විනිසුරුවරුන්ට බලපෑම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි !

(නීතිඥ සුනිල් වටගල)
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන රටක දැකිය හැකි මූලික කුළුණු තුනකි. එනම්, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. එහෙත්, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ප්‍රජාතන්ත්‍රවාදය බිඳදමමින් පවතින අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි යම්තාක් දුරකට හෝ බලාපොරොත්තු තබා ගත හැකිව ඇත්තේ, අධිකරණය මත ය. විශේෂයෙන් විධායකය මඟින් මහජනතාව වෙත සිදු වන අකටයුතුකම් හමුවේ මෑත කාලයේ දී යම් තාක් දුරකට හෝ ජනතා අයිතිවාසිකම් රැකගැනීමට හැකි වූයේ අධිකරණයේ මැදිහත් වීම මත ය.
පොලිසියේ උත්සාහය සහ අධිකරණයේ තීරණය
මෑත කාලවකවානුව තුළ ගොවි අරගල, කම්කරු අරගල, ශිෂ්‍ය අරගල සහ අනෙකුත් අරගල විශාල ප්‍රමාණයක් පැනනැඟිණි. එම අරගල අතර වැටුප් විෂමතාව මුල් කර ගත් ගුරු සටන කැපීපෙනෙන අරගලයක් විය. එහි දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ ගුරු සංගම් මූලික කරගනිමින් නැතහොත් ස්වාධීනව ගුරුවරුන් සංවිධානය වී මූලික අරගලයට සහයෝගය ලබා දෙනු ලැබිණි. එකී උද්ඝෝෂණ රැල්ල මැඬපැවැත්වීමේ ක්‍රමයක් ලෙස ආණ්ඩුවේ මැදිහත් වීම මත පොලිසිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය යටතේ සහ 98 වන වගන්තිය යටතේ ඉල්ලීම් කරමින් මහපාරේ සාමකාමී උද්ඝෝෂණ තහනම් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණවලින් ඉල්ලා සිටියේය.
ඉතා සීමිත අවස්ථාවල දී හැරෙන්නට දිවයිනේ සෑම මහේස්ත්‍රාත්වරයකුම පාහේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) (ආ) යන අනුව්‍යවස්ථා විසින් ආවරණය කෙරෙන අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේත්, සාමකාමී රැස්වීමේත් නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති බැවින්, අදාළ ඉල්ලීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සේ සලකා එකී ඉල්ලීම් ඉවත දමනු ලැබී ය.
විශේෂයෙන්ම පසුගිය අගෝස්තු 06 වන දා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉදිරියේ ගුරු උද්ඝෝෂණය නතර කිරීමට පොලිසියෙන් කරන ලද ඉල්ලීම එතුමා විසින් ඉවත දමන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියේ විෂයපථය ආක්‍රමණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස විස්තර කරමිනි.
හකුළා ගත් ආණ්ඩුවේ වුවමනාව
ඉහත කරුණු මධ්‍යයේ ආණ්ඩුවේ වුවමනාව ඉටු නොවූයෙන් උද්ඝෝෂණය කළ ගුරු සංගම් ක්‍රියාධරයන් උද්ඝෝෂණ නිම වූ වහාම මඟ රැක සිට හෝ ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින්, ඔවුන් බන්ධනාගාරගත කිරීමට හෝ නිරෝධායනයට යොමු කිරීමට හෝ නැතහොත් දෙකම සිදු කරන ලෙස පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම් ද ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ආණ්ඩුවේ වුවමනාව හකුළා ගැනීමට සිදු වූ බවත් අපි දකිමු.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තුනක්
අධිකරණය විසින් එසේ ආපසු හරවනු ලැබුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිපියක් මත පදනම්ව යැයි කියමින්, 2021 ජූලි මස 06 වැනි දිනැතිව නිකුත් කරන ලද පොලිස්පතිවරයාගේ ලිපියයි. එම ලිපිය පොලිසිය භාර ඇමතිවරයා විසින් ද සෑම මාධ්‍ය සංදර්ශනයක දී ම පෙන්වනු ලැබිණි’ එකී අනීතික අත්අඩංගුවට ගැනීම් සහ බාධා කිරීම් යන තත්ත්වයන් තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද මහජනයා දැනුම්වත් කිරීම්වස් ඒ සඳහා සෘජුව මැදිහත් වීමට සිදු විය. ඒ සඳහා ඔවුන් පදනම් කර ගත්තේ 2021 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චය කරන්නට යෙදුණු තීන්දු තුනකි. එකී තීන්දුවල හරයාත්මක කරුණු මෙසේ ය:
“ආණ්ඩුවලට හා දේශපාලන පක්ෂවලට, ප්‍රතිපත්තිවලට සහ වැඩසටහන්වලට සහාය දීම හෝ විවේචනය කිරීම ප්‍රජාතාන්ත්‍රික ජීවිතයේ මූලිකාංග වේ; එම විරෝධාකල්ප ඉවසීම පමණක් නොව දිරිගැන්වීම ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය ය.”
“රජය, දේශපාලන පක්ෂ හා ප්‍රතිපත්ති විවේචනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසෙහි ඓන්ද්‍රිය කාරණයකි.”
අධිකරණ සේවා කොමිසමේ ලිපිය
තත්ත්වය මෙසේ තිබිය දී, පසුගිය අගෝස්තු 09 වන දා සියලුම මහේස්ත්‍රාත්වරුන්ට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්නගේ අත්සනින් යුතුව 2021 අගෝස්තු මස 13 වන දින ලිපියක් යවමින්, පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ (න්‍මාටැි’ ෂබිඑසඑමඑැ) දේශන ශාලාවේ දී සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවත්, එහි මාතෘකාව ‘කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියට අදාළ කරුණු’ (ඵ්එඑැරි රුක්එසබට එද න්‍මාසජස්ක ඡරදජැැාසබටි සබ එයැ ජදබඑැංඑ දf ඣඪෂෘ 19 ච්බාැපසජ) ලෙසත් සඳහන් කර තිබිණි. බස්නාහිර පළතෙන් පිටත විනිසුරුවරුන් ඔන්ලයින් ක්‍රමයට සම්බන්ද වනලෙසද එහි දැනුම් දී තිබිණි.
එම අවස්ථාවට අගවිනිසුරුතුමා වන ජයන්ත ජයසූරිය, අධිකරණ සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් සහ එහි අනෙක් සාමාජිකයන් දෙදෙනා වන බී. පී. අලුවිහාරේ සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන විනිශ්චයකාරවරුන් දෙදෙනා සහ ආරාධිත දේශනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්. සමයවර්ධන සහභාගී වී සිටියහ.
මහේස්ත්‍රාත්වරුන්ට අලුතින් ඉගැන්වීම
එසේම එම ලිපියේ අවධානය යොමු කොට සැලැකිය යුතු කරුණක් වන්නේ ඉහත දේශනය සඳහා සහභාගී වීම අනිවාර්යය බවත් එසේ සහභාගී නොවුණහොත්, සේවා උසස් වීම්වල දී, වාර්ෂික වැටුප් වැඩි කිරීම්වල දී, විදේශ පුහුණු කිරීම්වලට තෝරා ගැනීමේ දී, මහාධිකරණයට උසස් කිරීමේ දී ඒ පිළිබඳව සැලැකිල්ලට ගන්නා බවත් දක්වා තිබීම ය. තව ද, එම දේශනය තුළ වඩාත් අවධානය යොමු කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වන වගන්තිය සහ 106 වන වගන්තිය භාවිත කිරීම සම්බන්ධව ය.
හදිසියේ දිවයිනේ සියලු මහේස්ත්‍රාත්වරුන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති ඉගැන්වීමට යෑම එනම්, විරෝධතා, උද්ඝෝෂණ තහනම් කිරීමට පොලිසිය යොදා ගන්නා 98 සහ 106 වගන්ති පිළිබඳව කරුණු කියා දීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?
සෘජු හෝ අනියම් බලපෑමක්
මෙම තත්ත්වය අධිකරණයේ ස්වාධීනත්වයට කරන සෘජු අතපෙවීමකි. අධිකරණ ක්ෂේත්‍රයේ මුල් අධිකරණවල විනිසුරුවරුන් සිය වෘත්තීය ගරුත්වය, අධිකරණයේ ගරුත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ආරක්ෂා කරමින් කටයුතු කරන අවස්ථාවක අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහේස්ත්‍රාත්වරුන් කැඳවා පොලිසිය විසින් උක්ත වගන්ති යටතේ සිදු කරන ඉල්ලීම් පිළිබඳව මීට වඩා සුපරික්ෂාවෙන් බලන ලෙස සිදු කරන ලද දේශනය අප විසින් තේරුම් ගත යුත්තේ විනිසුරුවරුන්ට කරන ලද සෘජු හෝ අනියම් බලපෑමක් වශයෙනි. තවද, 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ලද අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලතල දැක්වෙන 111(ඌ) වගන්තිය තුළ විනිසුරුවරුන්ට බලපෑම් කිරීමට බලය ලබා දී නොමැත.
පෙම් හසුන් ගණන් ගත යුතු ද?
පූර්වගාමී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන ඇන්ටන් සෝසා මහතා මහේස්ත්‍රාත්වරුන්ට අදාළව ඉහළ අධිකරණවල හෝ අධිකරණ සේවා කොමිසමේ මැදිහත් වීම් පිළිබඳව විස්තර කොට ඇත්තේ “අධිකරණ සේවා කොමිසමෙන් එවන පෙම් හසුන් එතරම් ගණන් නොගත යුතුයි” යනුවෙනි. මෙහි ගැබ් වී ඇති අර්ථය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුට වුව ද, අධිකරණ සේවා කොමිසමට වුව ද දුරකථනයෙන් හෝ ලිපියක් මඟින් හෝ පවතින නඩු සම්බන්ධයෙන් කිසිම ආකාරයක බලපෑමක් පහළ අධිකරණයක විනිශ්චයකාරවරුන් වෙත සිදු කළ නොහැකි බවයි. එය සෘජුව අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමකි. ඒ අනුව මෙම සිදුවීම අධිකරණ ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල්ලමක් ලෙස අපි දකිමු. එමෙන්ම ආණ්ඩුවේ මෙවැනි අනීතික සහ සදාචාර විරෝධී බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමට සියලුම විනිසුරුවරුන්, නීතිඥවරුන් ඇතුළු වෘත්තීයවේදීන් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව විසින් කටයුතු කරනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන් ලෙස අපි බලාපොරොත්තු වෙමු.

MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

Previous articleප්‍රහාරයට මාස 28ක් ; අපිව බේරන්න ! – පාස්කු චූදිතයෝ ඉල්ලති
Next articleමඟහැරුණු 4808ක් එකතුකරයි ; දෛනික ආසාදිත සංඛ්‍යාව 4000ත් පැනලා ; ආසාදිත ගණන ගැන තවදුරටත් පරස්පරතා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here