ශෙහාන් මාලක : මේක පැහැරගැනීමක් වගේ – කාදිනල් හිමි : මේ පාවිච්චි කරන්නෙ අදට වලංගු නැති නීති – ජනාධිපති නීතිඥ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළ ශෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම පැහැරගැනීමක ස්වරූපයක් ගත් බවත්, මෙය සීලාචාර සමාජයකට නොගැලපෙන්නක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙම ක්‍රියාව නිසා ශෙහාන් මාලක තරුණයාගේ මානව හිමිකම් උල්ලංඝනය වූයේ යැයි තමන් සිතන බව ද, මානව හිමිකම් රැකගැනීමට අධිකරණයේ පිහිට ප්‍රාර්ථනා කරන බව ද, ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අතිශයින් කම්පාවට පත්වන බව ද අගරදගුරු හිමියෝ ප්‍රකාශ කළහ.
අගරදගුරු හිමියන් මේ බව ප්‍රකාශ කළේ ශෙහාන් මාලක ගමගේ මහතා අත්අඩංගුවට ගැනීම ගැන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළකරමිනි.
ශෙහාන් මාලක ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි මස 14 වැනිදා පස්වරුවේදී ය. ඔහු තම පෙම්වතිය සමඟ සිටියදී පිරිසක් පැමිණ පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බවත්, ඒ සමඟම ශෙහාන් දුව ගොස් බේරීමට උත්සාහ කළ බවත්, එසේ පැමිණියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බව පසුව ප්‍රකාශ කළ බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු බැලීමට ගිය ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලදී පැවසීය.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ නොවීමත්, එහි චූදිතයන්ට නීතිය ක්‍රියාත්මක නොවීමත් සම්බන්ධයෙන් 2021 වසරේ අගෝස්තු මාසයේදී ශෙහාන් මාලක ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කරුණු අනාවරණය කළේය. ඉන්පසු ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා දින 08ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර, අටවැනි දිනයේ ඔහුගේ ජංගම දුරකතනය ද අධිකරණ නියෝගයක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කර තිබිණි.
පානදුරදී ශෙහාන් මාලක මහතා බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරා ඇත්තේ ඔහු අවස්ථා 08කදීම එම දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබාදුන් පසුබිමක බව ඔහුගේ නීතිඥවරු කීහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් MediaLK කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ශෙහාන් මාලක මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ කරුණු ගැන විමර්ශනවල උධෘත නීතිපතිවරයාට යොමු කළ පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලැබුණු බවයි. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී චෝදනාව කියා දී නොතිබුණු අතර, පසුව දැනගන්නට ලැබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 යටතේ වූ වරදකට අදාළ ව ඔහු අත්අඩංගුවට ගත් බවයි.
මේ සම්බන්ධයෙන් MediaLK වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් මෙම වගන්තියට අදාළ රජයට එරෙහිව ජනතාව කුපිත කිරීම, උසිගැන්වීම යන වරද බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමයේ ඇතිකරන ලද්දක් බවයි. ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කළ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය මගින් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රැසක් මගින් ද ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙවැනි සීමාවන්ට යටත් කළ නොහැකි බව පිළිගෙන ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමන් කළ අදහස් දැක්වීමක් ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර විමර්ශනයක් කළ අතර, දින කිහිපයක් සිරිල් ගාමිණී පියතුමන් ද එම දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත්තේය.
අත්අඩංගුවට ගත් ශෙහාන් මාලක මහතා 15 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
සමාජ මාධ්‍යවල හෝ වෙනත් මාධ්‍යවල අදහස් දැක්වීම සම්බන්ධයෙන් මීට පෙර කිහිපදෙනකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කර තිබුණු අතර, පිරිසක් අත්අඩංගුවට ද පත්වූහ. එසේම මනෝරම වීරසිංහ නම් සමාජ මාධ්‍යවල ක්‍රියාශීලිව අදහස් පළ කරන්නකු බ්‍රහස්පතින්දා (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleතලාතුඔය පොලිසියෙන් රියදුරකුට පහරදීලා ; පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
Next articleදත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් එක්සත් ජාතීන්ට ලිපියක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here