මගෙ ලේකම්කම වගේ මාධ්‍යවේදීනුත් කරන්නෙ රැකියාවක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

දේශපාලන ගනුදෙනු සහ ප්‍රාග්ධන මෙහෙයුම් හුඟක් අතරෙ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද?

මං හිතන්නෙ ලංකාවෙ ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ ඒවගෙ හිමිකරුවන්ගේ අවශ්‍යතා මත. එතකොට වෘත්තීය ජනමාධ්‍යවේදියට ඒකෙන් මිදෙන්න බෑ. උදාහරණයක් විදිහට රාජ්‍ය මාධ්‍ය ගත්තොත් අයිතිකරුවා වශයෙන් රජය සලකලා, ඒ පවතින රජයේ අවශ්‍යතා ඉටු කරන්න කටයුතු කරනවා. ඔය චෝදනාවම පෞද්ගලික මාධ්‍යයටත් තියෙනවා. සමහර මාධ්‍ය ආණ්ඩුව පෙරළන්න කටයුතු කරනවා, සමහර මාධ්‍ය ආණ්ඩුව පවත්වාගෙන යන්න කටයුතු කරනවා. මේ කාලෙ නැති පත්තරයක් ගන්න, ඇත්ත පත්තරේ වගේ. ඒවට දේශපාලන න්‍යායපත්‍රයක් තිබුණා. එක් පක්ෂෙකට නිතරම පහර දුන්නා. ඒත් ඔවුන් ඒක වෘත්තීමය විදිහට කළා. බී.ඒ.සිරිවර්ධන, එච්.ජී.එස්.රත්නවීර වගේ පුවත්පත් කලාවේදීන් සමාජයට හානියක් කළේ නැහැ. ඒත් අද හුඟක් මාධ්‍ය ආයතනවලට සමාජය අදාළ කරගන්නෙ නෑ. රූපට් මර්ඩොක් වගේ කෙනෙක් බලන්න, එයා ලෝකය පුරා මාධ්‍ය අධිපතිවාදයක් ගොඩනගන්න උත්සාහ කරනවා. මෙහෙත් සමහරු මර්ඩොක් වගේ වෙන්න උත්සාහ කරනවා. සන්ඩේ ලීඩර් වගේ පත්තරයක ලසන්ත වික්‍රමතුංග ගන්න. ඔහු උත්සාහ කළා ගවේෂණ හරහා යමක් කරන්න. ඒකෙ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මගේ මිත්‍රයෙකුත් වුණු නිසා මම කියන්න ඕනේ, එයා වෘත්තික මට්ටමකින් තමයි ඒක කරගෙන ගියෙ.
ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත්, වෘත්තික ජනමාධ්‍ය භාවිතය කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ වගේම අද වෙනකොට වෘත්තික ජනමාධ්‍යවේදීන් කියන අය ඉන්නෙ ඉතාම අතළොස්සයි, ඒ අය මාධ්‍ය ආයතනවල මුදුනෙම ඉන්නවා කියලා මම හිතන්නෙ නැහැ. ඔවුන්ගෙ වගකීම විදිහට ගත්තොත් ඉතාම සරලයි, ඇත්ත ජනතාවට කියන එක. එච්චරයි.

මේ යුගයේ සමාජ මාධ්‍ය සමාජයට ලොකු බලපෑමක් කරනවා. ඔබ නියෝජනය කරන්නෙ ඊට පෙර යුගය. ඒත් සමාජ මාධ්‍ය එක්ක ඔබට සමීප ගනුදෙනුවක් තියෙනවා. මේ තත්ත්වය යටතේ ප්‍රධාන මාධ්‍යවලට ඔබ කියන වගකීම තියෙනවද, නැත්නම් ඒක අහෝසිවෙමින් යනවද?

සමාජ මාධ්‍යවල ප්‍රතිචාර හොඳයි. ඇතැම් ප්‍රතිචාර හාස්‍යජනකයි. එතැන වැදගත් සහ නිර්මාණාත්මක කරුණු ඉදිරිපත් කරන අයත් ඉන්නවා. මමත් ඇතුළුව හුඟදෙනෙක් උදේට නැගිටලා මුල් මිනිත්තු පහ-දහය ඇතුළෙ කරන්නෙ ඔය කියන තාක්ෂණික මෙවලම් ටික වැඩ ද, මොනවද ඇවිත් තියෙන්නෙ කියලා බලන එක. උදාහරණයක් ගන්න, දෙදාස් පහළොවෙ ඡන්දෙ වෙලාවෙ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය බහුතරය හිටියෙ මහින්ද රාජපක්ෂ මහත්තයට පක්ෂව. මෛත්‍රිපාල සිරිසේන මහත්තයට පක්ෂව හිටියෙ සමාජ මාධ්‍ය. එතුමාගෙ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය ලොකු කාර්යභාරයක් කළා. හැබැයි මං වගේ වයසක මිනිස්සු සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙ බොහොම ටිකදෙනයි. විසිවැනි සංශෝධනය වෙලාවෙ අපි ඒක ඇතුළෙ තිබුණු හාස්‍ය, නිර්මාණශීලීත්වය දැක්කා. ඒක ඇතුළෙ තිබුණු ගැඹුරත් දැක්කා.

ඇත්ත වශයෙන්ම සමාජ මාධ්‍ය මේ වෙනකොට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පසුකරගෙන යනවා කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම පුවත්පත්. මිනිස්සු තවම රූපවාහිනිය බලනවා. කොහොම වුණත් මේ යන විදිහට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කරන දිනය වැඩි ඈතක නෑ. මොකද මිනිස්සු සමාජ මාධ්‍ය තුළ හැමෝම අදහස් පළකරනවා. මිනිස්සුන්ට ළඟයි. මිනිස්සු සමාජ මාධ්‍ය විශ්වාස කරන, ඒ රටාවට හැඩගැහෙන තත්ත්වයක් තමයි පේන්නෙ.

තමන්ගෙ වගකීම ඉටුකරන්න වෘත්තීය ජනමාධ්‍යවේදියාට තියෙන බාධක විදිහට ඔබ හඳුනාගන්නෙ මොනවද ?

මුලින්ම එන්නෙ හිමිකරුවට අවශ්‍ය වෙන්නෙ මොනවද කියන එක. එතැන තමයි වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ අවංක රාජකාරිය කප්පාදු කරන මුල්ම තැන. දෙවැන්න තමයි, ජනමාධ්‍යවේදියාගේ ආරක්ෂාව. ඒ ගැන සැලකිලිමත් වෙන්න සිදුවෙනවා. මොනවා කිව්වත් මිනිස්සුනෙ මේ වෘත්තියත් කරන්නෙ. මගේ එක මිත්‍ර ජනමාධ්‍යවේදියෙක් අවංකව රාජකාරිය කරන්න උත්සාහ කළා. ඔහුට බරපතළ පහරදීමක් සිදුවුණා. ඔහු ලංකාවෙන් ගියා. මොකක්ද ඇත්තටම ඔහුට තිබුණු වෙන විකල්පය. හරියට බැලුවොත් එහෙම එකක් නෑ.

තුන්වැන්න තමයි, මාධ්‍යවේදීන් වෘත්තිකයන් බවට පත්කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති වීම. සමහරුන්ට එහෙම අවස්ථා හම්බෙනවා. මං ඒක දන්නවා. විවිධ රටවල ගිහින්, ඒ රටවල මාධ්‍යවේදීන් එක්ක කටයුතු කරන්න ලැබෙන අවස්ථාවලින් ඔවුන් අත්දැකීම් හුවමාරු කරගන්නවා. අනෙක ආකල්ප. සමහර මාධ්‍යවේදීන් ඉන්නවා, ඔවුන්ගෙ ආකල්ප මේ සමාජයට ගලපන්න උත්සාහ කරනවා. ඒවගෙන් සමාජයට වෙන්නෙ යහපතක්ද, හානියක්ද කියලා සලකන්නෙ නෑ. එක් මාධ්‍යවේදියෙක් ඉන්නවා, ඔහු දැන් ඉන්නෙ මාධ්‍ය කර්මාන්තයේ ඉහළ තැනක. මං ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන කාලයෙ ඉඳලා ඔහු විවිධ හේතු මත මාව විවේචනය කරනවා. හැබැයි ඔහු යමක් ලියන්නෙ හොඳට හොයලා-බලලා. ඉතාම වගකීමෙන්. රජයේ නිලධාරියෙක් වුණු මාව ඔහු විවේචනය කළත්, මං ඒක හැමතැනදිම කියනවා. සමහරු එහෙම ගවේෂණය කරන්නෙ නැහැ. හොයන්නෙ නැහැ. කලබලෙන් ලියන්නෙ. ඒ පුහුණුව ලබාගන්න උත්සාහ කරන්නෙත් නැහැ. එහෙම පුහුණුවක් ලබාදෙන්න ලංකාවෙ පිළිගත් ආයතනයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්.
අනෙක් වැදගත්ම දේ තමයි, මාධ්‍යවේදීනුත් රස්සාවක්නෙ කරන්නෙ. මගෙ ලේකම්කම වගේ තමයි. තමන් කරන රස්සාවෙන් වැඩ ගොඩක් කරගන්න හැමෝම සැලසුම් කරනවනෙ. ඒවට අවශ්‍ය වැටුප් පරිමාවක් තියෙනවා. ලොකු දේවල් නැතත්, එදිනෙදා අවශ්‍යතා කරගන්න ඔ්නෙ. ආයතන ප්‍රධානීන්ගෙ අගයකිරීම් ලබන්න වැඩ කරන්න කීදෙනෙකුට පුළුවන්ද. ඔවුන්ට සමාජයේ අගයකිරීම් ලැබෙන්නෙ කොහොමද. මං දන්න එහෙම කීපදෙනෙක් ඉන්නවා, ලෝකය පුරා රටවල් රැසක ඔවුන්ව පිළිගන්නවා. ඒත් මේ සමාජයෙ ඔවුන්ට සැලකියයුතු පිළිගැනීමක් නෑ. ඒත් මඩ ගහන, අපහාස කරන අයට ඊට වඩා පිළිගැනීමක් තියෙන බවක් පේන්න තියෙනවා. ඒකත් ගැටළුවක්.

මේ බාධක ජයග්‍රහණය කරන්න, එහෙම නැත්නම් මේ ගැටළු විසඳන්න ඔබට තියෙන යෝජනා මොනවද?

ප්‍රධාන වශයෙන්ම මම දකින්නෙ මාධ්‍යවේදියාගේ වෘත්තිකභාවය ඉහළ නංවන්න සැලැස්මක් තියෙන්න ඔ්නෙ. ජනමාධ්‍යවේදියාගේ වෘත්තිකභාවය ඉහළ නැංවීමෙන් වැඩ කිහිපයක් වෙනවා. එකක් තමයි, ඔහුට තමන්ගෙ වෘත්තිය පිළිබඳ අභිමානයක් ඇති වෙනවා. වෙන දෙයක් කරන්න බැරිකමට මේක කරනවා වගේ හැඟීමක් කිසිම වෙලාවක ඔහුට දැනෙන්නෙ නැහැ. අනෙක් පැත්තෙන් ඒක ඔහුට පෞරුෂයක් ගොඩනංවනවා. වැදගත්ම දේ තමයි, ඔබ මුලින්ම කියපු විදිහට මේ මාධ්‍ය ඔක්කොම තියෙන්නෙ අයිතිකරුවන්ගෙ අතේ නෙ. ඒත් නිවැරදි දැනුමක් තියෙන වෘත්තීය මාධ්‍යවේදියෙකුට පුළුවන් වෙනවා, මාධ්‍ය හිමිකාරිත්වය එක්ක කතා කරන්න. මේ විදිහට මේ සිදුවීම වාර්තාකරණය කරනවට වඩා, වෙනස් පැති තියෙනවා. ඒකෙන් මාධ්‍ය ආයතනයට පාඩුවක් වෙන්නෙත් නැහැ, වැඩෙත් කෙරෙනවා කියන එක පැහැදිලි කරන්න ඔහුට පුළුවන් වෙන්න ඕනේ. අනෙක් පැත්තෙන් මාධ්‍යවේදියා වෘත්තිකයෙක්, දැනුවත් අයෙක් කියලා දැනගත්තහම මාධ්‍ය හිමිකරුවා ඔහුත් එක්ක වැඩ කරන්නෙ ප්‍රවේශමෙන්. මොකද ඔහු දන්නවා, ඔහුගෙ ආයතනය නැතත් වෙනත් අවස්ථා මේ මාධ්‍යවේදියට තියෙනවා කියලා.
මාධ්‍යවේදීන් විදිහට කටයුතු කරන්න අවශ්‍ය කරන වෘත්තිකභාවය තියෙන අයගෙන් කීදෙනෙක් අද මාධ්‍යවේදීන් විදිහට වැඩ කරනවද. ඔවුන්ගෙන් බහුතරය කරන්නෙ වෙනත් රැකියා. රජය, මාධ්‍ය සංවිධාන, විශ්වවිද්‍යාල වගේ පොදුවේ මේවට සම්බන්ධ පාර්ශ්ව ඔක්කොම මේකෙ වගකීම ගන්න ඕනේ. ඔවුන් වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගොඩනගන්න සමත් වෙලා නෑ. මගේ යෝජනාව වෘත්තිකයන් බිහිකරන්න ඕනේ. මුලින් නැතත්, වෘත්තියට ආවට පස්සෙ හරි ඔවුන්ට වෘත්තීය අභිමානය, වෘත්තීය ආචාරධර්ම ගැන කියලාදෙන්න ඕනේ. එතකොට ඔවුන් කරන්නෙ මොකක්ද කියලා දැනගෙන රැකියාව කරන්න පටන්ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here