ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා

ජනාධිපති මන්දිරයේ තිබී හොයාගත් රුපියල් එක්කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් කටයුතු කරද්දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද සාගර විලේගොඩ ලියනගේ අතින් අඩුපාඩු සිදුවී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට දැනුම් දුන්නේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් සිදුවූ අඩුපාඩු ගැන ඔහුගේ විනය බලධරයා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පොලිස්පතිවරයා හරහා ලිපියක් යැවීමට බලාපොරොත්තු වන බවත්, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටවුවහොත් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් එම කොමිසමට ලිවීමට බලාපොරොත්තු වන බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කීවේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන අරගලයකින් පසු ජූලි නව වැනිදා ජනාධිපති මන්දිරයෙන් පැන ගිය පසු පුරවැසියෝ විශාල පිරිසක් එම මන්දිරය අත්පත් කර ගත්හ. ජනපති මැදුරේ සඟවා තිබූ රුපියල් එක්කෝටි ගණනක මුදලක් තරුණයන් හතර දෙනකු විසින් සොයාගනු ලැබ එම මුදල් ගණන් කර පොලිස් විශේෂ කාර්ය බලකාය ඉදිරිපිටදී කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දී තිබිණි.
එම සිදුවීමට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇගයීමට ලක්කරමින් මුදල් ත්‍යාග පිරිනමා ඇති බව ද අද කියැවිණි. එම අවස්ථාවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රකාශ කළේ එම මුදල් සොයා දුන් තරුණයන් පිරිස සැකකරුවන් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

මෙලෙස තරුණයන් විසින් සොයා දෙනු ලැබූ මුදල් ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව ස්ථානාධිපතිට බලපෑම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණයෙන් කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වයි.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අතින් සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලියන බව ද අද කියැවිණි.

මෙම මුදල සොයා ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාමරයේ තිබී බවත්, එම මුදල් උපයාගත් ආකාරය හෝ ලැබුණු ආකාරය ගැන විමර්ශනය කළ යුතු බවත් නීතිඥවරු ප්‍රකාශ කළහ. ඒ ගැන විමර්ශන සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

Previous articleවසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග
Next articleනාඋල මරණය – පොලිසිය වෙඩි තැබූ බව සාක්කිකරුවෝ කියති ; සටහන් පොතේ පිටුත් ටිපෙක්ස් කරලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here