ජෝසප් ගැන නඩුව අහන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ – නීතිඥවරු කරුණු දක්වති

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධිකරණ  නියෝගයක් කඩ කළැයි කියන නඩුව විමසීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය.
ජනාධිපති නීතිඥවරයා ඒ බව ප්‍රකාශ කළේ නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් මෝසමක් මගින් එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
ජෝසප් ස්ටාලින් මහතා ගුරු සංගම් කාර්යාලයේ සිටියදී පොලිස් ජිප් කිහිපයකින් පැමිණි 50කට ආසන්න පොලිස් කණ්ඩායමක් ගුරු සංගම් කාර්යාලයට කඩාවැදී ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලිස් ස්ථානයට රැගෙන ගියේය. පෙරේදා (3) හවස 5.50ට පමණ රැගෙන ගිය ස්ටාලින් මහතා ඊයේ (4) සවස 6 පමණ වන තෙක් කොළඹ කොටුව පොලිසියේ සහ කොම්පඤ්ඤවීදිය පොලිසියේ රඳවාගෙන සිටීමෙන් පසු ඊයේ රාත්‍රී 7ට ආසන්න වේලාවකදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ නිවසට ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු ඊයේ උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියද ඉහළ පොලිස් නිලධාරියකුගේ බලපෑම නිසා ඔහු රාත්‍රිය වන තුරු තබාගෙන සිටි බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
රාත්‍රී කාලයේ මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කළ ද වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් සහ ගුරුවරු ඇතුළු 100කට ආසන්න පිරිසක් නිවස ඉදිරිපිටට පැමිණ සිටියහ. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිති නීතිඥ එම් ඒ සුමන්තිරන්, නීතිඥ ශිරාස් නූර්දීන්, ජයන්ත දෙහිඅත්තගේ, ස්වස්තිකා අරුලිංගම්, ප්‍රබෝධ රත්නායක, සුනිල් වටගල ලක්මාලි හේමචන්ද්‍ර, ජනාක අධිකාරි, අර්මිසා ටීගල්, ඩී එම් දිසානායක, සුරේන් ඩී පෙරේරා,මහීෂා බාල්රාජ්, ඉෂාරා ජයසේන, තිලිණි තාරකා සෙව්වන්දි, මනෝජ් නානායක්කාර, අමිල එගොඩමහවත්ත, ඉන්දුල හේවගේ, ශානිකා සිල්වා, මධු කල්පනා ඇතුළු නීතිඥවරු 50කට අධික පිරිසක් මහේස්ත්‍රාත් නිල නිවසට පැමිණ සිටියහ.
මැයි 28 වැනිදා අධිකරණ නියෝග නොතකමින් උද්ඝෝෂණය කරමින් පොදු දේපොළවලට හානි කළැයි ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අද මෝසමක් මගින් නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥවරුන් පෙන්වා දුන්නේ අධිකරණ නියෝගයක් කඩ කිරීම අධිකරණයට අපහාස කිරීමක් බැවින් එය විභාග කළ හැක්කේ අභියාචනාධිකරණයට බවයි. මහේස්ත්‍රාත් අධිකරණයට එවැනි නඩුවක් විභාග කිරීමේ හැකියාවක් නැතැයි නීතිඥවරු ප්‍රකාශ කළහ.
ඒ අනුව ඇප ලබාදීම හෝ නොදීම සම්බන්ධ නියෝගය ලබන සඳුදා ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
Previous articleමානව හිමිකම් කොමිසමට සැකකරුවන් බැලීමට නොදීම වැරදි පූර්වාදර්ශයක්
Next articleපොලිසිය භාර ඇමැති – දේශබන්දු ගැන පොලිසියෙන්ම විමර්ශන

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here