අපරාධ සැකකරුවන් වූ බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන ඉල්ලීම විසිවෙයි

තොටළඟ අරුණ නම් එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඔවුන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

මෙම සිද්ධියට යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයාගේ සෘජු සම්බන්ධතාවක් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කිරීමෙන් පසු නීතිඥවරයා මෙම ඉල්ලීම කළද මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කළාය.

දුරකතන විශ්ලේෂණ වාර්තා සහ සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ද,  ක්‍රීඩකයා පැහැරගැනීම, වදහිංසා කිරීම, ඝාතනය කිරීම සහ මළසිරුර කැලණි ගඟට දැමීම යන ක්‍රියාදාමයට මෙහි ප්‍රධාන සැකකරු වන කෝප්‍රල් සුසන්ත පෙරේරාට මෙම ලුතිතන් කර්නල්වරයාගේ ඇති සෘජු සබඳතාවක් ඇති බවට මේ වන විට  අනාවරණය වී තිබෙන බව දපොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පුද්ගලයා ඝාතනය කර දින දෙකකට පසු යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා සියලු සැකකරුවන් ගෙන්වා උපදෙස් පංතියක් පවත්වා ඇති බවට හා ඝාතනය අගය කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත්  පොලිසිය කීවේය.

ක්‍රීඩකයා පැමිණි යතුරුපැදිය මෝදර යුද හමුදා කඳවුරට රැගෙන ගොස් කොටස්වලට ගලවා පෝර උරවල දමා කැළණී ගඟට දමා තිබියදී කිමිදුම්කරුවන් යොදවා එම යතුරුපැදිය ගොඩ ගත් බව ද පොලීසිය අධිකරණයට දැනුම්  දුන්නේය.

සැකකාර ලුතිතන් කර්නල්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ සංජය ධනවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා ඇතුළු හමුදා නිලධාරීන් බුද්ධි අංශයක රාජකාරි කරන බැවින් බන්ධනගාරය තුළ ඔවුන්ට ආරක්ෂාව ලබාදීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නිලධාරීන් සිදුකර ඇත්තේ බුද්ධි මෙහෙයුමක් නොවන බවයි. ඝාතනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන බැවින් තමා කිසි විටෙකත් එවන් නියෝගයක් නිකුත් නොකරන බව   මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වූ පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි  (37) ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන අතර මිය ගිය ක්‍රීඩකයාගේ සිරුර මෝදර කාක දූපතට ගොඩ ගසා තිබියදී අගෝස්තු 20 වැනිදා සොයා ගැනිණි.

මාධ්‍යවේදීන් වන කීන් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, හිටපු කර්කෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් ද මීට පෙර හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනිණි.

Previous articleඅලින් මුදාහැරීමට මහේස්ත්‍රාත් දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි
Next articleඋද්ඝෝෂණය නිරීක්ෂණය කරන්න මානව හිමිකම් කොමිසමත් යයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here