පොලිසියේ ඉල්ලීම ඉවතට ඃ අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් කැලණියේදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් සිසුන් 08 දෙනා රිමාන්ඩ් කිරීමට පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
කැලණිය විශ්ව විද්‍යාලයේ සිට කොළඹට පාගමනින් පැමිණ කොළඹ දී රැලියක් පැවැත්වීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (18) වැනිදා සූදානම් කර තිබිණි.
මෙම විරෝධතා පාගමන ගැන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කර තිබුණු අතර එය කැලණිය විශ්ව විද්‍යාලයෙන් සවස 3ට පමණ ආරම්භ විය. ආරම්භක අවස්ථාවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඊට පෙර සිටි සාමාජිකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.
පාගමන ආරම්භ කර කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර දෙස සිට කොළඹ- – මහනුවර ප්‍රධාන මාර්ගයට පිවිසීමෙන් පසු ඔවුන්ට විසිර යන ලෙස පොලිසිය නියෝග කළ අතර පාගමනක් යෑමට අවස්ථාව දිය නොහැකි බව සඳහන් කළේය.
එසේම මෙම පාගමන යාමට නොහැකි වන ආකාරයට ශ්‍රී ලංකා පොලිසියේ කැරලි මර්දන ඒකකය ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් මාර්ගය හරස් කර ඉදිරියට එන්නට වූහ. පොලිසිය මාර්ග හරස් කිරීම නිසා ගමනාගමනයටද බාධා ඇති විය. ඉන් පසු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පලවා හැරීම සඳහා ඔවුන් පසුපස ලුහු බැඳ ගිය අතර විශ්ව විද්‍යාල සිසුහු 08ක් අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිසිය බලය යොදා පාගමන නතර කළ අතර එම පිරිස දළුගමදී පැයකට ආසන්න කාලයක් විරෝධය දක්වූ අතර පසුව උද්ඝෝෂණයට පැමිණි පිරිස අමතමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ කිහිප දෙනෙක් අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා පොලිසිය පසුගිය අගෝස්තු මාසයේ සිට අවස්ථා කිහිපයකදීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පාගමන් කිහිපයකට බාධා කරමින් පහර දුන්හ. පොලිසිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජික හෂාන් ජීවත් අත්අඩංගුවට ගනු ලැබුවේ මීට පෙර අගෝස්තු 17 වැනිදා එම සංගමය කොළඹදී පැවැති විරෝධතාවයකින් පසුවය. එම පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මුලින් පොලිස් අධිකාරීවරයකුගේ නියෝග මත පැය 72ක කාලයක් රඳවාගෙන සිටි අතර පසුව පැය 24ක කාලයක් රඳවුම් නියෝග නැතිව රඳවාගෙන සිටියේය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලබාගත් දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියහ.
රඳවාගැනීමෙන් දින 50කට පසු හෂාන් ජීවන්ත මුදා හැරිණි. මේ වන විට වසන්ත මුදලිගේ සමේ රෝගයකින් පෙළෙමින් සිටින බවත්, තමන් අවසානයට ඔහු සමඟ සාකච්ඡා කිරීමට ගිය ඔක්තෝබර 10 වැනිදා වන විට සති දෙකකට ආසන්න කාලයක් කිසිම ප්‍රශ්න කිරීමක් නැතිව වසන්ත රඳවාගෙන සිටි බවට ඔහු ප්‍රකාශ කළ බවත් නීතිඥ නුවන් බෝපගේ මහතා කීවේය. ඔහු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ත්‍රස්තවාදී ක්‍රියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් හමුවූ අවස්ථාවේ විමර්ශන ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව දැනුම් දුන් බවත් බෝපගේ මහතා සඳහන් කළේය.
වසන්ත සහ සිරිධම්ම – හිමි මුදා හරින ලෙස බල කරමින් පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිස – සොයා ගැනීමට නීතිඥවරුන් කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ සහ වත්තල පොලිසිවලට ගියත් එය අසාර්ථක විය. පසුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දීමෙන් පසු ඔවුන් නැවත දැනුම් දුන්නේ සිසුන් පිරිස වත්තල පොලිසියේ සිටින බවයි. දෙවැනිවර වත්තල පොලිසියට යෑමෙන් පසු සිසුන් සමඟ සාකච්ඡා කිරීමට නීතිඥවරුන්ට අවස්ථාව ලැබිණි.
අත්අඩංගුවට ගත් පිරිස – කැලුම් මුදන්නායක, දිල්ශාන් හර්ෂණ, ශෂික දිල්හාර, විහඟ ලහිරු,අසේල මදුවන්ත, ගිහාන් කුමාර, ෆ්‍රැන්සිස් ජීවන්,කොහාබගනේ සිරිරතන හිමි
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු බවත්තල පොලිසියට රැගෙන ගිය අතර පසුව ඔවුන් අද දින පෑලියගොඩ පොලිසියට යලි රැගෙන යනු ලැබීය. මෙම පිරිස අතර සිටි කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ වෙනත් විරෝධතාවයක් සම්බන්ධයෙන් වෙනත් නඩුවක ද (අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැති විරෝධතාවක් හේතුවෙන් කඩුවල උසාවියේ ඇති නඩුවක) සැකකරුවන් වන බැවින් ඔවුන් රිමාන්ඩ් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කළේය. කෙසේ වෙතත් සියලුම දෙනා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය.
Previous articleපොලිසිය සාමකාමී සැමරුම කඩාකප්පල් කළ හැටි කොමිසමේදී සාක්කි සහිතව දිගහැරෙයි
Next articleකඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු තොරතුරු මුදා හරින්න නියෝග

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here