නිරෝධායන ගැසට්ටුව එයි : නිසි බලධාරියාට ලොකු බලයක් : නියෝග කැඩුවොත් මාස හයක් හිරේට

(නිලූක සඳුන් පද්මසිරි)

නිරෝධායන නීති යටතේ කොවිඩ්-19 රෝගී ප්‍රදේශ තුළ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

නිසි බලධාරීයාට වැඩි බලයක් පවරමින් මෙම ගැසට්ටුවේ නියෝග සකස් කර ඇති අතර ⁣යම් රෝගී ප්‍රදේශයක ව්‍යාපාර ස්ථාන, ආයතන ඇතුළු පොදු ස්ථානවල කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු නීති, සංචරණ සීමා, නිරෝධායන කටයුතු සහ ප්‍රවාහන කටයුතු වැනි කරුණුවලට අදාළ නීති මෙමගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නීති කඩ කරන පුද්ගලයන්ට රුපියල් 10000කට නොවැඩි දඩයකුත් මාස හයක සිරදඬුවමකුත් යන දඩුවම් දෙකම හෝ එක දඩුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට නව සංශෝධන එක්කරමින් මෙම ගැසට්ටුව නිකුත් කර තිබේ. මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය වැනි කරුණු ඇතුළත් කරමින් නිරෝධායන නීති ගැසට්ටුව නිකුත් කරන ලෙස වෛරසයේ පැතිරීම ලංකාවේ ආරම්භ වූ කාලයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු බොහෝ පිරිස් ඉල්ලා සිටියහ. නමුත් මෙම ගැසට්ටුව හෝ නිකුත් කෙරුණේ මෙරට කොරෝනා වසංගයත ආරම්භ වී මාස හතකට වඩා අධික කාලයකට පසුවය.

පොදු ස්ථානය යනු

මෙම ගැසට්ටුවේ පොදු ස්ථානය අර්ථ දක්වා ඇත්තේ පහත පරිදිය.

“ ‘පොදු ස්ථානය’ යන්නෙන් අයිතිවාසිකමක් වශයෙන් හෝ අන්‍යාකාරයෙන්, ගෙවීමක් සිදු කිරීමෙන් හෝ ගෙවීමක් කිරීමෙන් තොරව හෝ ආරාධනයක් ඇතිව හෝ නොමැතිව ජනතාවට ප‍්‍රවේශය ඇති යම් ස්ථානයක් අදහස් වේ.”

අලුතින් වගන්ති 09ක්

මෙම ගැසට්ටුව මගින් නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට නව වගන්ති 09ක් එක් කර තිබේ. කොවිඩ්-19 වෛරස රෝගී ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය, සංචරණ සීමා පැනවීම, රෝගය පැතිර යන ප්‍රදේශවල කටයුතු කිරීම, නිරෝධායන කටයුතු, අත්‍යවශ්‍ය සේවා සැපයීම, අනෙක් ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම සහ ප්‍රවාහන කටයුතු සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් එම වගන්තිවල අන්තර්ගත වෙයි.

මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට අලුතින් එක් කෙරුණු පළමු වගන්තිය වන 90 වැනි නියෝගයේ සදහන් වන්නේ මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙනි. ඒ අනුව කොවිඩ්-19 රෝගී ප‍්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින සෑම කෙනකුම හෝ වෙනත් කෙනකු සමග සමීප වීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම කෙනෙකුම ම සෑම අවස්ථාවක දී ම මුව වැස්මක් පැළඳ සිටිය යුතුය (අ වගන්තිය ).

එහි (ආ) වගන්තිය අනුව තැනැත්තන් දෙදෙනකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතු ය.

91 නියෝගය

91 නියෝගයේ (අ) වගන්තිය අනුව කොරෝනා රෝගී ප‍්‍රදේශයක් තුළ සිටින තැනැත්තන්ගේ සංචරණය සීමා කිරීම සදහා නිසි බලධරයාට බලය හිමිවෙන අතර එහි (ආ) වගන්තිය අනුව රෝගී තැනැත්තකු බවට සැක කරනු ලබන යම් තැනැත්තකු ප‍්‍රතිකාර සඳහා හෝ නිරෝධායන කාර්ය සඳහා රෝහලකට, නිරීක්ෂණ ස්ථානයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයෑමට සහ ඒ සදහා නියෝග කිරීමට බලය හිමිවෙයි.

එහි (ඇ) වගන්තිය අනුව නිසි බලධරයා විසින් සමස්ත ශ‍්‍රී ලංකාව සඳහා නිශ්චය කරනු ලැබිය හැකි ආකාරයට බීජෞෂණ කාලසීමාව නොඉක්මවන කාලයක් සඳහා රෝගය වැළඳී ඇති බවට සැක කරනු ලබන යම් කෙනෙකුට ස්වකීය නිවස තුළ,පරිශ‍්‍රය තුළ හෝ පදිංචි ස්ථානය තුළ ස්වයං නිරෝධායනය වන ලෙස විධාන කිරීමට බලය හිමිවෙයි.

රෝගී ප්‍රදේශවල සංචරණය (92 නියෝගය)

පුද්ගලයින්ගේ සංචරණය සීමාකිරීමෙන් පසුව (91 නියෝගයට අනුව) සෑම තැනැත්තකුම විසින් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිණිස නිසි බලධරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් කාලසීමාවක් සඳහා ස්වකීය නිවස තුළ, පරිශ‍්‍රය තුළ හෝ පදිංචි ස්ථානය තුළ රැඳී සිටිය යුතුවේ. එම කාලසීමාව තුළ දී යම් පුද්ගලයකු රෝගී ප්‍රදේශයකට ඇතුල්වීම හෝ ඉන් පිටවීම, රෝගී ප‍්‍රදේශයක් තුළ ඇති යම් පොදු ස්ථානයකට ගමන් කිරීම, ප‍්‍රවාහන කටයුතු කිරීම හෝ ඇතුල්වීම, රෝගී ප‍්‍රදේශයක් තුළ ගමන්කිරීම නොකළ යුතුය.

නිසි බලධරයා විසින් අවසර ලබා දී ඇත්නම් මිස එම කාලසීමාව ඇතුළත යම් තැනැත්තකු විසින් රෝගී ප‍්‍රදේශයක් තුළ ජනතාව වෙත කිසිදු ආයතනයක්, ව්‍යාපාරික ස්ථානයක් හෝ වෙනත් ඊට සමාන පරිශ‍්‍රයක් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැත.

අත්‍යවශ්‍ය සේවා සදහා අවසරය

93 නියෝගය යටතේ යම් රෝගී ප‍්‍රදේශයක ජාතික ආරක්ෂාව හෝ මහජන සෞඛ්‍ය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යවන්නා වූ අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් යම් සේවාවක් සපයනු ලබන යම් ආයතනයක්, සේවා ස්ථානයක්, සුපිරි වෙළෙඳ සැලක්, වෙළෙඳ සැලක්, බිහිවෙළෙඳ පොළක් හෝ වෙනත් යම් ව්‍යාපාරික ස්ථානයක් මෙහෙයවීම හෝ ක‍්‍රියාත්මක කිරීම සඳහා නිසි බලධරයා විසින් අවසර දෙනු ලැබිය හැකිය.

අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේදී නීති

අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් යම් සේවාවක් සපයනු ලබන යම් ආයතනයක හෝ සේවා ස්ථානයක සේවායෝජක විසින් හෝ එ් ආයතනය හෝ සේවා ස්ථානය භාරව සිටින තැනැත්තා විසින් එම සේවාවන් පවත්වාගෙන යාමේ දී 94 නියෝග යටතේ පහත සදහන් අයුරින් කටයුතු කළ යුතුය.

(අ) නිසි බලධරයා විසින් නියම කරනු ලබන යම් වේලාවක් ඇතුළත යම් පරිශ්‍රයක් තුළ සිටිය හැකි බවට අවසර දී ඇති උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගත යුතුය

(ආ) එම ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව වැස්මක් පැළඳ සිටින බවට සහතික විය යුතුය

(ඇ) තැනැත්තන් දෙදෙනකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යනු ලබන බවට සහතික විය යුතුය

(ඈ) ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේ ම ශරීර උෂ්ණත්වය මැන බලනු ලබන බවට සහතික විය යුතුය

(ඉ) ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල්වන සෑම තැනැත්තකු ම සඳහා සබන් සහ විෂබීජනාශක දියර සමගින් ප‍්‍රමාණවත් පරිදි අත් සේදීමේ පහසුකම සලස්වනු ලැබිය යුතු අතර ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල්වන සෑම තැනැත්තකු ම එසේ එම ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව ඔවුන්ගේ අත් සෝදනු ලබන බවට සහතික විය යුතුය

(ඊ) ආයතනයට හෝ සේවා ස්ථානයට ඇතුල්වන සෑම තැනැත්තකුගේ ම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යා යුතුය

(උ) නිසි බලධරයා විසින් කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් යම් රෝග වැළැක්වීමේ පියවරවලට අනුකූලව ක‍්‍රියා කරනු ලැබිය යුතුය.

95 නියෝගය

95 නියෝගය අනුව කොවිඩ්-19 වෛරස රෝගී ප‍්‍රදේශයක අත්‍යවශ්‍ය සේවාවක් හෝ වෙනත් යම් සේවාවක් සපයනු ලබන යම් සුපිරි වෙළෙඳ සැලක, වෙළෙඳ සැලක, බිහිවෙළෙඳ පොළක හෝ වෙනත් යම් ව්‍යාපාරික ස්ථානයක අයිතිකරු හෝ එහි කාර්යභාර යම් තැනැත්තකු හෝ විසින් පහත පරිදි කටයුතු කළ යුතුය.

(අ) නිසි බලධරයා විසින් වරකට එකී පරිශ්‍රය තුළ සිටිය හැකි බවට අවසර දී ඇති උපරිම තැනැත්තන් සංඛ්‍යාව නොඉක්මවිය යුතුය

(ආ) එවැනි පරිශ‍්‍රයක් වෙත ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දීම මුව වැස්මක් පැළඳ සිටින බවට සහතික විය යුතුය

(ඇ) තැනැත්තන් දෙදෙනකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යනු ලබන බවට සහතික විය යුතුය

(ඈ) පරිශ‍්‍රයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේ ම ශරීර උෂ්ණත්වය මැන බලනු ලබන බවට සහතික විය යුතුය

(ඉ) එවැනි පරිශ්‍රයකට ඇතුල්වන තැනැත්තන් සඳහා සබන් සහ විෂබීජනාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි අත්සේදීමේ පහසුකම සලස්වනු ලැබිය යුතු අතර එවැනි පරිශ‍්‍රයකට ඇතුල්වන සෑම තැනැත්තකු ම එසේ පරිශ‍්‍රයට ඇතුල්වීමට පෙරාතුව ඔවුන්ගේ දෑත් සෝදන බවට සහතික විය යුතුය

(ඊ) නිසි බලධරයා විසින් කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් යම් රෝග වැළැක්වීමේ පියවරවලට අනුකූලව ක‍්‍රියා කරනු ලැබිය යුතුය.

ඇතුළුවීමට අවසර නැති අවස්ථාවක්

යම් තැනැත්තකුගේ ශරීර උෂ්ණත්වය නිසි බලධරයා විසින් නිශ්චය කරනු ලබන ශරීර උෂ්ණත්වයට වඩා වැඩි වන අවස්ථාවක දී එම තැනැත්තාට 94 වන සහ 95 වන නියෝගවල නිශ්චිතව දක්වා ඇති පරිදි සේවා ස්ථානය වෙත හෝ පරිශ‍්‍රය වෙත ඇතුල්වීම සඳහා අවසර ලබා නොදිය යුතු බවට 96 වැනි නියෝගයේ සදහන් වෙයි.

පොදු ප්‍රවාහන කටයුතු

රෝගී ප‍්‍රදේශයක පොදු ප‍්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන යම් මෝටර් වාහනයක රියැදුරු, කොන්දොස්තර සහ හිමිකරු විසින් මගීන් දෙදෙනකු අතර නිසි බලධරයා විසින් නිශ්චය කරනු ලබන සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යනු ලබන බවට සහතික විය යුතු බවටත් නිසි බලධරයා විසින් කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් යම් රෝග වැළැක්වීමේ පියවර සමග අනුකූලව ක‍්‍රියා කරනු ලැබිය යුතු බවටත් 97 වැනි නියෝගයේ සදහන් වෙයි.

98 නියෝගය

නිසි බලධරයා විසින් කොවිඞ්-19 රෝගී ප‍්‍රදේශයක සංචරණ සීමාවන් ඉවත් කර ඇති අවස්ථාවක දී, පොදු ස්ථානයකට හෝ වෙනත් යම් තැනැත්තකු සමග සමීපස්ථ වීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයකට ඇතුල්වන සෑම තැනැත්තකුම හෝ රැස්වීමක්, සම්මන්ත‍්‍රණයක් හෝ එවැනි සමාන මහජන එකතුවීමක් සැලසුම් කරනු ලබන හෝ සංවිධානය කරනු ලබන සෑම තැනැත්තකු ම හෝ අත්‍යවශ්‍ය සේවා ඇතුළු සියලූ සේවා ලබා ගන්නා සෑම තැනැත්තකු ම නිසි බලධරයා විසින් කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් යම් රෝග වැළැක්වීමේ පියවරවලට අනුකූලව ක්‍රියා කළ යුතු බව 98 වගන්තියේ සදහන් වෙයි.

Previous articleවිශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිට නීතියට පිටින් පොලිසියේ 06ක්
Next articleප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු ලැබුණේ නෑ – පූජිත්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here