව්‍යාප්තවෙලා තිබෙනවා. ඒ කියන්නේ සමාජය තුළින් රෝගීන් හමුවෙනවා. ඒ නිසා මේ රෝගය සමාජ ව්‍යාප්තිය දක්වා ගිහින් තියෙනවද කියල දැන් ලොකු කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව සමාජ ව්‍යාප්තිය සඳහා කරුණු තුනක් සම්පුර්ණ විය යුතුයි. ඒ තමයි ආසාදිතයින් හමුවන බහු පොකුරු නිර්මාණය විය යුතුයි, ඒවා රටෙහි විවිධ තැන්වලින් නිර්මාණය විය යුතුයි සහ ඒවා එකට එකක් සම්බන්ධ නොවිය යුතුයි කියන මේ කරුණු තුන සම්පුර්ණ සමපුර්ණ විය යුතුයි. මේ නිසා වංසගත රෝග විද්‍යා අංශය සහ ආරක්ෂක අංශ දිගින් දිගටම කියන්නේ මේ දක්වා වාර්තා වු රෝගීන් සියලුදෙනාටම මොනයම් විදිහකින් හෝ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල රෝගී පොකුර සමග යම් සම්බන්ධයන් තිබෙනවා කියලා. එය ඔප්පු කරන්න හෝ බැහැර කරන්න සාධක අපිට නැහැ. ඒ තොරතුරු තිබෙන්නේ වසංගත රෝග විද්‍යා ඒකක තුළයි. ඒවා හරිද නැද්ද කියලා ඔප්පු කරන්නවත් පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්නවත් අපිට හැකියාවක් නැහැ. මොකද ඒ තොරතුරු අපිට ලබාදීලා නැහැ.

සන්නිවේදනයේ දුර්වලතා

මේ වනවිට තිබෙන අවදානම නිවැරදි ආකාරයෙන් සන්නිවේදනය විය යුතුයි. එහෙම වු⁣ණොත් තමයි ජනතාව ආරක්ෂාවීමට යොමුවෙන්නේ. අවදානම සන්නිවේදනය කරන විදිය විශ්වාසදායක විය යුතුයි. මිනිස්සු ඉදිරියේ හාස්‍යයට ලක්වන ආකාරයේ සන්නිවේදනයකින් මිනිස්සු ආරක්ෂා වෙයි කියල හිතන්න අමාරුයි. සමාජ ව්‍යාප්තිය කියන කාරණය සමාජ මාධ්‍ය තුළ මේතරම් හාස්‍යයට ලක්වෙලා තිබෙන්නේ මේ නිසයි. එහෙම හාස්‍යයට ලක්වෙන එක එතරම් හොඳ නැහැ.

මේ නිසා සමාජ ව්‍යාප්තිය නතර කරගන්න අවශ්‍ය වෙන වැඩටික අපි හැමෝම එකතුවෙලා කරන්න අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් අපි ජනාධිපතිතුමාටත් භාරදුන්නා.

යෝජනා කිහිපයක්

කෝවිඩ් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය වැඩිකරගන්න කළ යුතුයි. එය මුලින්ම අපි කියද්දි ඇතැම් අය හිනා වුණා. නමුත් දැන් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරමින් තිබෙනවා. පරීක්ෂණ වැඩිකිරීමේදී අහඹු නියැදි අරගෙන පරීක්ෂණ කරන ප්‍රමාණය වැඩිකරන්න කියලත් අපි යෝජනා කළා. ඒ මොකද ලංකාවේ හැමතැනම පරීක්ෂා කළ යුතුයි. අනුරාධපුර පොළොන්නරුවේ අවදානම අඩුයි කියලා පරීක්ෂණ නොකර ඉන්න බැහැ. ඒ පැතිවලත් පරීක්ෂණ කළ යුතුයි.

ඒ වගේම නිරෝධායනය සිදු කිරීම සම්බන්ධනේ සමාලෝචනයක් විය යුතුයි. දැන් සිදුකරන්නේ බොහෝ දෙනෙක් අරගෙන ගිහින් ආයතන ඇතුලේ නිරෝධායනය කරන එක. එය රජයට වගෙම ආරක්ෂක අංශ වලට ලොකු බරක් ලොකු වියදමක් දරන්න සිදු වෙනවා. මේ නිසා යම් ශ්‍රේණීගත කිරීමක් කරලා මධ්‍යස්ථානය තුළ නිරෝධායනය කළ යුතුම පිරිස පමණක් ඒ සඳහා යොමුකරන ලෙස අපි ඉල්ලා සිටියා. ඒ ගැන පැහැදිලි කරනවානම් නිවෙස්වෙල නිරෝධායනය කළ හැකි පිරිසක් සිටිනවා. ඒ වගේම ආයතනයක් තුළ නිරෝධායනය කරන්න පුළුවන්. මේ දෙකට ගැලපෙන අවස්ථා මොනවාද කියලා හදුනාගත යුතුයි. එහෙම නැතිව නිරෝධානයට යොමුකරන සියලුදෙනා මධ්‍යස්ථාන වලට යවන්න කටයුතු කළොත් අපේ නිරෝධායන පද්ධතිය බිද වැටෙනවා.

තුන්වැනියට අපි කිව්වේ රෝහල් ගත කිරීමේ රෝහල් පද්ධතිය සතු ධාරිතාව ඉක්මවා නොයන පරිදි රෝහල් ගතකරන පිරිසේ වෙනස්කම් ඇති කරන්න කියල අපි යෝජනා කළා. ඒ මොකද මේ රෝගීන් අතර ප්‍රධාන කාණ්ඩ තුනක් තිබෙනවා. පළමු කාණ්ඩය රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන කාණ්ඩය. තමන්ගේ ඇගේ වෛරසය තියනවා කියලා ඒ අය දන්නේ නැහැ. කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. පීසීආර් පරීක්ෂණයක් සිදුකළොත් තමයි ඔවුන් දැනගන්නේ තමන්ට රෝගය තිබෙන බව. දෙවැනි කණ්ඩායම සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවෙන කණ්ඩායම. ඒ අයට පොඩි හෙම්බිරිස්සාවක් කැස්සක් උගුරේ දැවිල්ලක් ගඳ සුවඳේ වෙනසක් ලා උණක් ආදී ලක්ෂණ කිහිපයක් ඇතිවෙනවා. තුන්වැනි කණ්ඩායම බරපතල රෝග ඇතිවෙන කණ්ඩායම. ඔවුන්ට තද උණ , උගුරෙ වේදනාව ඇතිවෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා, තද කැස්ස ඇතිවෙනවා. මේ පිරිස අවදානම් වැඩිම පරිසයි. දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ බෝ නොවන රෝග තිබෙන පිරිස , වගේම වැඩිහිටියන්ට මේ රෝගය දරුණු වෙන්න තිබෙන ඉඩ වැඩියි.

මේ කණ්ඩායම් තුනට සත්කාර කළ යුත්තේ ආකාර තුනකට. නමුත් දැනට වෙන්නේ මේ හැමෝම රෝහල් ගත කරන එකයි. එහෙම වුණාම අනවශ්‍ය තදබදයක් ඇතිවෙනවා. අපේ රටේ රෝහල් ඇඳන් සංඛ්‍යාව සීමා සහිතයි. රෝහල් තුළ කෝවිඩ්වලට ප්‍රතිකාර කරනවා වගේම අනිත් රෝග සඳහාත් ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. කෝවිඩ් තියනවා කියලා අනිත් රෝගීන් බාරගන්නේ නැතිව ඉන්න බැහැනේ . ඒ රෝගීන්වත් බලාගත යුතුවෙනවා. හෘදයාබාදයක් වැළඳි රෝහල් ගතවෙන කෙනාත් හදිසි අනතුරකින් රෝහල් ගතවෙන කෙනාත් අපි රැකබලාගත යුත වෙනවා. ඒ සියල්ල කරන්නනම් අනවශ්‍ය ලෙස රෝහල් ගතකිරීම අපි නතර කළ යුතු වෙනවා.

රෝග ලක්ෂණ පහල වෙන්නේ නැති අය රෝහල් ගතකරන්නේ නැතිව වෙනක් ආකාරයකින් ඔවුන්ව රඳවාගැනීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. උදාහරණයක් විදිහට මඩකලපුවේ පුනානී අධ්‍යාපන මධ්‍යස්ථානය දැන් නිරෝධානයන මධ්‍යස්ථානයක් එහි තවත් දාහක් පමණ රඳවාගන්න පුළුවන් අවස්ථාව තිබෙනවා. මේ අය එවැනි තැනකට යොමුකරලා ඔවුන් අතරින් රෝග ලක්ෂණ මතුවෙන අය පමණක් රෝහල් ගත කරන් පුළුවන්. එහෙම ක‍ළොත් ජිවිත අවදානමකින් තොරව අපේ පද්ධතියත් රැකගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒවගේම අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැකගැනීමත් වැදගත්. ඒ මොකද සමාජ ව්‍යාප්තියක් වෙලා රෝගීන් ගණන වැඩි වුණොත් ඔවුන්ට ප්‍රතිකාර කරන්න ප්‍රතිකාර කරන්න කාර්ය මණ්ඩලයක් නැතිව යනවා.

ඒ වගේම පවතින අවදානම තක්සේරු කරලා අවදානම මිනිස්සුන්ට සන්නිවේදනය කළ යුතුයි. එය වසංගත රෝග විද්‍යා අංශ්‍ය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමක්. නමුත් එහි බරපතළ අඩුපාඩුකම් අප දකිනවා

රටම වැසීම ප්‍රායෝගික නැහැ

ඒ වගේම රටම වහන එක වැළැක්වීමයි අපේ ප්‍රධාන අරමුණ.  මොකද එහෙම වුණොත් රටේ ආර්ථිකයට වගේම ජන ජීවිතයටත් දැඩිලෙස එය බලපානවා. ඒ වෙනුවෙන් ප්‍රාදේශීය වශයෙන් හරි තීරණ ගතයුතුයි. ප්‍රාදේශීය වශයෙන් ප්‍රදේශ හුදකලා කරනවානම් මේ තත්ත්වය වළක්වාගන්න පුළුවන්. එය ප්‍රමාද නොවී කළ යුතුයි. එහෙම නොකළ නිසා තමයි මේ විදිහට රට පුරා පැතිරුණේ. මේ වනවිට අවදානම වැඩි දිස්ත්‍රික්ක 05 ක් අපි හදුනාගෙන තිබෙනවා. ඒ තමයි කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක. අඩුම වශයෙන් ඒ දිස්ත්‍රික්කවල මායිම් වසා දමන්න කියලා රජයට යෝජනා කළා. එහෙම වුණොත් රෝගය පැතිර යාම සීමා කරන්න පුළුවන්. රට වැහෙන්නේ නැතිව ඉදිරියට යන්නත් සමාජ ව්‍යාප්තිය නවත්වන්නත් එය කළ යුතු දෙයක් විදිහටයි අපි දකින්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙත් රටවල් වහන්න එපා කියලා.

තැබැරූම් ආශ්‍රිත කෝවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානම වැඩියි

කෝවිඩ් කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය සමග බැදී තිබෙන රෝගයක්. එහෙමනම් අපි අනිවාර්යෙන් මේ වෙලොවේ අපේ ප්‍රතිශක්තිය වැඩිවෙන ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ පිළිබදව ජනතාවට දැනුම් දිය යුතුයි වගේම ජනතාව ඒ ගැන උනන්දු කළ යුතුයි. ප්‍රතිශක්තිය වැඩිවෙන්නනම් අපිට මේ අවස්ථවේදී විවේකය අත්‍යවශ්‍යයි. කොතරම් කාර්යබහුල කෙනෙක් වුණත් මේ වෙලාවේ අවම පැය ගාණවත් නිදාගත යුතුයි. විවේකය ලබාගත යුතුයි. වැඩි වශයෙන් ජලය පානය කළ යුතුයි. උණු ජලය පානය කරන්න පුළුවන්නම් වඩාත්ම හොදයි. අපේ ආහාර රටාව ශක්තිමක් කරගත යුතුයි. කෘතිම ආහාර ගත්තොත් අපේ ප්‍රතිශක්තිකරණයට හානි වෙනවා. එයින් වැළකිලා දේශිය පාරම්පරික ආහාර ගන්නට අපි යොමුවිය යුතුයි. ඒ වගේම අධ්‍යාත්මික ගුණ වගාවක නිරතවීමත් වැදගත්.

අපි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතුයි. ඒ මොකද මේ දෙකෙන්ම ප්‍රතිශක්තිකරණය හානී වෙනවා. ඒ වගේම තැබැරුම් වල පෝලීම්වලින් අනවශ්‍ය තදබදයක් ඇතිවෙලා මේ රෝගය පැතිරෙන්න තිබෙන ඉඩ වැඩියි. ධීවර වෙළෙඳසැල් ආශ්‍රිතව කෝවිඩ් රැල්ලක් ඇතිවුණා වගේ මීළඟ රැල්ල තැබැරෑම් ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන්. තැබැරුම් ආශ්‍රිතව කෝවිඩ් රැල්ලක් ඇතිවුණොත් එය බොහොම භයානාක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා වැරදි පුරුදු වලින් මිනිස්සු ඈත් විය යුතුවිය.

ඒවගේම ජනතාව මුහුණු ආවරණ පැළඳීම, අත් සේදිම, මීටරයේ දුර තබාගැනීම ආදි පුරුදු පවත්වාගෙන යාම ඉතාම වැදගත්වෙනවා. වගකීම් සහගත හැසිරීමෙන් ඔබ කටයුතු කළ යුතුයි.

රෝගීන් මියයාමේ ප්‍රතිශතය අඩුවීමට හේතුව

ලෝකයේ අනිත් රටවල අත්දැකීම් ගත්තත් මේ නිසා කොපමණ ප්‍රමාණයක් මිය ගියාද කියලා අපි දැක්කා. නමුත් ලංකාවේ එවැනි තත්වයක් දක්නය නැහැ. එයට ප්‍රධානම හේතුව තමයි මෙතෙක් කෝවිඩ් ලංකාවේ සමාජ ව්‍යප්තියක් දක්වා පැතිරිලා නැහැ. සමාජ ව්‍යාප්තියක් වුණොත් මේ තියෙන තත්ත්වය සම්පුර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. යම් පාලනයක් ඇති කරගන්න පුළුවන් වී තිබෙන නිසා තමයි මිය යන ප්‍රමාණය අඩුකරගන්න පුළුවන් වී තිබෙන්නේ. සමාජ ව්‍යාප්තියක් වුණොත් ලෙඩේ තියෙන්නේ කාටද නැත්තේ කාටද කියලා අපි දන්නේ නැහැ. එවිට වේගයෙන් රෝගය ව්‍යාප්ත වෙනවා. එවැනි අවස්තාවක වැඩිහිටියන් බලාගැනීම කළ නොහැකි දෙයක් වෙනවා. රෝහල් පද්ධතිය කඩාගෙන වැටෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන පිරි ඉතිරි යනවා. මරණ ගණන වැඩිවෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ අපිට පෙනෙන්න තිබෙන දේ අනුව මේ ලෙඩේ හැදු⁣⁣ණොත් මැරෙන්නේ නැනේ කියලා අපි කටයුතු කළොත් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සමාජ ව්‍යාප්තියකින්. ඒ ගැන අපි සැලකිලිමත් විය යුතුයි. මේ නිසාම සියළු දෙනා වගකීම් සහගතව කටයුතු කිරීමත් වැදගත්.

Previous articleඋපත දුන් තැනින් මරා දැමූ මාකදුරේ මධූෂ් !
Next articleමන්ත්‍රී පෙත්සමෙන් දුමින්ද සිල්වා එළියට එයි ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here