මදූෂ් මරා දැමීමෙන් පසු කුඩු මාෆියාව ඉවරයි : පොලිසිය මදූෂ් මැරුවැයි කී කතාවත් බොරු

මාකඳුරේ මදූෂ් නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා මරා දැමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඇති කොළඹ අපරාධ කොට්ඨාසයෙන් බව බොහෝ දෙනෙකු චෝදනා කළ ද එය කිසිසේත්ම විය නොහැක්කකි. ඒ් කාරණා දෙකක් නිසාය.

එකක් ශ්‍රී ලංකා පොලිසිය කිසිම දිනක මෙවැනි අපරාධ නොකරන නිසාය. ශ්‍රී ලංකා පොලිසිය සහ ධර්ම චක්‍රය නිල ඇඳුමේ පැළඳගෙන සිටින එහි නිලධාරීන් නීතිය අනුවම කටයුතු කරනවා මිස ඊට පිටින් ගොස් නීතිය අතට ගැනීම ඉතිහාසයේ කවරදාකවත්ම සිදු කර නැත. දෙවැන්න නම් කොළඹ අපරාධ කොට්ඨාසය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සිංහල බෞද්ධයකු වීම නිසාය. ඔහු උපසපන් භික්ෂූවක මෙන් ධර්මයට ලැදිය. සිංහල බෞද්ධයෝ නිරතුරුවම බුදුන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයම අනුගමනය කරන්නෝ වෙති. ඔවුහු කිසි කළෙක පවක් අකුසලක් නොකරති. මේ කාරණා දෙක නිසා මාකඳුරේ මදූෂ් මරා දැම්මේ ශ්‍රී ලංකා පොලිසිය විසින් බව කිසිසේත්ම පිළිගත නොහැකිය.

මාකඳුරේ මධූෂ් යනු ශ්‍රී ලංකාවේ සියලුම අපරාධවල නිර්මාතෘය. මාකඳුරේ මදූෂ් මරා දැමීමෙන් පසු සියලු අපරාධවලින් මේ මිහිකත බේරෙන්නේය. මත් උවදුර නතර වන්නේය. අපේ තරුණයෝ පස්පවින් තොර වන්නෝය. මේ උදාර මෙහෙය සිදු කරනු වස් පාතාලයේ පුණ්‍යවන්තයන් කිහිප දෙනකු මාකඳුරේ මදූෂ් වෙඩි තබා මරා දමා තිබේ.

මදූෂ් යනු මේ මාෆියාවේ ඉහළම පුරුක බව දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය. ඒය සත්‍යකි. ඒ් මහතා බොරු කියන චරිතයක් නොවේ.  මදූෂ්ට ඉහලින් වෙන කිසිවෙක් සිට නැත. මදූෂ්ට උදව් කළ 80ක් ගැන ඔහු හෙලිකළායැයි ජනමාධ්‍ය කීවේ පට්ටපල් බොරුවක් විය යුතුය. ඒලෙස සිටියා නම් තෙන්නකෝන් මහතා ඒ් ගැන හෙළිකරනවා නිසැකය.

මදූෂ් මරා දමා රටින් මත් උවදුර අතුගා දැමීමට කෙතරම් උවමනාවක් මදූෂ් මරා දැමූ පාතාලයන්ට ඇත්දැයි කියතොත් ඔවුහු වෙඩි වරුසාවක් එල්ල කළත් ඒ් එකක්වත් පොලිස් නිලධාරීන්ට වදින්නට නොතියන්නට වග බලා ගත්හ. ‘අර වීඩියෝවේ විදියට වෙඩි වරුසාවක් තියලා තියෙනවානේ.එහෙම තිබ්බා නම් මදූෂ් පෙනේරයක් වගේ වෙන්න ඕනනේ. පොලිසියටත් වදින්න ඕනනේ.’ යැයි සමහරු ෆේස්බුක්වල දෙඩෙව්වත් ඒ් පාතාලයන් සිතා බලා කටයුතු කර ඇත. මුලින් මදූෂ් බය කරන්නට මදූෂ්ට සහ පොලිසියට නොවදින ලෙස වටේට වෙඩි තබන්නට ඇත. ඉන් පසු මදූෂ්ගෙන් රට බේරා ගැනීමට මදූෂ්ට වදින ලෙස වෙඩිල්ලක් තියන්නට ඇත. අවසානයේ මීඩියාවලට දැමීමට ඇති තරම් විෂුවල් ගැනීම සඳහා වාහනයට අත්බෝම්බයකින් දමා ගසන්නට ඇත.

‘තමන් බාරයේ සිටි මදූෂ්ට වෙඩි තියලා යනකං පොලිසිය බලං හිටියද? පොලිසියේ 14ක් ඉඳලත් එතන දෙන්නට වෙඩි තියාගන්න බැරිවුණාද? එක්කෙනෙක්වත් කොටු කර ගන්න බැරි වුණාද?’ කියා තවත් සමහරු ෆේස්බුක් එකේ ප්‍රශ්න කරති. මහ රෑ කරුවලේ පොලිසියට මේ අපරාධකරුවන් දෙන්නා නොපෙනෙන්නට සහ හඳුනා නොගන්නට පිළිවන. පොලිසිය වෙඩි තැබුවද ඒ නිසා ඔවුන්ට වදින්නට නැත. පොලිසිය මදූෂ් බේරාගන්නට දිවි පරදුවට තබා උත්සාහ කළ ද ප්‍රතිවිරුද්ධ පාතාලකරුවන් හැංගි හැංගී වෙඩි තබන්නට ඇත. මේ ගැන පොලිසියට දොස් කීම අන්තිම වැරදි වැඩකි.

දැන් මදූෂ් නැත. මින් මතු මෙසිරිලක ‘කුඩ්ඩෝ’ යන නමින් හැඳින්වෙන ජාතියක් දකින්නට ලැබෙන්නේ නැත. ලංකාවට කුඩු ගෙන එන්නට කෙනෙක් නැත. ලංකාවේ පාතාලයක් නැත. ඒ නිසා ලංකාවේ සිදුවන සිදුවීම්වල ඇත්ත ඇති සැටියෙන් පළකරන , අයුක්තියට අසාධාරණයට එරෙහිව නිතරම තම මාධ්‍ය භූමිකාව ඉටු කරන හිරු, දෙරණ, ස්වර්ණවාහිනිය, රූපවාහිනිය, සිරස, ස්වාධීන රූපවාහිනිය වැනි රූපවාහිනී නාලිකාවලට මෙන්ම මව්බිම, දිවයින, අරුණ, ලංකාදීප වැනි පත්තරවලට පළ කිරීමට ප්‍රවෘත්ති නැති වී යන්නේය. ඒ් මාධ්‍යවල මින් මතු කිසි දිනෙක හෙරොයින් ගැන පළ නොවනු ඇත.

මාකඳුරේ මදූෂ් මරා දමා මේ රට මතින් සහ පාතාලයෙන් බේරා ගත් ඒ් පුණ්‍යවන්ත පාතාලයන් දෙදෙනා සොයා ඔවුන් ඇගයීමට ලක් කළ යුතුය. පොලිස් ත්‍යාග අරමුදලින් විශේෂ ත්‍යාග මුදලක් ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතුය. මෙම මදූෂ් මරා දැමුවායැයි පොලිසියට බොරු චෝදනා කළ උදවිය සොයා ඔවුන්ට ද පාඩමක් ඉගැන්විය යුතුය. බොරු චෝදනා ලැබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ මේ මෙහෙයුමට ගිය සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබා දිය යුතුය. කොළඹ අපරාධ කොට්ඨාසය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කළ යුතුය.

එපමණක් නොව වසර ගණනාවක් තිස්සේ මේ රට මතින් මුදා ගැනීමට නොහැකි වූ නිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසිරුවා හැර මත් උවදුර රටින් තුරන් කිරීම උදෙසා මදූෂ් මරා දැමූ පාතාල කණ්ඩායම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට පත් කර එහි අධ්‍යක්ෂ ලෙස මදූෂ්ට වෙඩි තැබූ පුද්ගලයා සොයා පත් කළ යුතුය. එවිට යළි මදූෂ්ලා බිහි නොවනු ඇත. රට යළි කුඩුවලින් පිරුණු තැනක් බවට පත්වීමෙන් වලකිනු ඇත. මදූෂ් මරා දැමීම ගැන ෆේස්බුක් ඒකේ දෝෂාරෝපණය කරන උදවියට හොඳ පාඩමක් ඉගැන්විය හැක්කේ ඒවිටය.

Previous articleBlog : අද කොරෝනා ආසාදිතයින් 368ක්
Next articleමගෙ ලේකම්කම වගේ මාධ්‍යවේදීනුත් කරන්නෙ රැකියාවක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here