වැරදි කළ පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයේදී පොලිසිය ඇතුළු බලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව මෙම සිද්ධියේදී මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට සහ සෞඛ්‍ය බලධාරීන්ට ඔවුන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවීමට නිර්දේශ කරන ලෙස ද එම සංගමය ඉල්ලා ඇත.
නීති විරෝධීව අත්අඩංගුවට ගෙන කෘර අමානුෂික හා අවමන්සහගත සැලකිල්ලට බඳුන් කරනු ලැබ මේවන විටත් නීති විරෝධීව රඳවා තබා ගෙන සිටින ජෝසප් ස්ටාලින් මහතා ඇතුලූ පිරිසගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ද එම සංගමය ඉල්ලා ඇත.
පුද්ගලයන් 16 දෙනෙක් එම පැමිණිල්ලෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
1. තලංගම පොලිසියේ ස්ථානාධිපති
2. මිරිහාන පොලිසියේ ස්ථානාධිපති
3. නුගේගොඩ කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සී.ඩී. ලියනගේ මහතා
4.බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ඩී. කඩුපිටිය මහතා
5. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා
6.පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා
7.මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්
08 සිට 12දක්වා හඳුනා නොගත් පොලිස් නිලධාරීන්
13.පාර්ලිමේන්තු වටරවුම ප‍්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
14. මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී
15. මුලතිව් ගුවන් හමුදා කඳවුර පිහිටි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
16. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1) 13(2) සහ 14(1) (ඌ) ව්‍යවස්ථාවන් මගින් සහතික කර ඇති අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට නිර්දේශයක් ලබාදෙන ලෙස ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා ඇත.
එම පිරිසට එරෙහිව දණ්ඩනීති සංග‍්‍රහයේ, වධ හිංසා පනතේ සහ වෙනත් නීති වල දැක්වෙන පරිදි අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙස සහ විනය පරීක්ෂණ සිදු කරන ලෙස අදාල බලධාරීන්ට නිර්දේශ කරන ලෙසත් පැමිණිලිකාර සංගමයේ සාමාජිකයන් සහ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම්ද මේ ආකාරයටම කඩවීමට ඉඩ ඇති බැවින් එය නතර කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.
එම පැමිණිල්ලේ මෙසේද සඳහන් වෙයි.
“ලංකා ගුරු සංගමය ඇතුලූ සංවිධාන කිහිපයක මෙහෙයවීමෙන් 2021 ජුලි මස අට වැනි දින පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානමින් සිටියේය.
සාමකාවීම පැවැත්වීමට නියමිතව තිබූ එම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිත පැමිණි ඉහත වගඋත්තරකරුවන් කරනු ලැබ ඇති තලංගම සහ නුගේගොඩ මිරිහාන ඇතුළු පොලිස් ස්ථානාවල නිලධාරීන් පිරිසක් එම උද්ඝෝෂකයන් අසලට පැමිණ උද්ඝෝෂණයක් සිදු නොකරන ලෙස නීති විරෝධී නියෝගයක් ලබා දුන්නේය.
අනතුරුව උද්ඝෝෂණයට පැමිණි කාන්තාවන්, භික්ෂූන් ඇතුළු පිරිසකට පහර දී වධ හිංසා කර කෘර, අමානුෂික සහ නිංදාසහගත ලෙස අතපයවලින් ඔසවාගෙන ගොස් බස්රථයකට පටවනු ලැබීය.
එලෙස නීති විරෝධීව අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා ඇතුළු පිරිස තලංගම සහ නුගේගොඩ මිරිහාන පොලිස් ස්ථානවලට රැුගෙන ගොස් බොහෝ වේලාවක් එහි රඳවාගෙන ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලදී.
එලෙස ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔවුන් වැලිකඩ පොලිසියට රැගෙනවිත් අන කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
එලෙස ඇප නියම කළ පිරිස අධිකරණ භූමියෙන් පිටතට පැමිණීමට උත්සාහ කරද්දී පොලිසියේ පිරිසක් විසින් යළිත් වරක් නීති විරෝධීව ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන ලදී.
ඇප නියම වූ පිරිස යළිත් වරක් අත්අඩංගුවට ගැනීම හෝ සිර කිරීම නීිති විරෝධී බව ප‍්‍රකාශ කරමින් පොලිසියට කරුණු පැහැදිලි කර දීමට නීතිඥවරුන් උත්සාහ කළ ද පොලිසිය එය නොතකා ඇප ලැබුණු පිරිසෙන් කොටසක් නීති විරෝධී ලෙස බස්රථයකට නංවාගන්නා ලදී.
ඔවුන් රැගෙන යන්නේ නිරෝධායනයට බව කීවද එම ස්ථානයේ කිසිම සෞඛ්‍ය බලධාරියෙක් සිටියේ නැත.
ඇප ලැබුණු ජෝසප් ස්ටාලින් මහතා ඇතුලූ පිරිස තමන් රැගෙන යෑමට විරෝධය දක්වද්දී බලහත්කාරයෙන් බස්රථයක නංවාගෙන ගියේය. රැගෙන යන ස්ථානය දැනුම් දුන්නේ නැත. වරාය පොලිසියේ ස්ථානයකට ගෙන ගොස් දුර ගමනක් යෑමට ඇති බව පමණක් දැනුම් දුන්නේය.
තමන් රැගෙන යන්නේ කුමන ප‍්‍රදේශයකටද යන්න ඔවුන් විමසුවත් ඊට පිළිතරක් ලබා දුන්නේ නැත.
එදින රාත‍්‍රියේ ඔවුන් බස්රථයක නංවාගෙන මුලතිව් ප‍්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් එහිදී ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස ගුවන් හමුදාවේ පිරිසකට බාරදී පොලිසිය පිටව ගියේය. එම පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක්ද සිටියහ.
මෙම ස්ථානය මුලතිව් ගුවන් හමුදා කඳුවුර බවට එම පිරිස හඳුනා ගත් අතර ඔවුන් පහසුකම් අවම තැනක රඳවාතබන ලදී. තමන් නීති විරෝධීව රඳවාගෙන සිටීම ගැන මෙම පිරිස කඳවුරේ වගකිවයුත්තන්ටද දැනුම් දෙන ලදී.
ඉහත විස්තර කර ඇති කරුණු අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  11, 12(1) 13(1) 13(2) සහ 14(1) (ඌ) ව්‍යස්ථාවලින් සහතික කර දී ඇති මූලික අයිතිවාසිකම් ඉහත කී පිරිස විෂයෙහි මුලින් සඳහන් කර වගඋත්තරකරුවන් විසින් කඩකරනු ලැබ ඇති බව ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අදහසයි.
එමෙන්ම මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් ද ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වුවහොත් පොලිසිය සහ අදාල සෞඛ්‍ය බලධාරීන් මේ ආකාරයෙන්ම කටයුතු කරීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවින් පැමිණිලිකාර සංගමයේ සාමාජිකයන්ගේ මෙන්ම සියලූම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට ද අත්‍යාසන්න බවක් තිබේ.
එබැවින්,
(අ)ඉහත සිදුවීම පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙසත්,
(ආ) ඊට අදාලව අට වැනි වගඋත්තරකරුගේ සිට 12 වැනි වගඋත්තරකරු දක්වා වගඋත්තරකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ විස්තර මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස පොලිස්පතිවරයාට නිර්දේශ කරන ලෙසත්,
(ඇ)නීති විරෝ්ධීව අත්අඩංගුවට ගෙන කෘර අමානුෂික හා අවමන්සහගත ලෙස සැලකිල්ලට බඳුන් කරනු ලැබ මේවන විටත් නීති විරෝධීව රඳවා තබා ගෙන සිටින ජෝසප් ස්ටාලින් මහතා ඇතුලූ පිරිසගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත්,
(ඈ) ඉහත කී ජොස්ප් ස්ටාලින් මහතා ඇතුලූ ඉහත ජේදවල විස්තර කර ඇති පිරිස විෂයෙහි  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1) 13(2) සහ 14(1) (ඌ) ව්‍යවස්ථාවන්හි සඳහන් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වගඋත්තරකරවැන් විසින් සිදුකර ඇති බවට නිර්දේශයක් ලබාදෙන ලෙසත්,
(ඉ) එම පිරිසට එරෙහිව දණ්ඩනීති සංග‍්‍රහයේ, වධ හිංසා පනතේ සහ වෙනත් නීති වල දැක්වෙන පරිදි අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙස සහ විනය පරීක්ෂණ සිදු කරන ලෙස අදාල බලධාරීන්ට නිර්දේශ කරන ලෙසත්,
(ඊ) පැමිණිලිකාර සංගමයේ සාමාජිකයන් සහ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් විෂයෙහි මේ ආකාරයටම ඉහත කී අයිතිවාසිකම් කඩවීම නතර කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙසත්,
(උ) අගතියට පත් පිරිසට වගඋත්තරකරුවන්ගේ පුද්ගලික මුදලින් වන්දි මුදලක් ප‍්‍රධානය කිරීමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටිමු.’’
Previous articleමාධ්‍යට තොරතුරු දුන්නේයැයි කොස්තාපල්ට චෝදනා පත්‍රයක් දීම වැරදියි ; මානව හිමිකම් කොමිසම තීන්දු කරයි
Next articleනිරෝධායන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා : දුමින්ද නාගමුව වහාම මුදාහරින්න – බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here