ඇඟළුම් සේවකයින්ගෙන් බලෙන් වැඩ ගනී : සේවකයින් බියෙන්

(නිලුක සඳුන් පද්මසිරි )

කොරෝනා තත්ත්වය හමුවේ කටුනායක, වතුපිටිවල ඇතුළු වෙළෙඳ කලාප වල පිහිටි ඇඟළුම් කම්හල්වලත් ඉන් පිටත කම්හල්වලත් සේවකයින් ගැටළු රැසකට මුහුණ පා ඇතැයි ඇඟළුම් සේවකයෝ කිහිප දෙනෙක් Medialk.com වෙත පැවසූහ.

මේ වන විට ඇඟළුම් කම්හල් රැසකින් කොරෝනා රෝගීන් හමුවී ඇතැයි රජයේ ආයතන ප්‍රකාශ කළ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ මෙම පොකුරට සම්බන්ධ ආසාදිතයින් මේ වන විට ක⁣ටුනායක කම්හල් කිහිපයකින් ද, වැලිසර, තිහාරිය, කළගෙඩිහේන, නිට්ටඹුව, පූගොඩ සහ කහතුඩුව ඇතුළු ප්‍රදේශවල පිහිට් කම්හල් කිහිපයකින් ද තහවුරු වී තිබේ.

කොරෝනා වෛරසය මෙලෙස ඇඟළුම් කම්හල් ආශ්‍රිතව පැතිරීම හේතුවෙන් අනෙක් කම්හල්වල බොහෝ සේවකයින් ද බියට පත්ව ඇතැයිද මේ හේතුවෙන් ඇතැම් සේවකයින් තමන්ට ලබාගැනීමට නියමිතව තිබෙන නිවාඩු ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි ද ප්‍රදේශ රැසක කම්හල්වල සේවකයෝ පැවසූහ. මේ හේතුවෙන් සහ විවිධ අසනීප තත්ත්වයන් හේතුවෙන් සේවකයින් කිහිප දෙනකුම නිවාඩු ඉල්ලුවද ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් කම්හල් පරිපාලනය වෙතින් නොලැබුණ බව කටුනායක ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවිකාවක පැවසුවාය.

කටාන ප්‍රදේශයේ එක් කම්හලක සේවකයින් දෙදෙනකු නිවාඩු ඉල්ලීම හේතුවෙන් එම සේවකයින් දෙදෙනා සේවයට එන ප්‍රදේශයේ සියලුම දෙනාට ප්‍රවාහන පහසුකම් අත්හිටුවන බවට අනතුරු ඇඟවූ බව එම කම්හලේ සේවකයෙක් පැවසීය. තව ද නිවාඩු ලබාගන්නේනම් හැමදාටම නිවාඩු ලබාගන්නා ලෙසට කම්හලේ ඉහළ නිලධාරීන් පැවසූ බවද එම සේවකයා කීවේය. ඉන්පසු එම කම්හලේ සියලු දෙනාම නිවාඩු ලබා නොගන්නා බවට වූ පොරොන්දුව මත එම කම්හල් පාලනාධිකාරිය විසින් නැවත ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේ.

මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කම්හලක සේවය කරන නම සඳහන් කිරීමට අකමැති සේවිකාවක පැවසූවේ ” අපි වැඩට යන්නේ බයෙන්. කොහේ කොහේ කොරෝනා තියෙනවාද කියලා අපි දන්නේ නෑ. වැඩට ගියත් ගෙදර එන්නේ බයෙන්. හදිසියේ හරි මට කොරෝනා හැදු⁣ණොත් ⁣මගේ ගෙදර ඉන්න අයත් අවදානමකට වැටෙනවා. මම කැමති නෑ එහෙම වෙනවට. ඒත් නිවාඩු ඉල්ලුවට දෙන්නේ නෑ. නිවාඩු ඉල්ලුවම එක එක ඒවා කියනවා. දිගටම නිවාඩු ගන්න කියනවා. එන්න බැරිනම් ගෙදර ඉන්න කියනවා. අපි මේ කරන්නේ කිරි හින්දා අහක දාන්නත් බැරි උණු හින්දා බොන්නත් බැරි විදියේ වැඩක්. ගෙදරයි වැඩ පොළයි අතර හිර වෙලා අපි හරියට ගිරයට අහු වෙච්ච පුවක්.ගෙඩිය වගේ. ගෙදර ගැන හිතලා නිවාඩු ගත්තොත් අපිට දිගටම ආදායම් මාර්ගය අහිමි වෙනවා. ඒ නිසා කොරෝනා බයත් එක්ක අපි වැඩට යනවා. අපේ අකමැත්තෙන් බලෙන් වගේ වැඩ ගන්නේ. ගොඩක් තැන්වල එහෙමයි”

කටුනායක තත්ත්වය

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් කටුනායක Next, Chiefway, Okaya Lanka, සහ Naigai යන කම්හල් මේ වන විට වසා දමා තිබේ.කටුනායක ආයෝජන කලාපයේ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.මේ සමග පසුගියදා කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලිසිය කටයුතු කළේය. නමුත් මේ වන තෙක් එම කලාපය වසා දැමීමට තීරණය කර නොමැති අතර ඇඳිරිනීතිය හමුවේ වුවද සේවකයින් හට සේවයට වාර්තා කිරීම අනිවාර්ය කර ඇතැයි එම කලාපයේ කම්හලක සේවය කරන සේවිකාවක කීවාය.
කටුනායක ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවූ පසු රජයේ නිලධාරීන් ප්‍රකාශ කළේද ඇඳිරිනීතිය පැනවූවද කටුනායක ආයෝජන කලාපයේ කම්හල්වල සේවකයින්ට සේවයට එන ලෙසත් ඒ සඳහා ආයතන හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ⁣ලෙස භාවිත කරන ලෙසත් ය.

එසේ නමුත් ඇතැම් ඇඟළුම් කම්හල් වෙත යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා සේවකයින් තමන්ගේ පෞද්ගලික වාහන මගින් අදාළ කම්හල් වෙත යාමට කටයුතු කර තිබිණි. නමුත් ඊයේ පොලිසිය නිවේදනය කළේ අද(19) සිට කිසිදු සේවකයකුට තම පෞද්ගලික වාහන භාවිත කරමින් සේවයට වාර්තා කිරීම තහනම් බවයි. ඊට හේතුව ඇතැම් පුද්ගලයන් එම කම්හල් වල ආයතන හැඳුනුම්පත භාවිත කරමින් වෙනත් ගමන් බිමන් යාම නිසා බව ද පොලිසිය පැවසීය. තමන් මුහුණ දෙන මෙවන් ගැටළු හේතුවෙන් කොරෝනා තත්ත්වය පාලනය වන තෙක් තාවකාලිකව එම කලාපය වසා දමන ලෙස එහි සේවකයෝ ඉල්ලා සිටිති.

රොහල්ගත සේවකයින්ට පහසුකම් නෑ

පීසිආර් නිසි පරිදි සිදුවී නැති බවත් එය බරපතළ ප්‍රශ්නයක් බවත් නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවසීය. කොරෝනා ආසාදිත බවට තහවුරු වී රෝහල්ගත කළ සේවයකයින්ට පහුසකම් නැති බවට පැමිණිලි ලැබී ඇතැයි ද ඒ ඒ කර්මාන්ත ශාලාවල සමාගම් වගකීම බාරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එක් සමාගමකට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට එම සමාග⁣මේ නිලධාරීන් අදාළ සේවකයින්ට දුරකථනයෙන් අමතා ‘යූනියන් එකට’ මේවා කියන්නේ ඇයිදැයි බැන වැදී ඇතැයි ඒ මහතා කීවේය. මෙවැනි තත්ත්වයක් යටතේ එලෙස සිදුකිරීම මගින් මානසිකව බිඳවැටී සිටින සේවකයින් තවත් මානසිකව කඩා වැටන බව ඔහු පෙන්වා දුන්නේය.

“මුලින් වහපු කර්මාන්ත ශාලා හතර වහලා අනික් ඒවා තවම වැඩ. කටුනායක බෝඩිම්වල අය ගෙන්වන්නේ නෑ. ගෙවල්වල ඉඳන් එන අය විතරයි ගෙන්වන්නේ. ⁣සමාගම්වලින් ප්‍රවාහන පහසුකම් දාලා තියෙනවා. ඒ වගේම නිරෝධායනය මධ්‍යස්ථාන ප්‍රමාණවත් නෑ. ළඟපාත නිරෝධායන මධ්‍යස්ථාන නැති වීම නිසා දුර පළාත්වලට ගෙනියනවා. ඒ වගේ ගෙනියද්දි යම් අඩුපාඩුකම් වෙලා තියෙනවා.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කලාපය වහන්නේ නෑ – ප්‍රසන්න 

විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ද වෙළෙඳ කලාප වසා දැමීමට අවශ්‍ය නොවන බවයි.

MOH කාර්යාලවලට ප්‍රමාණවත් මිනිස් බලයක් නොමැති බැවින් නිරෝධායන කාර්යයන් සඳහා හමුදාව මැදිහත් වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. වෛරසය පැතිරීම වැළැක්වීමට ඉතා.ඉක්මණින් කටයුතු කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා හමුදාව කැපවී සිටින බවත් ඒ මහතා පැවසීය.

රෝගීන් සඳහා ඇඳන් සහ පහසුකම් සැපයීම, නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැපයීම, ප්‍රතිකාර අවශ්‍යතා සඳහා පහසුකම් සැපයීම සහ කටුනායක කර්මාන්තශාලා සේවකයින් සඳහා විශේෂ වෛද්‍ය උපදේශන ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් දා සාකච්ඡා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

රෝහල්වල ධාරිතාව සහ දිස්ත්‍රික්වල රෝහල් ආශ්‍රිතව ඇති පහසුකම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි සඳහන් වෙයි. සියලු ආයෝජන කලාප ආවරණය වන පරිදි පූර්වාරක්ෂක පියවරයන් ලෙස වෙනම උපායමාර්ගික විධිවිධාන යෙදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇතැයි එම මධ්‍යස්ථානය කීවේය.

පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම මධ්‍යස්ථානය පැවසූවේ ඊයේ (18) දින වන විට පීසීආර් පරීක්ෂණ 67884ක් සිදු කර ඇති බවයි.

Previous articleමාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි
Next articleවිස්සේ වගන්ති හතරක් නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි : සං⁣ශෝධන මගින් අනනුකූලතාවය ඉවත් කළ හැකියි – කථානායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here