උද්ඝෝෂණ කිරීම නීතිවිරෝධී නෑ : මග රැක සිට අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි – ජවිපෙ ප්‍රධාන ලේකම්

උද්ඝෝෂණ කිරීම නීතිවිරෝධී නොවන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතියක් බවත් සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එසේ උද්ඝෝෂණ කර ආපසු යන පිරිස් මග රැක සිට අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව අවධාරණය කරයි.
කොතලාවල පනත් කෙටුම්පතට සහ අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමේ උත්සාහයට එරෙහිව මෙන්ම ගුරු-විදුහල්පති වැටුප් ගැටළු හේතුවෙන් පසුගිය දිනවල පැවැති උද්ඝෝෂණ ඉතා සාධාරණ බවත්, ඒවාට සහභාගි වූ ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ උත්සාහය දැඩිව හෙළාදකින බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අද (06) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා මෙසේ ද පැවසීය.

මේ කරන්නෙ පැහැරගැනීම්

‘ඊයේ (05) රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සම්බන්ධ වී පිටතට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය ආයතනය අසල රැකලා ඉඳලා අත්අඩංගුවට ගත්තා. අවම වශයෙන් අත්අඩංගුවට ගැනීමේ චෝදනාව ඉදිරිපත් නොකර, අධිකරණ වරෙන්තුවක් ඉදිරිපත් නොකර පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් මේක පැහැර ගැනීමක්. මෙම තත්වය පරාජයට පත්කළ යුතුයි. ඒ වගේම ඊයේ දහවල් පැවති අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පැවත්වූ උද්ඝෝෂණයට සම්බන්ධ වූ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එය වෘත්තීය සමිති, බහුජන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකතුවී ඉතාමත්ම සාමකාමීව කොරෝනා තත්වය සලකා බලා සිදු කළ උද්ඝෝෂණයක්. මේ උද්ඝෝෂණයට පැමිණෙමින් සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට ගත්තා. උද්ඝෝෂණය අවසානයේ කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ආපසු යමින් සිටි බස් රථයක් මඟදී නවත්වලා සිවිල් ඇඳුමින් සැරසී සිටි කණ්ඩායමක් චිකාගෝවල කප්පම් ගන්න පැහැර ගන්නවා වගේ ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

නීති කඩනවා නම් එතැනදි ගන්න පුළුවන්

උද්ඝෝෂණය කිරීම නීතිවිරෝධී නැහැ. ඒ නිසා උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගන්න කිසිම නීතිමය බලයක් පොලීසියට නැහැ. අනෙක් පැත්තෙන් උද්ඝෝෂණය කරන තැන නීති කැඩෙනවා නම් එතැනදී අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නොකර වාහන පසුපස ගිහින්, මුහුණු බලාගෙන ඉඳලා සැලසුම් කරලා දඩයමක් කරනවා. මෙහෙම මිනිස්සු පැහැර ගන්න, දඩයම් කරන්න කිසිම අයිතියක් නැහැ. ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ සැලසුම් කරලා උද්ඝෝෂකයන් දඩයම් කිරීමක්. මෙය ඉතාමත්ම බරපතළ තත්ත්වයක්. එතැනින් නතර නොවී සටන්වල ඉන්න නායකයන්ගේ ගෙවල්වලට ගිහින් බිය වද්දන ක්‍රියාවලියකුත් සිදුකරමින් ඉන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ගෙදරට ගිහින් තියෙනවා. ඊට කලින් ලංකා ගුරුසේවා සංගමයේ නායක මහින්ද ජයසිංහ සහෝදරයාගේ ගෙදරට ගිහින් තිබුණා. මේ විදිහට බියවැද්දීම් කර එයින් නතර නොකර පහුගිය 04 වැනිදා කොළඹ තිබුණු ගුරු- විදුහල්පති උද්ඝෝෂණය අවසන් කර යමින් සිටි ගුරුවරුන්ව ස්ථාන කිහිපයකදීම අත්අඩංගුවට ගත්තා. දෙමටගොඩ, පෑලියගොඩ, වැල්ලවත්ත පොලීසිවලින් මේ විදිහට අත්අඩංගුවට ගත්ත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ගත්ත චෝදනාව කියන්නවත් පොලීසිය සමත් වෙලා නැහැ.

රඳවන්නෙ කොතැනද – නීතිඥ වගකීම කොහෙද?

අත්අඩංගුවට ගත් අය වරාය පොලීසියේ රඳවනවා. ඔවුන් ඉන්න ඕනෑ  අත්අඩංගුවට ගත්ත පොලීසියේමයි. වරාය පොලීසිය තුළ රඳවා ගැනීම වැරදි රඳවා ගැනීමක්. නීතිඥවරුන්ටවත් අඩුම ගාණෙ පොලීසියට යන්න දෙන්නේ නැහැ. නීතිඥ සහාය ලබාගැනීමේ මූලික අයිතිවාසිකමත් උල්ලංඝනය කළා. ත්‍රස්තවාදීන් අල්ලා ගත්තා නෙවෙයිනෙ. ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන්ව පෙන්වන්න ඕනෑ. සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය නීතිඥවරුන්ට බලන්න දෙන්නේවත් නැතුව රඳවාගෙන ඉන්නවා. ආණ්ඩුව කරන්න හදන්නේ භීතියක් මවන්න. ඒ තුළින් සටන් මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවයි සරත් වීරසේකර මහත්තයාගේ පොලීසියයි කරන්නේ සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කරන අයව හුදෙකලා කර දඩයම් කිරීමයි. ඔය පොලීසිය බාර ඇමතිතුමාම පියුමි හංසමාලි නිරෝධායනයට අරන් යනකොට බස් හරවාගෙන ඇවිත් ඇඳුම් ටික අරන් දුන්නා. ඒ ඇමතිවරයා ගුරුවර-ගුරුවරියෝ අත්අඩංගුවට අරගෙන බලන්නවත් දුන්නේ නැහැ. ගුරුවරියන්ට විශේෂ අවශ්‍යතා තියෙනවා. ඒගොල්ලන්ට ඇඳුමක් දෙන්නවත් ඉඩක් නොදී නීතිය වල් වැදිලා. තමන්ට කැමති අයට එක නීතියක්. අකමැති අයට තව නීතියක්. දැන් වෙලා තියෙන්නේ අපරාධකාරයන් නිදහස් කර තනතුරු ලබාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සියලුදෙනාට මර්දනය ගේන එක. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරලා මේකද බලාපොරොත්තු වුණේ කියලා. මේකට එරෙහි වෙන්න කියලා අපි සමාජයෙන් ඉල්ලා හිටිනවා. මේ තත්ත්වය පටන් ගන්නේ ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන්, ශිෂ්‍ය නායකයින්ගෙන් වෙන්න පුළුවන්. හැබැයි අවසන් වෙන්නේ හැමෝගෙම ගෙවල්වලට ගිහිල්ලා. ඒ නිසා මේක පරද්දන්න ඕනෑ.

තමන්ගෙ ජනතාවට පොල්ල උස්සලා තියෙන්නෙ

උද්ඝෝෂණවලට කලින් ඒවා වැළැක්වීමේ නියෝග ගන්න අධිකරණයට ගියා. හැබැයි අධිකරණය ඒ නියෝග දුන්නේ නැහැ. උද්ඝෝෂණ වළක්වන්න අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ. පොලීසියෙන් අත්අඩංගුවට ගත්ත අයට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා එකක්වත් අධිකරණය ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ශරීර ඇප දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම ආව කෙනෙක් මේ අයව රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම නිරෝධායනයට දාන්න කියලත් ඉල්ලා සිටියා. අධිකරණය මේ දෙකම ප්‍රතික්ෂේප කළා. ශරීර ඇප මත මේ අය නිදහස් කළා. නීතිවිරෝධී නොවන උද්ඝෝෂණවලට සහභාගි වූ අයව මඟ රැක සිට අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි. පොලීසිය යොදවා නීතිවිරෝධී වැඩ කරමින් ඉන්නේ ආණ්ඩුවයි. ඒගොල්ලෝ මේ ගමන් කරමින් ඉන්නේ තමන්ව නිර්මාණය කළ ජනතාව තමන්ට අහිමි කර ගැනීමකයි. උද්ඝෝෂණවලට සහභාගි වුණු ගුරුවරුන් සීයට 70ක් විතර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දීපු අය. ඒ අයගේ උද්ඝෝෂණ මර්දනය කරන්න ක්‍රියා කිරීම ඔවුන්ගේ පදනම් අහිමි කරගැනීමක්. ලුණු හැදෙන්නෙත් වතුරෙන්, ලුණු දියවෙන්නෙත් වතුරෙන් කියල ගමේ කියමනක් තියෙනවා. ආණ්ඩුව තමන්ව සිංහාසනයේ තැබූ ජනතාවට එරෙහිව පොල්ල උස්සලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාව සිංහාසනයේ තිබ්බ මේ ජනතාවම නුදුරු අනාගතයේදී ඔවුන්ව සිංහාසනයෙන් බස්සවයි කියලා අපි විශ්වාස කරනවා.’
Previous articleජනපතිගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් : ලෝකය රැවටීමේ පොරොන්දුවලින් සිදුවන්නේ කුමක්ද?
Next articleජාතික ලැයිස්තුවේ හරි අඩක් කාන්තාවන්ට අවශ්‍යයි – මන්ත්‍රීවරියන්ගෙන් යෝජනාවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here