විමර්ශන නෑ : උප නගරාධිපතිගේ බොරු පැමිණිල්ලට ගුටිකෑ පියතුත් අල්ලයි

කඩුවෙල හිටපු උප නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේසලගේ නිවසට යන මාර්ගය හරස් කර ඔහුට සහ ඔහුගේ වාහනයට පහරදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්කි තිබියදී, පොලිසිය උප නගරාධිපතිගේ ව්‍යාජ පැමිණිල්ලක් මත පහරකෑ පියත් නිකේසල ද අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ පැවැති ගෝඨාගෝගම විරෝධතාවයේ සක්‍රීයව සිටි පියත් නිකේසල රාජකාරි නිම වී සිය නිවසට යමින් සිටියදී පසුගිය 10 වැනිදා සවස කඩුවෙල හිටපු උප නගරාධිපති ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක්විය. පියත්ගේ වාහනයට ද මැරයන් විසින් අලාබ හානි කර තිබිණි. ඔවුන්ගෙන් පහර කෑ පියත් නිකේසල තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණි. ඔහු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පියත් නිකේසල රෝහල් ගත වූ පසු පහර දුන් හිටපු උප නගරාධිපතිවරයා ද පියත්ට එරෙහිව පැමිණිල්ලක් කර ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත්වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් උප නගරාධිපතිවරයා 10 වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගත් පොලිසිය පහරකෑමට ලක්වූ පියත් නිකේසල ද උප නගරාධිපතිගේ ව්‍යාජ පැමිණිල්ල මත අත්අඩංගුවට ගත්තේය.
මෙම හිටපු උප නගරාධිපතිවරයා 2022 මැයි මස 09 වැනිදා ගෝඨාගෝගම විරෝධතාවයට පහරදීමට පැමිණි අවස්ථාවේ දී පිරිසක් විසින් බේරේවැවේ ගිල්වා ඇතැයි ද, ඊට අදාල වීඩියෝවක් පියත් නිකේසල පසුගිය 09 වැනිදා ‌ෆේස්බුක්හි පල කර ඇතැයි ද, ඊට උරණ වූ උප නගරාධිපතිවරයා මැර පිරිසක් සමග පැමිණ පියත්ට පහර දී ඇතැයි ද නීතිඥවරු පැවසූහ.
2022 වසරේ දී සිදුවීමට අදාල ඡායාරූප පහත දැක්වේ.
(ඡායාරූපය සමාජ මාධ්‍යවල පලවූවකි.)
අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසිය කඩුුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. එම අවස්ථාවේදී පහරකෑ පියත් නිකේසල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් පියත් නිකේසලට පහරදීම කළ පුද්ගලයා රෝහල්ගත වී ඇතැයි ද, ඔහු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර අධිකරණ වෛද්‍ය වාර්තා කැඳවිය යුතුයැයි කියමින් ඉල්ලීමක් කළේය. ඒ අනුව හිටපු උප නගරාධිපතිවරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කළේය. දෙදෙනාම මේ වන විට රෝහල් ගතව සිටින බැවින් ඔවුන් පරීක්ෂා කර බලා තීන්දුවක් ගැනීම සඳහා පියත්ට එරෙහි නඩුව සහ උප නගරාධිපතිට එරෙහි නඩුව කොළඹ අලුත්කඩේ අංක අට අධිකරණයටත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයටත් යොමු කෙරෙිණි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට පැමිණ පියත් නිකේෂල නිරීක්ෂණය කළ අතර විමර්ශන තවම අවසන් නැති නිසා ඔහුට ඇප ලබා නොදෙන ලෙස  පොලිසිය ඉල්ලා සිටියේය. පියත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක මාධව නන්දසිරි සහ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහත්වරු කරුණු දක්වමින් පහරකෑමට ලක්වූයේ පියත් බව අවධාරණය කළහ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පියත් නිකේසල ඇප මත මුදා හැරීමට නියෝග කළේය. අලුත්කඩේ අංක අට අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මුල්ලේරියාව රෝහලට ගොස් සැකකාර උපනගරාධිපතිවරයා පරීක්ෂා කළ අතර ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් අගතියට පත් පියත් නිකේසලගේ පාර්ශ්වයේ නීතිඥවරු විරෝධය පළ කළහ. නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරු ප්‍රකාශ කළේ පහරදීම සඳහා වාහන දෙකක් පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ පහරදීම සඳහා පැමිණියේ එක් වාහනයක් පමණක් බවයි. සැකකාර උප නගරාධිපතිට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය විරෝධය දැක්වූයේ නැත. ඒ අනුව සැකකාර උප නගරාධිපතිවරයා ද ඇප මත මුදා හරීමට නියෝග කෙරිණි.
උප නගරාධිපතිවරයා ඇතුළු පිරිස පියත්ගේ වාහනය හරස් කර නතර කර ඔහුට පහරදීමට පැමිණෙන අයුරු සහ පහර දෙන අයුරු වීඩියෝ ගත වී තිබිණි. එසේ තිබියදී පහරදීමට පැමිණි සෙසු පිරිස මෙතෙක් අත්අඩංගුවට නොගත් පොලිසිය උප නගරාධිපතිගේ ව්‍යාජ පැමිණිල්ල මත පියත් නිකේසල අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව නීතිඥවරු පවසති. පොලිසිය පුද්ගලයකු අත්අඩංගුවට ගත යුත්තේ සාධාරණ සැකයක් ඇත්නම් පමණක් බවත්, එම සාධාරණ සැකය හේතු පැහැදිලි කළ හැකි සැකයක් විය යුතු බවත්, පියත් අත්අඩංගුවට ගැනීමට අදාලව එවැනි සාධාරණ සැකයක් නැති බවත්, පොලිසිය හරිනම් කළ යුතුව තිබුණේ ව්‍යාජ පැමිණිල්ලක් දැමීම සම්බන්ධයෙන් උප නගරාධිපතිට එරෙහිව තවත් නඩුවක් පැවරීම බවත් නීතිඥවරු සඳහන් කරති.
ඡායාරූපය – පියත් නිකේසල රෝහලේ ප්‍රතිකාර ලබන අයුරු. (2023/05/11 දින ලබාගත් ඡායාරූපයකි)

 

Previous articleපාස්කු චෝදනාපත්‍ර අවුරුදු හතරකට පසු දෙයි ; දේශබන්දුත් ඒ අතර
Next articleමානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here