මානව හිමිකම් කොමිසමට සැකකරුවන් බැලීමට නොදීම වැරදි පූර්වාදර්ශයක්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි වෛද්‍ය පැතුම් කර්නර් හමුවීමට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබා නොදීම වැරදි පූර්වාදර්ශයක් බවත්, එය ව්‍යවස්ථාපිත බලයට අභියෝග කිරීමක් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය වෙනුවෙනු නීතිඥ ඩිලාන් නාලක සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 ඩී සහ 28.2 යටතේ ඕනෑම ස්ථානයක රඳවාගෙන සිටින පුද්ගලයකු බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බලයක් ඇති බවත්, එය වැලැක්වීම වැරදි පූර්වාදර්ශයක් බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.
එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා, මානව හිමිකම් කොමිෂන් සභාවට සැකකරුවන් බැලීමට ඇති අවස්ථාව අවහිර කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ අවධානයට යොමු කරවීමට ලේඛකාධිකාරී නියෝග කළේය.
මානව හිමිකම් කොමිසම මෙම කරුණු දැක්වීම කරනු ලැබුවේ පැතුම් කර්නර් සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදීය. මීට අමතරව නිදහස් මාධ්‍යවේදී වෙරංග පුෂ්පික හමුවීමට ගිය මානව හිමිකම් නිලධාරීන්ටද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය අවස්ථාව සලසාදී තිබුණේ නැත.
පසුගිය 13 වැනිදා බත්තරමුල්ලේ පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයට අදාලව අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
ඔහු හඳුනාගැනීම පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාක්‍ෂිකරු විසින් ඔහු හඳුනාගනු ලැබ තිබිණි.
සැකකරුට ඇප ලබා දීමෙන් විමර්ශන කටයුතු වලට බාධා නොවන බව නිගමන කළ මහේස්ත්‍රාත්වරයා එබැවින් ඔහුට ඇප ලබා දෙන බව ප්‍රකාශ කළේය.
ලබන 25 වැනිදා නැවත නඩුව කැඳවීමට නියමිතය. පැතුම් කර්නර් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අල්සකුලරත්න ප්‍රමුඛ නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.
Previous articleවෙරංග බලන්න මානව හිමිකම් කොමිසමටත් ඉඩ නොදෙයි
Next articleජෝසප් ගැන නඩුව අහන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ – නීතිඥවරු කරුණු දක්වති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here