වචනෙ කොහොම වුණත් සමාජයෙන් තමයි රෝගීන් වාර්තාවෙන්නේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

(ශාලික විමලසේන)

මිනුවන්ගොඩ සිදුවීමෙන් පසු පළමු, දෙවැනි සහ තුන්වැනි ආශ්‍රිතයන්ගේ සම්බන්ධතා මත කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් හමුවන බවත්, එයින් අදහස් වන්නේ වචනයේ අර්ථය කෙසේ වෙතත් සමාජයෙන් රෝගීන් වාර්තා වීම බවත් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

විවිධ පාර්ශ්ව ප්‍රකාශ නිකුත් කිරීමේදී මීට වඩා අධ්‍යයනයක් කළ යුතු බව ද ඔහු අවධාරණය කර සිටී.

ලේකම්වරයා සමග පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත පළ වේ.

ප්‍රශ්නය : වගකිවයුතු පාර්ශ්වවලින් හරියට උත්තරයක් නොලැබෙන ප්‍රශ්නයක් තමයි, සමාජයෙන් කොවිඩ් රෝගීන් හම්බෙනවද-නැද්ද කියන එක. මොකක්ද ඇත්ත…?

මෙතැනදි පැහැදිලිව මූලාශ්‍රයක් තියෙනවා. හඳුනාගෙන තියෙන ආකාරයට මිනුවන්ගොඩ සිද්ධිය කියන්නෙ ලංකාවෙ ඇති වුණු 33 වැනි කොවිඩ් පොකුර. 1,600 කට වැඩි පිරිසක් මේ පොකුර නිසා වෛරස් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. ඒකයි මෙතැනදි අදාළ පාර්ශ්ව සමාජ පැතිරීමක් නැහැ කියලා කියන්නෙ මං හිතන විදිහට. ඒත් අපිට පේනවා, ඇතැම් ස්ථානවල හුදෙකලා විදිහට රෝගීන් හම්බෙනවා. සමහර විට පළමු, දෙවැනි නෙමෙයි තුන්වැනි ආශ්‍රිතයන්ගේ සම්බන්ධතා මත. ඒකෙන් පේන්නෙ තවත් තැන්වලින් මේ වෛරසය හම්බෙන්න පුළුවන් කියන එක. ඒක නිසා ඒ කරුණ විතරක් සලකා බැලුවත් කියන්න ඕනෙ, මේක පිළිබඳව මීට වඩා අධ්‍යයනයක් කරලා ඒ වගේ ප්‍රකාශ කරන්න ඕනෙ කියන එක. වචන භාවිතය කොහොම වුණත්, දැනට සමාජයෙන් තමයි රෝගීන් වාර්තාවෙන්නෙ. පැතිරීමක් තියෙනවා.

ආසාදිතයන් හෝ නිරෝධායනයට යොමු කරන පුද්ගලයන් ආරක්ෂක අංශ මගින් බලහත්කාරයෙන් අදාළ ස්ථානවලට රැගෙන යෑම්, ඒ තත්ත්වයන්ට විරෝධය දැක්වීම් වාර්තා වෙනවා. ක්ෂේත්‍රයේ ජනතාව එක්ක වඩාත් සමීපව කටයුතු කරන කණ්ඩායම විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ තත්ත්වය කොහොමද දකින්නෙ…?

අපිටත් ඒ ගැන ගැටළුවක් තියෙනවා. විශේෂයෙන්ම මේ රෝග නිවාරණය කියන්නෙ තාක්ෂණික කාරණයක් මත පදනම් වූ විෂයයක්. ආරක්ෂක අංශ පහුගිය වතාවෙ වගේම මේ වතාවෙත් දැඩි කැපවීමකින් මේ තත්ත්වයට මුහුණ දෙනවා. ඔවුන්ගේ ඒ කැපවීම අවතක්සේරු කිරීමක් නෙමෙයි. ඒත් ගැටළුවක් තියෙනවා. පහුගිය අවස්ථාවෙ අපිට මතකයි, නිසි ක්‍රමවේදවලින් තොරව ආසාදිතයන් සමග වැඩ කරන්න ගිහින් සුදුවැල්ලේ නාවික හමුදා පොකුරක් ඇති වුණා. අපි හිතනවා, යම් ආකාරයේ තාක්ෂණික නොවන, ඇඟේ හයියට කටයුතු කරන්න ගියොත් මේ අවස්ථාවෙත් ගැටළු මතුවෙන්න පුළුවන් කියලා.

අනෙක් පැත්තෙන් මේ සම්බන්ධීකරණය සම්බන්ධයෙන් අපිට ගැටළු කීපයක් තියෙනවා. ඔක්තෝබර් 04 වැනිදා තමයි මේ පොකුර ගැන මුලින්ම වාර්තා වුණේ. අපි මුලින්ම ඒ බස් රථවල ගිය අය ඇතුළු සමීපතමයන් හඳුනාගත්තා. ඊට පස්සෙ හමුදාපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අංශත් ඒකට මැදිහත් වුණා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අපි සාම්පල ලබාගැනීම ආරම්භ කළා. එතැනදි අපි දැක්කා, හදිසි තීරණ.

විශේෂයෙන්ම පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව තැන්-තැන්වලට ජනතාව ඒකරාශී කළා. මේ වැඩේදි අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහත් වික්ෂිප්තියට පත්වුණා. මොකද, නිරෝධායනයට ලක්කරලා, සාම්පල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටපු අයත් මේ තැන්වලට එකතු කළා. වාර්තා ආවට පස්සෙ ඔවුන්ගෙන් ඇතැමෙක් පොසිටිව් බව වාර්තා වුණා. ඒ කියන්නෙ කොවිඩ් රෝගීන්. ඊළඟට නිරෝගී අයත් හිටියා. මොවුන් සියලුදෙනාම එකට තමයි නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනයන්න කටයුතු කළේ. මේකෙන් ජනතාව භීතියට පත්වුණා.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යාවල පරස්පරතා ගැනත් කතාබහක් ඇති වුණා…?

මේකෙ මරණ ප්‍රමාණය අඩු වුණත්, පැතිරීමේ වේගය ඉතාම වැඩියි. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කරන්නෙ වාර්තාව ආවට පස්සෙ ප්‍රතිඵලය නෙගටිව් නම් අදාළ පුද්ගලයාව නිවස තුළම දින 14 ක් නිරෝධායනයට ලක්කරනවා. රෝග ලක්ෂණ මතුවුණු තත්ත්වයක් තිබුණොත්, අවශ්‍ය කටයුතු කරනවා. නමුත් මේ විදිහට හදිසියේ කටයුතු කිරීමෙන් වුණේ ගැටළු කීපයක් මතුවීම. ජනතාව අවදානමට පත්වීම වගේම සෞඛ්‍ය අංශවල තොරතුරු සම්බන්ධයෙන් පවා මේකෙන් ගැටළු මතු වුණා. සෞඛ්‍ය අංශ සතු තොරතුරුවල නිරෝධායනය වෙමින් සිටින අයවත් මෙතැන්ට කැඳෙව්වා. ඒත් ඒවා ගැන සෞඛ්‍ය අංශ හරියට දැනුවත් කළේ නෑ. මේක කාගෙවත් ඇඟේ හයියට කරන්න බෑ. කාටවත් ලකුණු දාගන්න කරන්නත් බෑ. මොකද මේක බරපතළ වගකීමක්. මේක සාමූහික වගකීමක්. ඇතැම් ප්‍රධානීන් මාධ්‍ය ඉදිරියේ කියන්නෙම අපි කළා, අපි කරනවා කියලා. නමුත් බිම් මට්ටමේ ඉන්න ජනතාව දන්නවා, ඇත්ත මොකක්ද කියලා. ගැටළු මතුවෙන්නෙ කොහොමද කියලා. ඒ ගැටළු ඇත්තටම නොවිය යුතු තත්ත්වයන්.

කොතැනින්ද මේ ගැටළුව පටන්ගත්තෙ, සියලු පාර්ශ්ව කොවිඩ් මර්දන බලකා නියෝජනය කරනවා…?

පසුගිය මාස හතරක කාලය තුළ, මිනුවන්ගොඩ සිද්ධියට කලින් ලංකාවෙ කොවිඩ් කියලා එකක් තිබුණද කියලවත් මතක නැති විදිහට හැමෝම කටයුතු කළේ. ඉහළම ප්‍රධානීන්ගේ සිට හැමෝම ඒකට වගකියන්න ඕනෙ. ඉන්දියාවෙ ලැව් ගින්නක් වගේ මේක පැතිරෙන කොට, අපි ඒ සංඛ්‍යා දිහා බලමින් අධිමානසික තත්ත්වයක හිටියා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හැම වෙලාවකම කිව්වා, මේක ඕනෑම වෙලාවක යළිත් මතුවෙන්න පුළුවන් කියලා, සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා. දේශපාලන පක්ෂ, ඒ ප්‍රධානීන් ජනතාව අතරට ගිහින්, සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා අපි දැක්කා. ජනතාවත් සාමාන්‍ය තත්ත්වයෙන් වැඩ කරන්න ගත්තා. ජනතාව අර නායකයන්ව පූර්වාදර්ශ බවට පත්කර ගත්තා. ඒකෙන් තමයි සාක්කුවට ගිය මාස්ක් එක, බිමටම වැටුණෙ.

අනෙක තමයි, ඔය සංවිධාන ව්‍යුහය. කොවිඩ් කමිටුව මාස ගාණකින් රැස්වුණේ නෑ කියලා මාධ්‍යවලින් අපි දැක්කා. අපිට මේක ගේමක්ම නෑ වගේ තත්ත්වයක තමයි අපි හිටියෙ. සෞඛ්‍ය අංශ මොන උපදෙස් දුන්නත් ඒවා ජනතාව අතරට ගියෙ වෙනස් විදිහට. වෙනස් පූර්වාදර්ශත් එක්ක. මේ වගේ තත්ත්වයක් තියෙද්දි තමයි, මිනුවන්ගොඩ පොකුර මතු වුණේ. එතැනදි ඔක්කොම අවුලක් බවට පත්වුණා. පොලිසිය පාර්ශ්වයෙන් එකක් කියනවා. හමුදාව පැත්තෙන් වෙන එකක් කියනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් ගත්තොත්, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්තයා පහුගිය වෙලාවෙ විශාල කාර්යභාරයක් කළා. එතුමා නැති අඩුව සෞඛ්‍ය අංශයට බරපතළ විදිහට දැනුණා. තවමත් දැනෙනවා. ඒ නිසාම සෞඛ්‍ය අංශයෙන් වෙන්න ඕනෙ මැදිහත්වීමේ අඩුවක් දකින්න ලැබුණා. සරලම භාෂාවෙන් කිව්වොත් කොටන් අදින අලි සහ පෙරහැරේ යන අලි වෙන් වුණා. මිනිස්සු දකින්නෙ පෙරහැරේ යන අලි. ඔය විදිහට තමයි සම්බන්ධතාව කැඩිලා, ඔය ගැටළු මතු වුණේ.

Previous articleමාමඩුව කැලයට තෙවැනි වරටත් ගිනි තියලා ; සැකකරුවෝ නිදැල්ලේ
Next articleකොවිඩ් රෝහල් 10ක් පිරිලා : රෝහල් 6ක ධාරිතාව ඉක්මවා රෝගීන් 171ක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here