පොලිසිය සාමකාමී සැමරුම කඩාකප්පල් කළ හැටි කොමිසමේදී සාක්කි සහිතව දිගහැරෙයි

ගාලුමුවදොරදී ඔක්තෝබර 09 වැනිදා පැවති සාමකාමී සැමරුමේදී කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තේ නීතියේ දක්වා ඇති ප්‍රතිපාදන අනුව නොවන බවත්, ඔවුන් කිසිවකුත් වරදක් සිදු කර නැති බවත්, පොලිසිය එලෙස අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවත් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ඊයේ (18) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී ප්‍රකාශ කළේය.
එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වේච්ඡාවෙන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් මත ආරම්භ වූ විමර්ශනයට අදාලව ඊයේ (18) එම කොමිෂන් සභාවේ විමර්ශන හා පර්යේෂණ අධ්‍යක්ෂ සුලාරි ලියනගේ මහත්මිය ඉදිරියේ සාක්කි ලබා ගැනීම සිදු විය.
මෙම අවස්ථාවට නීති සහාය ලබා දෙනු ලැබුවේ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා විසිනි. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති තරිඳු ජයවර්ධන ද, සිදුවීමේ සාක්කිකරුවන් ලෙස උවිඳු රාජපක්ෂ, මොහොමඩ් ෆස්ලි, මෙලනි ගුණතිලක, සත්‍ය චරිත්, නදීෂා තරංගනී, නිරෝෂ් ලසන්ත, අනූ පියසේන සහ රෙබෙකා ඩේවිඩ් ඇතුළු පිරිසක් ද, මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා සමාජය සහ සාමයික කේන්ද්‍රය නියෝජනය කරමින් ෆාතිමා රස්මා ද සහභාගී වූහ.
එහිදී දිවුරුම්පිට සාක්කි ලබාදෙමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කළේ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් ඇතුළු පොලිස් නිලධාරීන් එම සාමකාමී සැමරුමට බාධා කරමින්, විරෝධතාකරුවන්ට පහරදීමට උත්සාහ කළ බවයි.
අරගලයේදී මිය ගිය අය සිහිකරමින් සෑම මසකම නව වැනිදා සැමරුමක් පැවැත්වෙන අතර පසුගිය සැමරුමේදී පොලිසිය පැමිණ එය ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පැත්තේ සිදු නොකර පාරෙන් අනිත් පැත්තට ගොස් සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන් බව කියමින් එය සනාථ කිරීමට අදාල වීඩියෝ දර්ශන ද කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරිණි. ඉන් පසු පාරෙන් අනිත් පසට ගොස් සැමරුම කළ බවත්, අනතුරුව මෙම මාසයේ පොලිසිය ඊට පෙර දැනුම් දුන් ස්ථානයේ සැමරුම කිරීමට සූදානම් වෙද්දි එම ස්ථානයේද සිදු නොකර, විනෝදවීමට පැමිණි පිරිස් වැඩිපුර සිටි ගාලුමුවදොර හෝටලය දෙසට ගොස් සිදු කරන ලෙසට පොලිසිය උපදෙස් දුන් බවත් සාක්කිකරුවෝ ප්‍රකාශ කළහ.
එසේම සැමරුම සඳහා රැගෙන ආ ඉටි පන්දම් ආදියද පොලිසිය පැහැර ගත් බවත්, කාන්තාවන්, ළමයින් ඇතුළු පැමිණ සිටි පිරිසට පොලිසිය හිරිහැර කර ඔවුන් පීඩාවට පත් කළ බවත් කොමිසමේදී කියැවිණි.
වැඩසටහන ආරම්භවීමට පෙර සිට අවසන් වන තෙක් මෙන්ම අත්අඩංගුවට ගත් පිරිස පොලිසියට රැගෙන යාමෙන් පසු තත්ත්වය ගැනත් කොමිෂන් සභාවේදී සාක්කි ලබාදීම සිදු විය.
විශේෂයෙන්ම අවුරුදු 16ක පාසල් සිසුවකු (සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත) අත්අඩංගුවට ගැනීම ගැන සාක්කි ඉදිරිපත් කළ අතර එදිදී ප්‍රකාශ කළේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ මව හේතු විමසද්දී සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සැරපරුෂ ලෙස ප්‍රතිචාර දක්වමින් සිසුවා පොලිසියට බැන්න බව ප්‍රකාශ කළ බවයි. සහකාර පොලිස් අධිකාරීවරයා ජනමාධ්‍යද ඉදිරිපිට එලෙස ප්‍රකාශ කිරීම නිසා සිසුවාට සහ සිසුවාගේ පවුලේ අයට බරපතල අගතියක් වී ඇති බව කොමිසම හමුවේ ප්‍රකාශ කළ සාක්කිකරුවෝ සිසුවා කිසිම අවස්ථාවක එම සිදුවීම්වලට මැදිහත්වී හෝ අඩු තරමේ වචනයක් හෝ ප්‍රකාශ කර නැති බව සනාථ කිරීමට අවශ්‍ය වීඩියෝ සාක්කි ද ඉදිරිපත් කෙරිණි. සිදුවීම ආරම්භයේ සිට සිසුවා අත්අඩංගුවට ගන්නා තෙක් සියල්ල ඔහු සජීවී ලෙස ෆේස්බුක් ඔස්සේ විකාශය කරමින් සිටි නිසා පොලිස් නිලධාරියාගේ ප්‍රකාශය බොරුවක් බව සනාථ කිරීමට හැකියාව ලැබී ඇති බවත්, පොලිසිය ගංජා වැනි දෑ ව්‍යාජ ලෙස දමා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ මෙම සිදුවීම අතර කිසිම වෙනසක් නැති බවත් සාක්කිකරුවෝ ප්‍රකාශ කළහ.
එම සිසුවා එම ස්ථානයේ සිටිමින් කළේ ජනමාධ්‍ය කාර්යභාරයක් බවත්, ඔහු ජනමාධ්‍යවේදීන් සමඟ සිටිමින් සිදුවීම සජීවීව විකාශය කළ බවත්, එම සිසුවා කාලීන සිදුවීම් වාර්තා කරන ෆේස්බුක් පිටුවක් සහ යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන බවත් කී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම නිසා සජීවී විකාශය නතර වීමෙන් සිසුවාගේ අයිතිවාසිකම් මෙන්ම එය නරඹමින් සිටි පිරිසගේ අයිතිවාසිකම් ද කඩවී ඇතැයි සඳහන් කළේය.
මෙම විමර්ශනයේදී සාක්කි ලෙස ලේඛන සහ වීඩියෝ 21ක් සලකුණු කෙරිණි.
මෙම පැවිණිල්ලට අදාලව වගඋත්තරකරුවන් ලෙස පොලිස් නිලධාරීන් 08 දෙනෙකු නමින්ම නම් කර ඇති බව කී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඡායාරූප මගින් තවත් 11 දෙනකු වගඋත්තර කරුවන් කර ඇති බවත්, ඔවුන්ගේ අනන්‍යතාවය පොලිස්පතිවරයා මාර්ගයෙන් තහවුරු කරගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. ඉදිරියේ දී තවත් පිරිසක් ඡායාරූප මගින් වගඋත්තරකරුවන් කරන බව ද දැනුම් දුන්නේය.
නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පොලිසිය සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම ද නීති විරෝධී බවයි. එසේම පොලිසිය පොලිස් ආඥා පනතේ වගන්ති වැරදි ලෙස අර්ථ දක්වන බව උදාහරණ සහිතව නීතිඥවරයා පෙන්වා දුන්නේය. ගාලු මුවදොර පොදු ස්ථානයක් බවත්, ඊට අදාලව නඩු තීන්දු පවා තිබියදී පොලිසිය මෙලෙස කටයුතු කරන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බවත්, රජය කළ යුත්තේ අයිතිවාසිකම් සීමා කිරීම නොව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම බවත් දෙහිඅත්තගේ මහතා පෙන්වා දුන්නේය. මීට පෙර පොලිසිය උද්ඝෝෂණවලට පහර දුන් බවත්, දැන් සාමකාමීව හිටගෙන සිටින අයට ද පහරදීමට පටං ගෙන ඇති බවත් කී නීතිඥවරයා මහජන උද්ඝෝෂණ විසිරුවීම සම්බන්ධයෙන් පොලිසියට මගපෙන්වීමක් ලෙස සුදුසු නිර්දේශ ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.
විමර්ශනයට අදාල තවත් සාක්කි ඇත්නම් ඉදිරිපත් කිරීම සඳහා කොමිසම සතියක කාලයක් පැමිණිලිකරු වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ලබා දුන් අතර එම කාලය ඇතුළත තවත් සාක්කි ඇත්නම් දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

වගඋත්තරකරුවන් ලෙස ඡායාරූප මගින් නම් කිරීමට ඉල්ලා සිටි පිරිස

Previous articleචෝදනා නෑ ; දින 50කට පසු හෂාන් ජීවන්ත නිදහස් කරයි
Next articleපොලිසියේ ඉල්ලීම ඉවතට ඃ අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here