පොලිසියම දෙදරයි ; මාරුව නීති විරෝධී – අජිත් රෝහණගෙන් වීරසූරියගෙන් පැමිණිලි ; අනීතික නියෝග පිටුපස අලස්?

(තරිඳු ජයවර්ධන)
තමන්ට ලබා දුන් ස්ථාන මාරු නීති විරෝධී ස්ථාන මාරුවක් බවත් එබැවින් එම නීති විරෝධී ස්ථාන මාරුව තමන් ක්‍රියාත්මක නොකරන බවත් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා හට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ආරක්ෂා කිරීමේ අරමුණින් නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මැදිහත්වීමෙන් බව දන්වමින් රෝහණ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාට ද ලිඛිත දැනුම්දීමක් කළ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
තමාගේ ස්ථානමාරුව නීති විරෝධී සහ අයුක්තිසහගත බවත්, එනිසා එම ස්ථාන මාරුවට තමන් දැඩි ලෙස විරෝධය පල කරන බවත් දන්වමින් මධ්‍යම පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යවා තිබේ. ප්‍රියන්ත වීරසූරිය මහතා එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ තමාට ලබා දුන් ස්ථාන මාරුව අනුමත නොකරන ලෙසයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කරමින් ඊයේ (25) පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නියෝග නිකුත් කළේය. එම ස්ථාන මාරු නියෝගයේ සඳහන් වුණේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අංක 02/08/එස්ජීඕ/02/2023 දරණ ලිපිය මගින්ලබා දුන් අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු කිරීම් සිදු කරන බවයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබා දී තිබියදී එය ක්‍රියාත්මක නොකරන පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ ලිපිය ලැබී පැය කිහිපයක් ගත වෙන්නටත් මත්තෙන් මෙලස ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමට එරෙහිව පොලිස්පතිවරයාට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට ස්ථාන මාරු ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනකු සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ. නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා බැඳී නැති බවත්, මෙලෙස නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනකු සූදානමින් සිටින බව ද වාර්තාවේ.
පොලිස්පති පුටුවට පත් කිරීමට යෝජනා වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනාගෙන් තිදෙනකුටම ඊයේ ස්ථාන මාරු ලබාදීම විශේෂත්වයකි. එම පස්දෙනාගෙන් ස්ථාන මාරුවීම් ලැබී නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළ නිලන්ත ජයවර්ධනට සහ නීතිපතිවරයා පවා ස්ථාන මාරු කිරීමට යෝජනා කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාට පමණි.
ස්ථාන මාරු ලැයිස්තුවේ සිටින ලලිත් පතිනායක මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතායට 2022 අප්‍රේල් පළමුවැනිදායින් පසු ලැබුණු තුන් වැනි ස්ථාන මාරුව මෙයයි. සෙසු පිරිසද පසුගිය වසර හෝ වසර එක හමාර ඇතුළත ස්ථාන මාරුවීමකට ලක්වූවන් බවත්, පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් වැඩිම කාලයක් එකම ප්‍රදේශයක් භාරව සිටින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට තවමත් ස්ථාන මාරුවක් ලැබී නැති බවත්, ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඔහුට ඉහළින් සිටින සහ එකම දිනක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වූ ලලිත් පතිනායක මහතාට මෙම වසර තුනක කාලය ඇතුළත ස්ථාන මාරු ගණනාවක් ලැබුණු බවත් පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතා කෙටු කාලයක් ඇතුළත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නැගෙනහිර පළාත සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මධ්‍යම පළාත ලෙස අවස්ථා කිහිපයකදීම ස්ථාන මාරු කිරීමට ලක්ව තිබේ.  ඔහු පොලිස් කොමිසමට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙස අත්තනෝමතික ලෙස වරින්වර කරන ස්ථාන මාරු කිරීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ පරිපාලනය බිඳවැටී මහජන විශ්වාසය පලුදු විය හැකි බවයි.
මේ අතර තමන්ගේ ස්ථාන මාරුව නීති විරෝධී සහ අමනෝඥ ස්ථානමාරුවක් බව දැනුම් දෙමින් අජිත් රෝහණ මහතා පොලිස් කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යවරයා අප්‍රේල් 18 වැනිදා පැවැති රැස්වීමකදී තමාට දොස් නැගූ බවයි. ඉන් පසු මීට දින කිහිපයකට පෙර තමා ඔහුගේ කාර්යාලයට කැඳවා දකුණු පළාත පොලිස් පාලනයෙන් හිලිහී ඇති බවට දොස් නැගූ බවත්, දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අපරාධ වාර්තාවීම්, අපරාධ විසඳීම් සංඛ්‍යාෙල්ඛන ආදින සංසන්දනය කර බලා අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍ය තාවය තීරණය කළ හැකි බවත් අජිත් රෝහණ මහතා පොලිස් කොමිසම වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.
තමා ස්ථාන මාරු කිරීමට ගත් තීරණය නීති විරෝධී බැවින්, සහ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට විනයගරුක නිලධාරීන් බැඳී නොමැති බැවින් මෙම ස්ථානමාරුව තමන් ක්‍රියාත්මක නොකරන බව අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතාට යැවූ ලිපියේ දැක්වේ.

මෙම ස්ථානමාරුවීම් නිසා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ ලොකු කතාබහක් ඇතිවී තිබේ. උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුම සඳහන් කළේ මෙම ස්ථානමාරු කිරීම් නිසා පොලිස් නිලධාරීන් තුල අවිනිශ්චිත බවක් ඇතිවී ඇති බවයි.

Previous articleUpdated ; මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දුට චෝදනා
Next articleපොලිසිය සාක්කිකරු සැකකරුවකු කරලා – නීතිඥවරයාගෙන් චෝදනා ; අධිකරණයෙන් ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here