ගෑස් ප්‍රශ්නය ; ලිට්‍රෝ-ලාෆ් ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇතිවී තිබෙන ගැටලුව ගැන විමර්ශනය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඇතුළු ආයතන හතරක ප්‍රධානීන්ට හෙට (17) උදෑසට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි යොමු කර තිබේ.
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති, ලාෆ් ගෑස් පීඑල්සී සමාගමේ සභාපති, කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා එලෙස කැඳවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.
MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරකවරයා සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිලි දෙකක් අනුව මෙම විමර්ශනය ආරම්භ වී තිබේ.
විමර්ශනයේ පළමු දිනයේදී පාරිභෝගික සේවා අධිකාරිය, ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය යන ආයතන කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පලකළ වාර්තාව පහත දැක්වේ.
”ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන කළ පැමිණිලි දෙකක් පසුගිය 09දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී කැඳවනු ලැබීය.
පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් වන ඉඳුනිල් උස්ගොඩ ආරච්චි සහ එම්.එච්.එම්.ෆසීර් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර, වගඋත්තරකාර ආයතන වන පාරිභෝගික සේවා අධිකාරිය, ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් එම ආයතනවල වගකිවයුතු නිලධාරීහු පිරිසක් ද පැමිණ සිටියහ. පැමිණිල්ල විමර්ශනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන වෛද්‍ය එම්.එච්.නිමල් කරුණාසිරි සහ අනුෂයා ශම්මුගනාදන්, අධ්‍යක්ෂවරුන් වන සුලාරි ලියනගම සහ නිහාල් චන්ද්‍රසිරි, විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාල් වීරසිංහ සහ විමර්ශන නිලධාරීන් පිරිසක් ඉදිරියේ ය.
පැමිණිල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ නියෝජිතයන් කරුණු දක්වමින් ගෑස් සිලින්ඩර ආශ්‍රිතව වූ පිපිරීම් ගැන වගකිවයුතු ආයතන තම වගකීම් පැහැර හැර ඇති බව පෙනී යන නිසා ඒ ගැන විමර්ශනය කරන ලෙසත්, මෙවැනි සිදුවිම් යළි නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටියහ.
වෙනත් පාරිභෝගික භාණ්ඩවල දවටනයේ නිෂ්පාදිත දිනය, ඇසුරුම් කළ දිනය සහ අඩංගු ද්‍රව්‍යවල ප්‍රමාණ ප්‍රදර්ශනය කරනවා සේ ම ගෑස් සිලින්ඩරවලද අදාළ තොරතුරු ඇතුළත් ලේබලයක් ප්‍රසිද්ධ කිරීමට නිර්දේශ කරන ලෙසත්, පැමිණිල්ලට අදාළ ව ලිට්‍රෝ සමාගම ද වගඋත්තරකරුවෙකු කරන ලෙසත් පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ. ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් වාර්තා වූයේ කුමන කාලයක සිටදැයි මානව හිමිකම් කොමිෂන් සභාව වගඋත්තරකරුවන්ගෙන් විමසා සිටි අතර, පාරිභෝගික අධිකාරියේ පාර්ශ්වය ප්‍රකාශ කළේ මහජනයා විසින් පැමිණිලි කිරීමට පෙර පසුගිය අප්‍රේල් මාසයේ සිට ම ගෑස්වල සංයුතිය වෙනස් කර තිබීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බවයි.
ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන මානව හිමිකම් කොමිසම ප්‍රශ්න කළ අතර, පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ලිට්‍රෝ සහ ලාෆ් සමාගම්වලට එරෙහිව නඩු පවරා ඇති බයි. මේ සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාසයේ ගැසට් නිවේදනයක් පවා පළ කළ බව එම ආයතනය කීවේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ ගැන දීර්ඝව ප්‍රශ්න කළ අතර, ඊට අදාළ ඇතැම් තොරතුරු ඉදිරිපත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට සහ අදාළ රාජ්‍ය අමාත්‍යංශයට නොහැකි විය.
වර්ණ මුද්‍රා ක්‍රමය මගින් අලුතින් නිකුත් කළ ගෑස් සිලින්ඩර හඳුනා ගත හැකි බව පාරිභෝගික සේවා අධිකාරිය සහ රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දුන්නේය. වර්ණ ක්‍රමය ගැන ජනතාව හරි හැටි දැනුවත් වී නොමැති බැවින් අනතුරුදායක සහ අනතුරුදායක නොවන සිලින්ඩර හඳුනා ගැනීම ගැන නිසි ආකාරයට කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අදාළ ආයතනවලට නිර්දේශ කළේය. හානිවලට වන්දි ගෙවන ක්‍රමවේයක් සකස් කරන ලෙසත් මානව හිමිකම් කොමිසම මෙහිදී දැනුම් දුන්නේය.
මෙම නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සතියක් තුළ දැනුම් දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට සහ රාජ්‍ය අමාත්‍යංශයට දැනුම් දෙන ලද අතර, ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටළුව සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මේ වන තෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සතියක් ඇතුළත ලිඛිත කරුණු දැක්වීමක් කරන ලෙසත් කොමිසම දැනුම් දුන්නේය.”
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleමරණ දඬුවම නියම වූ 9ක් නිදහස් : ‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග යවාගෙන!’
Next articleදින හතකින් ලොහාන් අත්අඩංගුවට නොගත්තොත් පොලිස්පතිට නඩු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here