උපත දුන් තැනින් මරා දැමූ මාකදුරේ මධූෂ් !

(තරිදු ජයවර්ධන)

පිළියන්දලදී පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තබා කිහිප දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරමින් සිටි සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාධ්‍ය මගින් මාකඳුරේ මධූෂ් නමින් හඳුන්වනු ලැබූ සැකකරු පසුගියදා ඝාතනය විය.

ඔහු ඝාතනය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ වසර එක හමාරක් පමණ රඳවාගෙන සිටීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී එම නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදීය.

මධූෂ් ලක්ෂිත කවුද?

පාතාලයේ ගෝඩ් ෆාදර් යන අන්වර්ථ නාමයෙන් ජනමාධ්‍ය විසින් හඳුන්වනු ලැබූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් 1979 දී උපත ලැබුවේ දුප්පත්කම පිරුණු පවුලක වැඩිමල් දරුවා ලෙසය. මධූෂ්ගේ මව දේශපාලනය ගැන යම් උනන්දුවක් දැක්වූ කාන්තාවක වූවාය. ඇය ජනතා විමුක්ති පෙරමුණට විශේෂ ඇල්මක් දැක්වූවාය. 1988/89 භීෂණ සමය ඇරැඹෙද්දී මධූෂ්ට යාන්තම් වයස අවුරුදු නවය දහය වූවා පමණි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලදැයි කියන දේශපාලන රැස්වීමකට යද්දී මධූෂ්ගේ මව මැරුම්කෑවාය. ඒ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පිරිසක් විසින් තබන ලද වෙඩි පහරකිනි. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබිණි. ජවිපෙ තහනම් කරනු ලැබුවේ 1983 වසරේදීය. ඒ කාලයේ තරුණ කැරැල්ල මැඩ පැවැත්වීමට ආණ්ඩුව යොදාගෙන  තිබුණේ යුද හමුදාවය. ලංකාවේ තැන තැන ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව වධකාගාර පැවැති බව ප‍්‍රසිද්ධ රහසකි. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා මරා දමනු ලැබුවේ ද යුද හමුදාව විසිනි. ඒ් කෙසේ වෙතත් 2005 වසරෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට සහාය දැක්වූ අතර ඒ කාලයේ ජවිපෙ ස්ථාවරය වූයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊය පරාජය කළ යුත්තේ ද හමුදාව යොදවා යුදමය වශයෙන් බවයි. ඒ අතුරු කතාවකි.

යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමකින් මව මියයෑමෙන් අනතුරුව මධූෂ්ගේ ජීවිතය තව-තවත් අසීරු විය. ඉන්පසුව ඥාතිවරියක ළග හැදී වැඩුණු මධූෂ් සහ ඔහුගේ බාල සහෝදරයා ගෙවන්නේ ඉතා දුක්ඛිත ජීවිතයකි. මධූෂ් සමාජයෙන් විවිධ ආකාරවලින් බැට කන්නේය. ඔහුට සමාජයෙන් අසාධාරණකම් එමට සිදුවිණි.

අධ්‍යාපනය අඩාල කර ගත් මධූෂ් ජීවත් වීම සදහා කුලී වැඩ කරන්නට පටන් ගත්තේය. රෝහල් උපස්ථායකයකු ලෙස කාලයක් සේවය කළ ඔහු, බස් රථයක ද සේවය කළේය. ලී ඉරන රස්සාවක් ද කළ බව දැනගන්නට ඇත. ඔහු ජංගම ලී මෝලක් ආරම්භ කළේය. එ් නිසා ඔහුට ප‍්‍රදේශයේ ලී මෝල් හිමියන්ගෙන් තර්ජන එල්ල වී තිබිණි. මධූෂ් තමන්ට එල්ල වන තර්ජනවලට පෙරළා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය. ආදර සම්බන්ධයකින් පසු හෙදියක සමග විවාහ වූ ඔහු එක්දරු පියෙක් වූයේය.

ගමේ අවමංගල්‍ය උත්සවවලට මෙන්ම මංගල උත්සවවලට ද මොහු නැතිවම බැරි පුද්ගලයකු බවට පත්විය. ඒ තරමට ඔහු එවැනි උත්සවවලදී තම දායකත්වය ලබා දුන්නේය. වැඩි කලක් යන්නට මත්තෙන් මධූෂ් ගමේ ප‍්‍රසිද්ධ චරිතයක් බවට පත් විය. ක්‍රමයෙන් තම ආදායම වැඩි කර ගත් ඔහු  වටා සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයෝ එක්වූහ. ඒ අතර නීතියට පිටින් වැඩ කරන පිරිස්ද, දේශපාලකයෝ ද වූහ.  මව මරා දැමීම වැනි අත්දැකීම් නිසා ඔහුට කුඩා කල සිටම අපරාධ අලුත් දෙයක් නොවීය.

මධූෂ් පාතාලයේ කෙරුමෙකු බවට මාධ්‍ය විසින් හංවඩු ගහන්නට පටන්ගත්තේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයෙන් පසුවය. එම ඝාතනයට මුලින්ම ඇඟිල්ල දිගුවූයේ ද මධූෂ් වෙත ය. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතා මාකඳුරේ පිහිටි තම නිවස අසල වෙළෙදසැලකදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ඝාතනය කරනු ලබන්නේ 2006 ජුනි 11 වැනිදා ය. කෙසේ වෙතත් එවකට මධූෂ් හිටියේ රක්ෂිත බන්ධනාගාරගතවය.

ඔහු බන්ධනාගාරගතවී සිටින කාලයේදී ඔහුගේ සහෝදරයා ද ඝාතනය කෙරිණි. ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවූයේ ද පොලිසිය වෙත ය. ඔහු සුදු වෑන් රථයකින් පැහැර ගැනීමෙන් පසු පැමිණිල්ලක් දැමීමට පොලිසියට ගියත් පැය ගණනක් තිස්සේ පොලිසිය පැමිණිල්ල ලියා ගැනීම මගහරිමින් සිටි බව මධූෂ්ගේ ඥාතීහු කියති.

මධූෂ්ට එරෙහිව පොලිසිය විවිධ චෝදනා එල්ල කරද්දී ඔහු ලංකාවෙන් පැන ගත්තේය. රටවල් කිහිපයක් හරහා ගිය ඔහුගේ අවසාන නවාතැන්පොළ වූයේ ඩුබායි රාජ්‍යයයි.

ඩුබායිහිදී අත්අඩංගුවට

මධූෂ් ඇතුළු 31 දෙනකු ඩුබායිහි පැවැති සාදයක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට පත්වූයේ 2019 වසරේ පෙබරවාරි මාසයේදී ය. ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුම තරඟයට ලකුණු දාගැනීමට ගියත්, ඔහුගේ අත්අඩංගුවට ගැනීමට ලංකාවේ පොලිසියේ සම්බන්ධයක් නොමැති බව පසුව වාර්තා විය. මෙම 31 දෙනා අතර එම සාදයේ ගීත ගායනා කිරීමට ගිය ලංකාවේ ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුතා ද වූහ. එතැන මධූෂ්ගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසක් ද සිටි අතර, ඔවුන් නිරුපද්‍රිතව, ආරක්ෂා සහිතව නිවාස වෙත යැවීමට එරට පොලිසිය කටයුතු කර තිබිණි.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු පිරිස එරට බර් ඩුබායි පොලිසියේ රඳවා තබාගනිමින් විමර්ශන සිදු කළේය. 3927/2019 යන පැමිණිලි අංකය යටතේ විමර්ශන සිදු කළ පොලිසිය 5553/2019 යටතේ කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙම පිරිස සතුව මත්ද්‍රව්‍ය තිබූ බවට ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කළද, ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බවක් එරට පොලිසිය මගින් අනාවරණය නොකළ අතර, මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර තිබිණි.

කෙසේ වෙතත් විමර්ශනවලින් පසු 2019 මැයි මස 05 වැනිදා මධූෂ් ඩුබායි රාජ්‍ය මගින් ජාත්‍යන්තර පොලිසියටත්, ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් බාර කරනු ලැබ ලංකාවට රැගෙන එනු ලැබීය. එතැන් සිට වසර එක හමාරකට ආසන්න කාලයක් මධූෂ් සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ ය.

සැකකරුවකු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඇති නීතිය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. ඒ අනුව මධූෂ්ද මෙම ත්‍රස්ත මර්දන පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් ලබා දෙනු ලැබූ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. රැඳවුම් නියෝග ලබාගත්තේ පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව ය.

මධූෂ් වෙනුවෙන් අවසන් වරට රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ 2020 ජූලි 28 වැනිදා ය. රැඳවුම් කාලය අවසන්වීමට නියමිතව තිබුණේ 2020 ඔක්තෝබර් 28 වැනිදා ය. රැඳවුම් නියෝග අවසන්වීමට සති දෙකක් තිබියදී වැඩබලන පොලිස්පතිවරයා විසින් මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර කෙරිණි. ඒ 2020 ඔක්තෝබර් 16 වැනිදා ය. මෙම බාරදීම සැක සහිත බැවින් සහ ඔහුගේ ජීවිතයට යම් තර්ජනයක් ඇතිවීම වළක්වන ලෙස ඉල්ලා මධූෂ්ගේ නීතිඥයාගේ උපදෙස් පරිදි ඔහුගේ බිරිඳ කොළඹ අපරාධ කොට්ඨාසයට ලිපියක්ද බාර දී තිබිණි. එසේ තිබියදී පසුගියදා මධූෂ් ඝාතනය විය.

පොලිසියේ කතාව

මෙම ඝාතනයෙන් පසු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනමාධ්‍ය වෙත කීවේ පාතාල කල්ලියක වෙඩි තැබීමෙන් මාකඳුරේ මධූෂ් මිය ගිය බවයි.

‘මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ ඉද්දි කිව්වා තවත් හංගපු හෙරොයින් තිබෙනවා ඒවා හොයලා දෙන්නම් කියලා. ඒ අනුව පොලිසියේ අධීක්ෂණය යටතේ දුරකතන ඇමතුමක් අරගන්න දුන්නා. පොලිසියේ අධීක්ෂණය යටතේ දුරකතන ඇමතුමක් දීලා හෙරොයින් ගෙනැවිත් දෙන්න කියලා කිව්වා. ඉන්පසු අදාල තැනට මධූෂ්වත් එක්කගෙන ගියා. මධූෂ් එක්ක දෙවැනි තට්ටුවට නගිද්දි එහි සැඟවිලා හිටපු නාඳුනන පිරිසක් වෙඩි තිබ්බා. එයින් මධූෂ් මිය ගියා. පොලිසියේ දෙන්නෙකුට සුළු තුවාල වෙලා තියෙනවා. මධූෂ් කිව්ව ස්ථානයේ තිබිලා හෙරොයින් හොයාගත්තා.’ යැයි පොලිසිය කීවේය.

එදින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය කරද්දී ඇතැම් මාධ්‍ය වීඩියෝපටයක්ද ප්‍රදර්ශනය කළ අතර, එහි වෙඩි ශබ්ද රැසක් ඇසිණි. එතරම් වෙඩි ශබ්ද ඇසුණත් මධූෂ්ගේ ශරීරයේ වෙඩි වැදී තිබුණේ එක් ස්ථානයකට පමණි. පොලිසියේ 14 දෙනකු සිටියද, ඔවුන්ට හානියක් වී නොතිබුණු අතර වෙඩිතැබූ බව කියන දෙදෙනා මෙල්ල කර ගැනීමට පොලිසියේ 14 දෙනා අපොහොසත් වී තිබිණි.

දේශබන්දු, චමුදිත සහ ශානි

රූපවාහිනී නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන චමුදිත සමරවික්‍රම මහතා තම යූටියුබ් නාලිකාවට දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ සම්මූඛ සාකච්ඡාවක් පවත්වා තිබිණි. ඒ මෙම ඝාතනයෙන් දිනකට පසුව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි කාලයේ නිසි පරිදි විමර්ශන සිදුවූයේ නැති බවට එහිදී ඒත්තු ගැන්වීමට දරන ලද උත්සාහයක් දක්නට ලැබිණි. එහි වගකීම පැවරීමට උත්සාහ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ය. මධූෂ්ට ඉහළින් දේශපාලකයන් සිටි බව කියන කතාද දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී ප්‍රතික්ෂේප කළේය.

මධූෂ් වසර එක හමාරක් තිස්සේ සීඅයිඩියේ තබාගෙන සිටියද නිසි විමර්ශනයක් සිදු කර නැති බවට සහ සීඅයිඩිය ඇතුළේ සිටියදී මධූෂ් ‘අනියම් බිරියට’ දුරකතන ඇමතුම් ගැනීම ආදී විවිධ චෝදනා එම වැඩසටහනේදී ඉදිරිපත් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටියදී මධූෂ්ට කතා කිරීමට අවස්ථාව දී තිබුණේ සීමිත පිරිසකට පමණකි. ඒ අතර පොලිසිය සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නා ‘අනියම් බිරිඳ’ යැයි හඳුන්වන කාන්තාවද සිටියාය. ඇය මධූෂ්ගේ අනියම් බිරිඳ නොව දෙවැනි බිරිඳයි. මධූෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී පොලිසියට කොටුවූයේ මෙම කාන්තාවගේ සහ මධූෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී ය. මධූෂ්ගේ පළමු විවාහයේ දරුවා ඩුබායිවලට ගෙන්වාගෙන, හදා වඩාගෙන තිබුණේද මෙම කාන්තාවයි. මධූෂ් රහස් පොලිස් බාරයේ සිටියදී පමණක් නොව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදීමෙන් පසුවද මෙම කාන්තාව මධූෂ් බැලීමට ගොස් තිබිණි.

මධූෂ් ලංකාවට ගෙන එනු ලැබුවේ 2019 මැයි මාසයේදී ය. එවකට රහස් පොලිසිය පාස්කු විමර්ශන පස්සේ දුවමින් සිටියේය. ඒ කාලයේ රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වූයේ ශානි අබේසේකර මහතා ය. 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් පසු ශානි අබේසේකර මහතා රහස් පොලිසියෙන් ඉවත් කරනු ලැබූ අතර, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් අධිකාරි තිලකරත්න මහතා එහි අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබීය. ඔහු 2020 මැයි මාසය දක්වා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, මැයි මාසයේදී රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ලෙස  පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් පත්කරනු ලැබීය. පසුගිය සතිය වන තෙක් රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ප්‍රසන්න අල්විස් මහතාය. ශානි අබේසේකර මහතා යටතේ මධූෂ් සිට ඇත්තේ මාස පහකට ආසන්න කාලයක් පමණි. ඉන් පසු මාස 11ක පමණ කාලයක් මධූෂ් රහස් පොලිසියේ සිටියේ වෙනත් අධ්‍යක්ෂවරුන් දෙදෙනකු යටතේය.

ඝාතනයට එරෙහිව පැමිණිලි

මධූෂ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත්, වැඩබලන පොලිස්පතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයටත් පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

Previous articleමගෙ ලේකම්කම වගේ මාධ්‍යවේදීනුත් කරන්නෙ රැකියාවක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු
Next articleකොරෝනා රට පුරා පැතිරුණේ ප්‍රදේශ හුදකලා කිරීම ප්‍රමාද වූ නිසයි – හරිත අලුත්ගේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here