සිරකරු අයිතිවාසිකම් කමිටුවට මානව හිමිකම් සම්මානයක්

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ‘මහනුවර මානව හිමිකම් කාර්යාලය’ සංවිධානය වාර්ෂිකව පවත්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇගයීමේ සම්මාන උළෙල පසුගිය දා (08) මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාම උත්සව ශාලාවේදී පැවැත්විණි.
බන්ධනාගාර ගතව සිටින රැඳවූවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ සහ අරගල කළ පිරිස් ඇගයීම මෙවර වැඩසටහනේ අරමුණ වී තිබිණි.
සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ දකුණු ආසියාතික නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂිකා නීතිඥ දිනුෂිකා දිසානායක මහත්මියයි. විශේෂ ආරාධිතයන් ලෙස කුමාර ඉලංගසිංහ ඇන්ග්ලිකන් නිකායේ කුරුණෑගල පදවියේ හිටපු රදගුරුතුමාද, නාවල විමලසාර වත්තේගම විද්‍යාදර්ශ පරිවේනාධිකාරී හිමියද, ඇන්ටන් ශ්‍රියාන් සරණාගත, සංක්‍රමණික, බන්ධනාගාර ගතවූවන් රෝහල් සහ සංචාරක ජාතික කතෝලික කොමිසමේ අධ්‍යක්ෂ පියතුමා ද සහභාගී වූහ.
‘මහනුවර මානව හිමිකම් කාර්යාලය’ සංවිධානය මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ 09වැනි වරට වන අතර මීට පෙර 38 දෙනකු සම්මානයට පාත්‍ර කර තිබේ.
මෙවර මෙම වැඩසටහනේ දී බන්ධනාගාර රැඳවූවන්ගේ සුබසාධනය සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ අරගලය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූයේ නීතිඥ සේනක පෙරේරා ප්‍රමුඛ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
නීතිඥවරුන්, සමාජ ක්‍රියාකාරීන්, හිටපු රැඳවූවන් ඇතුළු පිරිස්වල එකතුවෙන් සැදුම්ලත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වසර හතකට ආසන්න කාලයක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින පිරිස්වල මෙන්ම පොලිස් රැඳවූම් බාරයේ සිටින රැඳවූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද නිරන්තරයෙන් අරගල කරන සංවිධානයකි.
වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 වසරේ කරන ලද ලැයිස්තුගත ඝාතනවලට සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීම උදෙසා සිරකරු අයිතිවාාසිකම් සුරැකීමේ කමිටුව දීර්ඝ සහ නොනවතින අරගලයක් කළේය. සුදේශ් නන්දිමාල් ඇතුළු එම අපරාධයේ ඇසින් දුටු සාක්කිකරුවෝ ද මෙම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ඉදිරිපෙල අරගලකරුවෝ වෙති. වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තු ගත ඝාතනවලට එරෙහිව මෙම සංවිධානය ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන සැකකරුවෝ දෙදෙනක් අත්අඩංගුවට පත්වූහ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක එම් රංගජීව නෙවමාල් සහ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ලමාහේවා යන එම චූදිතයන්ට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් හමුවේ අධිචෝදනා ගොනු කළ අතර දීර්ඝ නඩු විභාගයකින් පසු එහි තීන්දුව හෙට (12) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හමුවීමට පටන් ගැනීමත් සමඟ බන්ධනාගාරතුල රැඳවූවන්ට කොවිඩ් ආසදනය වීම වැලැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ අතර ඒ සඳහා නිසි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස රැඳවූවන් රැසකට කොවිඩ් ආසාදනය විය.
මෑතකී සිදුවූ ප්‍රසිද්ධ සිදුවීම් වන මහර බන්ධනාගාරයේ රැඳවූවන් ඝාතනය, ලොහාන් රත්වත්ත අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තර්ජනය කිරීම ඇතුළු සිදුවීම් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැදිහත්වීම් සිදුකර තිබේ.
එලෙස කළ මැදිහත්වීම් වෙනුවෙන් මහනුවර මානව හිමිකම් කාර්යාලය සංවිධානයේ විශේෂ සම්මානයට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පාත්‍ර විය. සම්මානය බාරගැනීම සඳහා නීතිඥ සේනක පෙරේරා, නීතිඥ අචලා සෙනෙවිරත්න, නීතිඥ ප්‍රබෝධ රත්නායක, සුදේශ් නන්දිමාල් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. සම්මාන ප්‍රධානයේදී ඔවුන් මල්මාලා දමා පිළිගනු ලැබුවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන රුකී ප්‍රනාන්දු සහ සම්පත් සමරකෝන් ඇතුළු පිරිසක් විසිනි. මීට පෙර සම්මාන උළෙලවල්වලදී ඔවුන් ද සම්මානයට පාත්‍රිවී තිබේ.
ඊට අමතරව බන්ධනාගාරවල රැඳවූවන්ගේ සුබසාදනය වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ කැපවීමෙන් කටයුතු කළ ඇලෙක්සැන්ඩර් මොල්ලිගොඩ කන්‍යා සොයුරිය අනුස්මරණය කරමින් විශේෂ සම්මානයක් ද පිරිනැමුණු අතර එය බාරගනු ලැබුවේ කන්‍යාසොයුරියගේ සහෝදරයා වන සුසිල් මොල්ලිගොඩ මහතා විසිනි.
ඇලෙක්සැන්ඩර් මොල්ලිගොඩ කන්‍යාසොයුරිය
1940 අප්‍රේල් මස 29 වැනිදා උපත ලද ඇලෙක්සැන්ඩර් මොල්ලිගොඩ ක්‍යාසොයුරිය 2020 නොවැම්බර් මස 23 වැනිදා ස්වර්ගස්ථ වූවාය. එංගලන්තයේ දී හෙදියක ලෙස අධ්‍යාපනය හදාරා ඇති ඇය 90 දශකයේ අග භාගයේ දී පමණ ශ්‍රී ලංකාවට පැමිණ සිරකරුවන් හා දුප්පතුන් මූලික කර ගෙන තම මෙහෙය ඉටු කළාය.

ගාල්ල හා බූස්ස සිරකඳවුරු වල සිරගතව සිටි රැඳවූවන්ගේ දුක සැප සතිපතා සොයා බලා ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය සපයාදීමට මෙන්ම දඩ මුදල්, ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකිව වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල ජීවත්වූවන් වෙනුවෙන් මුදල් එකතු කර එම මුදල් ගෙවා ඔවුන් නිදහස් කළ අවස්ථා රැසක්ද ඇති බව සම්මාන ප්‍රධානෝත්සවයේදී මහනුවර ‘මානව හිමිකම් කාර්යාලය’ සංවිධානය හේතු පාඨ දක්වමින් සඳහන් කළේය.
නිවැසියන් බැලීමට නොඑන රැඳවියන්ගේ එදිනෙදා වුවමනා එපාකම් සොයා බැලීමටත්, නිවැසියන්ට ඔවුන් ගැන දැනුම් දීමටත් ඇය නිරතුරුවම වෙහෙස වූවාය. බන්ධනාගාරවල රැඳවූවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාදනය ගැනද ඇය නිතරන්තරයෙන් සොයා බැලුවාය. 2017 වර්ෂය පමණ වන විට ඇයගේ කටහඬ සම්පූර්ණයෙන්ම පාහේ ඇයට අහිමි වී ගිය ද රැඳවියන් වෙනුවෙන් ඇයගේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඇය සමත් වූ බව සම්මාන උළෙලේදී කියැවිණි.
සම්මාන උළෙලට එරෙහි විරෝධය
මෙම සම්මාන උළෙල සඳහා විශාල පිරිසක් සහභාගී වූහ. නැටුම් ගැයුම් වලින් සමන්විත වූ උත්සවය මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණද, ඊට එරෙහිව පොලිසිය උසාවි නියෝගයක් ලබා ගැනීම නිසා පැවැත්වීමට නොහැකි වී තිබිණි.

පසුගිය 08 වැනිදා උත්සවය පැවැති ස්ථානය ඉදිරිපිට පුද්ගලයෝ 10 දෙනෙක් පමණ විරෝධතා පුවරු අතැතිව සටන් පාට කියමින් සිටියහ. ඔවුන් ප්‍රකාශ කළේ දළදා මාලිගාවට බෝම්බ ගැසූවන්ගේ පවුල්වලට සම්මාන ලබාදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර ඇති බවයි. එම විරෝධතාවේ සිටි පිරිස අතර ළමයින් දෙදෙනකු ද සිටිනු දක්නට ලැබිණි. ‘මාලිගා ත්‍රස්තවාදී ප්‍රහාරයේ වැරදිකරුවන් මැරුණු අහිංසක ජනතාවද?’, ‘ත්‍රස්තවාදීන් සමරනතුරු විදුහල්පති නිහඬ වුණේ ඇයි?’, ‘කොටින්ට මහනුවරට එන්න ඉඩ නොතබමු’ ආදී පාඨ විරෝධතාකරුවන්ගේ අත වූ බෝඩ්වල තිබිණි.
ඔවුන් උත්සවය ආරම්භ වී පැයක් පමණ යන තුරු සිට පිටව ගියහ.
සම්මාන ලාභියෝ 38ක්
‘මහනුවර මානව හිමිකම් කාර්යාලය’ සංවිධානයේ පළමු සම්මාන උළෙල පැවැත්වූයේ 2008 වසරේදීය. එවකට මහනුවර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. එම උළෙලේදී ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා, ජීවනී මාටිං කන්‍යා සොයුරිය, හිලරි සුරවීර, ක්ලොටිල්ඩා පෙරේරා, රුකී ප්‍රනාන්දු, ගුණවතී, ඇන්ටන් පෙරේරා, ඩිංගිරිබණ්ඩා, සුරංගි කුමාරි, පද්මා පෙරේරා, මාරි ඇලන්, ජේසුදාසන් රීටා, ලලිත් රාජපක්ෂ යන 13 දෙනා සම්මානයට පාත්‍රවූහ.
2009 වසරේ සම්මාන උළෙල පැවැත්වා ඇත්තේ එවකට අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කළ පාලිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. එම වසරේදී වී යෝගේෂ්වරන් පියතුමා, ඇලෙක්සැන්ඩර් කන්‍යාසොයුරිය, අමිත ආරියරත්න, ජයන්ති දන්දෙනිය, රනිල් කුමාර, ඉන්ද්‍රා කුමාරි, එස් ජීවරත්නම් සහ යමුනා සඳමාලි යන පිරිස සම්මානයට පාත්‍රවූහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපතිව සිටි ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති 2011 වසරේ සම්මාන ප්‍රධානෝත්සවයේදී ජෙයබාලන් ක්‍රෝස් පියතුමා, සබ්‍රා සොයුරිය, සුරංගිකා රණවීර, ඇන්තනී ක්‍රෝස් සහ ගයාශානි මධුෂිකා යන පිරිස සම්මාන ලැබූහ.
2015 වසරේදී සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වූයේ හිටපු මහාධිකරණ විනිසුරු පී බී වරාවැව මහතාගේ ප්‍රධානත්වයෙනි. එම උත්සවයේදී ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා, හෙලන් ලැම්බට් සොයුරිය සහ මාලනී සේරසිංහ යන පිරිස සම්මානයට ප්‍රාත වූ අතර 2016 වසරේදී මරීසා ද සිල්වා, ටී රමේෂ් කුමාර් සහ රෝහිත ලියනගේ යන පිරිස් සම්මානයට පාත්‍ර වූහ.
2017 වසරේදී නිකෝලා එම්මානුවෙල් පියතුමාද, අර්මිසා ටීගල්, චමිල බණ්ඩාර යන පිරිස් ද, 2018 වසරේදී මහනුවර අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයන් පිරිසක් ද, මාබෙල් රුද්‍රිගෝ සොයුරියද, සම්පත් සමරකෝන් මහතා ද සම්මාන ලැබූහ.
(ඡායාරූප – කෞෂල්‍යා නන්දසේන)
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleපොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට කැඳවයි
Next articleවැලිකඩ බන්ධනාගාරයේදී තෝරාගත් රැඳවූවන් ඝාතනය කළ බව සනාථ වෙයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here