පාස්කු චෝදනාපත්‍ර අවුරුදු හතරකට පසු දෙයි ; දේශබන්දුත් ඒ අතර

(තරිඳු ජයවර්ධන)
පාස්කු ප්‍රහාරයන් වසර හතරකට පසු එම ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී වගකීම් පැහැර හැරි බවට විමර්ශනවලින් අනාවරණය වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර අනුමත කර එම නිලධාරීන් වෙත යවා තිබේ.
සමාජය හා සාමයික කේන්ද්‍රය සහ MediaLK මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පසු මෙම චෝදනා පත්‍ර නිකුත් කිරීම විශේෂත්වයකි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිලධාරීන් හතරකට යොමු කර තිබූ අතර එම නිලධාරීන් හතර දෙනාගෙන් ඇතැම් නිලධාරීන් තමන් යටතේ සිටින  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට මේ ගැන දැනුම් දී තිබියදී එම නිලධාරීන් එම නියෝග නිසි ලෙස ඉටු කරමින් ආරක්ෂාව ගැන සොයා බලා නැති බවත්, ඔවුන් නිසි ආකාරව කටයුතු කළේ නම් මෙම ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුණු බවත් පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලූ මලල්ගොඩ කමිටු වාර්තාවේ සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු පිරීසක් ද මෙලෙස චෝදනා පත්‍ර යොමු කෙරුණු පිරිස අතර සිටිති.
2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු නිලධාරීගේ රාජකාරි පැහැර හැරීම ගැන නිලධාරීන් 11 දෙනකු සම්බන්ධයෙන් සොයා බලන ලෙස නීතිතිවරයා කළ දැනුම්දීමක් අනුව එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන්නේය. පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ ගැන විමර්ශනය කිරීමෙන් පසු එහි නම සඳහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හැර සෙසු නිලධාරීන් 10 දෙනාට එරෙහිව විනය පියවර ගත යුතු බවට නිර්දේශ කළේය.  එහෙත් චෝදනාපත්‍ර කෙටුම්පත් කර තිබුණේ දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, නන්දන මුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනකු සම්බන්ධයෙන් පමණි. විශේෂ විමර්ශන ඒකකය  චෝදනාපත්‍ර කෙටුම්පත් කර වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ අතර වැඩබලන පොලිස්පතිවරයා ඒවා 2020 ජනවාරි මාසයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේය. කෙසේ වෙතත් ඒ වන විට පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව පර්යේෂණ ආරම්භ කර තිබුණු හෙයින් එම කොමිෂන් වාර්තාව එන තෙක් චෝදනා පත්‍ර ලබා නොදීමට 2020 පෙබරවාරි මාසයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය.
ඉන් පසුව ජනාධිපති කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව සහ වෙළුම් 2021 පෙබරවාරි මස පළමු වැනිදා ජනාධිපතිවරයාට බාර දුන් අතර ඒ් වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසමට තිබූ බලතල ඉවත් කර එම බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා තිබිණි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2021 ජුනි 15 වැනිදා ඊට අදාල චෝදනාපත්‍ර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත එවනු ලැබීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ් කේ සී අතුකෝරල, පොලිස් අධිකාරී එල් එම් සංජීව බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී කේ ඒම් ආර් ඒස් බී කුමාරසේන සහ සහකාර පොලිස් අධිකාරී ඒච් බී ඒස් ඒස් සිසිර කුමාර එම පිරිස වේ.
ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න, පොලිස් පරීක්ෂක ඩී කේ සී නවරත්න, පොලිස් පරීක්ෂක පී ඒස් උපේන්ද්‍ර, පොලිස් පරීක්ෂක ඒ් එම් එස් අබේසිංහ, පොලිස් පරීක්ෂක එම් ඒ් සෙනවිරත්න, උප පොලිස් පරීක්ෂක ඒ එල් ජී ආර් කුමාර, පොලි් සැරයන් සුනිල් ආර්යසිංහ, පොලිස් සැරයන් ආර් ඒස් රාජපක්ෂ, පොලිස් සැරයන් ඒච් එම් ඩී එස් හඳපාන්ගොඩ, පොලිස් සැරයන් එම් ඒම් ඉී නිශාන්ත සහ පොලිස් කොස්තාපල් කේ ජී ඒස් සම්පත් යන පිරිසට වහාම චෝදනාපත්‍ර ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමිසම පොලිස්පතිට දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය ගැන දැනුම්දීම සඳහා 2021 ජුනි මස 18 වැනිදා එවකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදීම ගැන MediaLK ඇමැතිවරයාගෙන් විමසීය. චෝදනා පත්‍ර ලැබුණු බව සහ ඒවා ඉදිරියේදී බාර දෙන බව ප්‍රසිද්ධියේ කීමට එම නිසා ඇමැතිවරයාට සිදුවිය. මේ අතරතුර පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා රාජ්‍ය සේවා කොමිසමට ලිපියක් යවමින් මෙම නිලධාරීන් අපරාධනඩුවල සාක්කිකරුවන් විය හැකි බැවින් චෝදනාපත්‍ර ලබා නොදෙන ලෙස ඉල්ලා තිබුණු අතර ඉන් පසු චෝදනාපත්‍ර ලබාදීමක් සිදු නොවීය.
ඔවුනට එරෙහිව චෝදනා පත්‍ර ලබා නොදීම ගැන තොරතුරු ඉල්ලීම් යොමු කිරීමෙන් පසු එම චෝදනාපත්‍ර අදාල නිලධාරීන්ට බාර දීම සඳහා පොලිස් මූලස්ථානයට පසුගිය සතියේ යොමු කෙරුණු අතර පොලිස් මූලස්ථානය විසින් මීට දින දෙකකට පෙර එම චෝදනා පත්‍ර අදාල නිලධාරීන් වෙත යවා තිබිණි.
මෙම විමර්ශනය ඇරැඹි දිනයේ සිට චෝදනාපත්‍ර නිකුත් කළ දිනය තෙක් කාලය තුල එම චෝදනාපත්‍ර නිකුත් කිරීමට නිර්දේශ වූ නිලධාරීන්ට උසස්වීම් ලබා දී තිබුණු අතර ඇතැම් නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම විශේෂත්වයක් විය.
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිවද විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා නියෝග කළේය. ඔහුට එරෙහිව ද චෝදනා පත්‍ර නිකුත් කළහොත් ශ්‍රී ලංකා පොලිසියේ ජේ‍යෂ්ඨතා ලේඛනයේ මුලින්ම සිටින තිදෙනාට එරෙහිවම විනය කටයුතු සිදුවනු ඇත. ශ්‍රී ලංකා පොලිසියේ ජේ‍යෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වන අතර දෙවැනියට සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකය. දේශබන්දු තෙන්නකෝන් මහතා සිටින්නේ තෙවැනි තැනය.
චෝදනාපත්‍ර ලබා නොදීම ගැන අප විසින් කරුණු අනාවරණය කළ ප්‍රවෘත්ති සහ වීඩියෝ පහත දැක්වේ.
පාස්කු ප්_රහාරයට පොලිසියේ 8දෙනකුට චෝදනාපත්_ර කෙටුම්පත් කරලා – Lankadeepa Online 

මාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්_ර එයි ; දේශබන්දුත් ඒ අතර – MediaLK
පාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය
ප්‍රහාරයට මාස 28ක් ; අපිව බේරන්න ! – පාස්කු චූදිතයෝ ඉල්ලති
පොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?
දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිගෙන් ඉල්ලයි !

 

Previous articleපොලිසිය සාක්කිකරු සැකකරුවකු කරලා – නීතිඥවරයාගෙන් චෝදනා ; අධිකරණයෙන් ඇප
Next articleවිමර්ශන නෑ : උප නගරාධිපතිගේ බොරු පැමිණිල්ලට ගුටිකෑ පියතුත් අල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here