යුක්තිය වසර 20ක් පමාවෙයි : 2001 නඩුවක් විභාගයට දින දෙයි

(තරිඳු ජයවර්ධන)
අවුරුදු 18ක තරුණියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවක් දිනපතා විභාගයට ගැනීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය අද (7) නියෝග කළාය.
මෙම සිදුවීම 2001 වසරේ අගෝස්තු මාසයේ සිදුවී ඇති අපරාධයකී. මෙය දීර්ඝ කාලයකට පෙර සිදුවීමක් බැවින් තවදුරටත් පමා නොකර දිනපතා විභාගයට ගත යුත බව අද (7) නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
ඒ අනුව මාර්තු මස 15, 16 සහ 24 වැනිදා නඩු විභාගය සඳහා නියෝග කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා මහත්මිය, නඩුවේ සාක්කිකරුවන්ට එම දිනවලදී අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙස ද නියෝග කළාය.
2001 වස⁣⁣රේ අගෝස්තු මාසයේ 12 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තලවාකැලේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියක පල්ලිය⁣ට ගොස් එමින් සිටියදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපයෝජනය කළ බවට විත්තිකරුවන් දෙදෙනකුට එ⁣⁣රෙහිව මෙම නඩුව පවරා තිබේ.
2001 වස⁣රේදී සිදුවූ සිද්ධියට අදාලව ලඝු නොවන නඩු විභාගයෙන් පසු 2004 වස⁣රේදී නීතිපතිවරයා විසින් නුවරඑළිය මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
ඊට අදාලව මහාධිකරණයේ වසර 10ක කාලයක් නඩුව විභාග වූ අතර 2015/12/28 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ මධ්‍යම පළාත්බද නුවරඑළිය මහාධිකරණ විනිසුරු ඊ ඩබ්ලිව් එම් ලලිත් ඒකනායක මහතා චූදිතයන් දෙදෙනා එම තරුණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර පළමු චෝදනාවට චූදිතයන් දෙදෙනාටම වසර 05ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමක් ද, දෙවැනි සහ තෙවැනි චෝදනා සඳහා චූදිතයන් දොදනාට වසර 18ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ද නියම කළේය.
එම තීන්දුවට එ⁣රෙහිව චූදිතයන් දෙදෙනා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව නඩු විභාගයට පෙර චූදිතයන්ගෙන් නඩු විභාගය කළ යුත්තේ ජුරි සභාවක් ඉදිරිපිටද නැතිද යන්න විමසූ බවට මහාධිකරණ නඩුගොනුවේ සඳහන්ව නැති බව තීරණය කළ අභියාචනාධිකරණය, මහාධිකරණ තීන්දුව අහෝසි කර නැවත මුල සිට නඩුව විභාගයට ගත යුතු බවට තීන්දු කර තිබේ. ඒ අනුව නැවත නඩු විභාගයක් සඳහා ⁣නුවරඑළිය මහාධිකරණට යොමු කර තිබිණි.
ඉන් පසු 2019 පෙබරවාරි මස 04 වැනිදා නඩුව කැඳවූ අතර ඒ වන විට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලෙන කටයුතු කළේ මෙම නඩුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්වූ විනිසුරුයා විය. ඒ අනුව ඒ මහතා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් විනිසුරුවරයකු පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව අද (07) නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය (අපයෝජනය වූ තරුණිය) වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා නඩු විභාගය සඳහා සාක්කි ලබා දීමට අගතියට පත් පාර්ශ්වය සූදානම් බව දැනුම් දුන්නේය.
අපරාධය සිදුවූ කාලය සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය මෙය දිනපතා විභාගයට ගත යුතු යැයි තීන්දු කළාය. ඒ අනුව මාර්තු මස 15, 16 සහ 24 වැනිදා මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය.
එවකට 18 හැවිරිදි තරුණියක වූ අපයෝජනයට ලක්වූ තරුණිය දැන් 39 වැනි වියේ පසුවන තිදරු මවකි.
Previous article‘හිජාස්ගේ දේශනය ගැන අවධානයෙන් නොසිටි නිසා ඇතැම් දෑ මතක නෑ’ – සාක්කිකරු
Next articleතලාතුඔය පොලිසියෙන් රියදුරකුට පහරදීලා ; පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here