පොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට කැඳවයි

ජනාධිපතිවරයාට අපහාස වන ප්‍රකාශයක් සිදු කිරීම හෝ හුවමාරු කිරීම කළ නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා දිවයින පුවත්පතට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද ඒ මහතා ගෙන්වා ප්‍රශ්න කළ බව එහි ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය පැවැත්විණි.
කොමිසම හමුවේ පෙනී සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එවැනි ප්‍රකාශයක් තමා නොකළ බව සඳහන් කරමින් දිවයින පුවත්පතේ කර්තෘවරයාට ලිපියක් යොමු කළ බව ද ඔහු කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව උපුටා දක්වමින් ජනවාරි 03 වැනිදා දිවයින පුවත්පත මෙම ප්‍රවෘත්තිය වාර්තා කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර නැත්නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබා දෙන ලෙස කොමිෂන් සභාව ඔහුට දැනුම් දුන්නේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම ප්‍රකාශය නීතියට පටහැනි බවට හා භාෂණයේ හෝ ප්‍රකාශනයේ නිදහසට කරන බලපෑමක් බවට සමාජයේ ලොකු කතාබහක් ඇති විය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම පරීක්ෂණය පවත්වයි.

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here