ජාතික ලැයිස්තුවේ හරි අඩක් කාන්තාවන්ට අවශ්‍යයි – මන්ත්‍රීවරියන්ගෙන් යෝජනාවක් !

ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට’ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ සංසදය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ එහි සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 30 දක්වා වර්ධනය කළ යුතු බවයි.
රාජ්‍ය මණ්ඩල සහ කොමිෂන් සභාවල කාන්තා නියෝජනය සියයට 33 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද ඇය කාරක සභාවේදී යෝජනා කර ඇත.
සියලු මැතිවරණ සඳහා එකම නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පෙන්වා දි ඇති අතර වර්තමානයේදී කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමද ගැටලුවක් බවත් කාන්තාවන් පිළිබඳව සමාජයේ ආකල්ප වෙනසක්ද ඇතිවිය යුතු බවත් සඳහන් කර තිබේ.
දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය කාන්තාවන්ට එතරම් හිතකර නොවන බවද රට තුළ දේශපාලන ප්‍රචන්ඩත්වය ඇතිවීම ද දේශපාලනයේ කාන්තා නියෝජනය අවම වීමට හේතුවී තිබෙන බවද ඇය අවධාරණය කර ඇත.
දේශපාලන පක්ෂ තුළ කාන්තාවන්ට ඉහළ මට්ටමේ නිලතල නොලැබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා වී තිබේ. පළාත් පාලන ක්‍රමයේදී මෙන්ම, මීට පෙර යෝජිත පළාත් සභා ජන්ද ක්‍රමය තුළ කාන්තා නියෝජනයට ඉහළ ඉඩක් වෙන්ව තිබූ බවට කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
රට තුළ දැනට පවතින මනාප ක්‍රමය අහෝසි නොකර කාන්තාවන්ට දේශපාලනයේ වැඩි අවස්ථාවක් ලබා දිය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇති අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද අමාත්‍යවරයා කාරක සභාවේදී පෙන්වා දී ඇත.
වර්තමාන මැතිවරණ ක්‍රමය කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් ගැලපිය නොහැකි බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා ප්‍රකාශ කර ඇත. මැතිවරණවලට ඉදිරිපත් කරන අපේක්ෂිකාවන්ගේ සංඛ්‍යාව නිශ්චිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එහිදි සඳහන් කර තිබේ. කාන්තාවන්ට විශාල සංවිධාන ශක්තියක් ග්‍රාමිය මට්ටමේ සිට පවතින බවත්, කාන්තාවන් දේශපාලනීකරණය නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් බවත් කාරක සභාවේදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත.
දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීම සඳහා සිවිල් සංවිධානවලට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර මහතා කාරක සභාවේදී පෙන්වා දී තිබේ.
මෙම කාරක සභා රැස්වීමේදී කාන්තා සංවිධාන 05 ක් සිය යෝජනා ඉදිරිපත් කර ඇත. මීළඟ කාරක සභා රැස්වීම අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්‍ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.මේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ද සභභාගී වී ඇත.
Previous articleඋද්ඝෝෂණ කිරීම නීතිවිරෝධී නෑ : මග රැක සිට අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි – ජවිපෙ ප්‍රධාන ලේකම්
Next articleපහළ මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවියෝ අවතැන්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here