පොලිසිය ‘යුක්තිය‘ අවභාවිත කරලා – මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල ක්‍රියාත්මක කරන ‘යුක්තිය‘ නම් මෙහෙයුම මගින් ළමයින්ද ඇතුළුව පුද්ගලයන්ට සිදු කළ බවට වාර්තාවන කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයි ද, පොලිසියේ එම හැසිරීම කොමිෂන් සභාවේ කනස්සල්ලට හේතු වී ඇති බව ද එම කොමිසම සඳහන් කරයි.
මෙය ‘යුක්තිය‘ යන වචනයද වැරදි ලෙස භාවිතය ගැනීමක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කියයි.
මානව හිමිකම් කොමිෂන් සභාව මේ බව සඳහන් කරන්නේ අදාල මෙහෙයුම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. ජනවාරි මස අට වැනිදා මානව හිමිකම් කොමිසම එම මාධ්‍ය නිවේදනය නිකුත් කළේය.
මත්ද්‍රවය මැඩලීම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම රජය සපුරා ගත යුතු වැදගත් අරමුණක් බවට කොමිසමට අවබෝධයක් තිබෙන බව ද, එසේ වුවද ‍‘යුක්තියේ‘ මෙහෙයුම ක්‍රියාත්මක කරලෙන යෑමේදී වද හිංසාවලට ලක්වීම්, අමානුෂීය හෝ අවමන් සහගත සැලකීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ පැමිණිලි රැසක් කොමිසම වෙත ලැබී ඇති බව ද එම කොමිසම සඳහන් කරයි.
පොලිසිය පෞද්ගලික නිවාස සෝදිසි කරද්දී ජනමාධ්‍ය ද කැටුව යන බවට සහ එලෙස ගන්නා වීඩියෝ දර්ශන ජනමාධ්‍ය මගින් ප්‍රදර්ශනය කරන බවට නිරීක්ෂණය කළ බව සඳහන් කරන මානව හිමිකම් කොමිෂන් සභාව එය පෞද්ගලිකත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ද සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් මීට පෙර එනම් 2021 සැප්තැම්බර් 23 වැනිදා කොමිෂන් සභාව විසින් පොලිස්පතිට යොමු කරන ලද උපදෙස් නැවත වරක් අවධාරණය කරන බව ද එම කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ යුක්තිය පසිඳලීමට මූලිකම අභියෝගයක් වී ඇත්තේ දණ්ඩ මුක්තික සංස්කෘථිය බවත්, වදහිංසාව වැනි වැරදි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවන් කළ පිරිසට නීතිය ක්‍රියාත්මක වීම සිදු නොවන බවත් මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

HRCSL Press Notice 08012024 _sinhala-1

(දු.ල.බ)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකය – 1996
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබ් අඩවිය – https://www.hrcsl.lk/
Previous article‘යුක්තිය‘ නීති විරෝධී ; පොලිසියත් බයෙන් ; 2020 ඇල්ලූ දේපොළම යළිත් අල්ලලා
Next articleනීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here