නිහඬ බහුතරයක් මැද කාන්තාවන්ගේ නිර්භීතකමට වටිනාකමක් දිය හැක්කේ කෙසේද ?

තමන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාර කරන බවත්, එය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි ස්ත්‍රීන්ට ශක්තියක් සපයන බවත් ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් කතා කිරීමට ආරක්ෂිත අවකාශයක් නොමැති වීම බරපතළ ගැටළුවක් බවයි. එසේම රැකියා ස්ථානවල සිදු වන ලිංගික හිරිහැර පිළිබඳව ක්‍රියාත්මක වීමට තරම් නීති ප්‍රමාණවත් නොවීම සහ නීති පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි වීම ද මෙහිදී සාකච්ඡාවට භාජනය කළ යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
සමාජය තුළ ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීමේ තත්ත්වයන් වෙනස් කිරීමටත්, ආකල්පමය වශයෙන් ස්ත්‍රීන් ශක්තිමත් කිරීමටත් කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වැදගත් සංවාදයක් ගොඩනැගිය යුතු බව ද එම සාමූහිකය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

සංවාදය ඉදිරියට

2010 – 2017 කාලයේ පුවත්පතක සේවය කරමින් සිටියදී සහෝදර මාධ්‍යවේදියෙකු තමන් දූෂණය කරන බවට තර්ජනය කළේ යැයි මාධ්‍යවේදිනී සාරා කැල්ලපත ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සඳහන් කර තිබිණි. ඇයගේ මේ සටහනින් පසු ලංකාවේ මාධ්‍යවේදිනියන් රැසක් ප්‍රවෘත්ති කාමර තුළදී මෙන්ම ඉන් පිටතදී ද තමන්ට විඳීමට සිදු වූ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් හෙළිදරව් කර තිබිණි.
ලිංගික අපරාධකරුවෙකු වන හාවි වෙන්ස්ටෙයින්ගේ ලිංගික අපරාධ පිළිබඳව ඇති වූ කතාබහත් සමග 2017 වසරේ දී #MeToo ව්‍යාපාරය බිහි විය. සාරා සමග මාධ්‍යවේදිනියන් රැසක් මෙවැනි #MeToo පන්නයේ සංවාදයක් ඇරඹීමත් සමග දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් ද ඔවුන්ගේ සටහන් උපුටා දක්වමින් මේ පිළිබඳ විමර්ශනයක අවශ්‍යතාව අවධාරණය කරන ලදි. ලංකාවේ ආණ්ඩුව පාර්ශ්වයෙන් ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවකදී පැවසුවේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන බවයි.
රාජකාරි කාල සීමාවේදී පුරුෂ පාර්ශ්වයෙන් එල්ල වන ලිංගික හිරිහැර පිළිබඳව සඳහන් කරමින් සාරා කැල්ලපත සඳහන් කර තිබුණේ කාන්තාවන්ගේ පාද ඇතුළු ශරීර අවයව පිළිබඳ ඇතැම් පිරිමි මාධ්‍යවේදීන්ගේ අපහාසාත්මක ප්‍රකාශ දරාගත නොහැකි බවයි. ඔවුන් ඕනෑම අවස්ථාවක සරාගී යන වචනය භාවිත කරමින් කාන්තා මාධ්‍යවේදිනියන් පීඩනයට ලක්කරන බව ද සිය ටිව්ටිර් ගිණුමේ ඇය සටහන් කර තිබිණි. මේ වන විට ක්‍රියාත්මක නොවන පුවත්පතක කර්තෘවරයෙකු තමන්ට ලිංගික හිරිහැර කළ බවත්, ඊට එරෙහිව කිසිවක් නොකරන ලෙස තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට බලපෑම් කළ බවත් මාධ්‍යවේදිනී සහ්ලා ඉල්හාම් ද ඇයගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි. මෙතෙක් කල් නිහඬව සිටියද, ඇති වී තිබෙන සංවාදයට තමන්ගේ අත්දැකීම් ද එක්කළ යුතු බව ඇය අවධාරණය කර ඇත. එසේම ලංකාවේ පුවත්පතක පුහුණු මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍යවේදිනී ජෝර්දානා නාරින් ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුගෙන් සිදු වූ ලිංගික බලපෑම් පිළිබඳ හෙළි කර තිබේ. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ මෙවැනි වේදනාකාරී අත්දැකීම් හුරුපුරුදු බවයි.

ඉංග්‍රීසි පමණක් නොවේ

මේ ආකාරයට මාධ්‍යවේදිනියන් රැසක් #MeToo ව්‍යාපාරය මගින් ඇති වූ සංවාදය වැනි කතාබහක් ගොඩනැගීමට මූලිකත්වය ගෙන ඇත. මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ ගැටළුව කොතරම් බරපතළ ලෙස පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙසේ පවසයි.
‘ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදුවී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුණද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයන් ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු. මෙවැනි හිංසනයන්ට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට මුහුණදීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රීි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි කණගාටුවට පත්වෙමු.’
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්ට දිගින්-දිගටම සිදුවන ලිංගික හිංසනයන් වහාම නතර කිරීමේ අවශ්‍යතාව මතු කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වෙත ලිපියක් යවමින් එම සංගමය මෙසේ ද අවධාරණය කරයි.
‘මෙරට ඇතැම් ජනමාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදිනියන්ට මෙන්ම කාර්යාලයෙන් පිටත සේවය කරන මාධ්‍යවේදිනියන්ට ද (ප්‍රාදේශීය වශයෙන්), මාධ්‍ය ආයතනවල වෙනත් අංශවල රැකියා කරන කාන්තාවන්ට ද මාධ්‍ය ආයතනවල ඇතැම් ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් නොව කර්තෘවරුන් සහ සංස්කාරකවරුන්ගෙන් ද ලිංගික හිංසන සිදුවූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබේ. එවැනි ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වන සියලු සාක්ෂි සහ තොරතුරු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමට හිංසනයට පත් ජනමාධ්‍යවේදිනියන් සහ තවත් මාධ්‍යවේදීන් කණ්ඩායම් උත්සාහ කළ අවස්ථා ද තිබෙන නමුත් එවැනි අවස්ථාවල බොහෝ විට සිදුවී තිබුණේ ආයතන ප්‍රධානීන් විසින් ඒවා නොසලකා හැරීම ය. ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීතියෙන් කටයුතු නොකිරීම ගැන අපි දැඩි කණගාටුවට පත්වෙමු.’

ලිංගික හිංසන සිදු වන ආකාර

ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසනයන් ක්‍රම කිහිපයක් අනුව සිදුවන බව ද ඔවුහු නිරීක්ෂණය කරති.
1) ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක කාන්තාවන් (පුහුණු වන හෝ නවක) බියවද්දමින් ඔවුන් ලිංගික හිංසනයට පත්කිරීම.
2) ප්‍රාදේශීය වශයෙන් සහ නිදහස් මාධ්‍යවේදීන් වශයෙන් රාජකාරි කරන පිරිසට මුදල් ලැබෙන්නේ ඔවුන්ගේ වාර්තා පළවන ආකාරයට වන බැවින් එම කාරණය ඉස්මතු කරමින්, ඔවුන්ගේ ලිපි පළනොකරන බවට බියවද්දමින් ලිංගික හිංසනයට ලක්කිරීම.
3) ජනමාධ්‍යවේදිනියන්ට සහ මාධ්‍ය සේවිකාවන්ට තමන්ගේ තනතුරේ බලය භාවිත කරමින් ජනමාධ්‍ය ආයතනවල තනතුරු දරන ඇතැම් පුද්ගලයන් විසින් ලිංගික බලපෑම් කිරීම.
4) සමාන ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් විසින් ලිංගික බලපෑම් කිරීම.
5) පුවත්පත්වලට ලියන නවකයන්ට ඒවා පළකර දීම සඳහා බව පවසමින් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම.
6) අගතියට පත්වූ කාන්තාවන්ට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන බව කියමින් සහ සැකකාරියන්ට ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව පවසමින් මාධ්‍ය බලය භාවිත කර ඇතැම් අවස්ථාවල ලිංගික හිංසන සිදු කිරීම.
කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ලැබී නොමැති බවයි. එම නිසා අදාළ පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ ගැටළුවක් පැවතුණද, මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරන බව ද ඇමැතිවරයා සඳහන් කර තිබිණි.

උදාහරණ ඇතත්, ආයතන නිහඬයි

ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය අංශයේ සේවය කරන පිරිස් මෙන්ම ප්‍රාදේශීය අංශ හරහා එවන ප්‍රවෘත්ති සංස්කරණය කරන උප කර්තෘවරුන් ද ප්‍රාදේශීය වශයෙන් සේවය කරන ජනමාධ්‍යවේදිනියන්ට ලිංගික බලපෑම් සිදු කළ අවස්ථා පිළිබඳ උදාහරණ ඇතැයි මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි. ඇතැම් කාන්තාවන් ඒ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් දැනුවත් කළත්, කිසිදු නීතිමය පියවරක් ගෙන තිබුණේ නැත. මධ්‍යම රාත්‍රියේ පවා දුරකතන ඇමතුම් ලබාදෙමින් ලිංගික ඇවිටිලි කිරීම් ඇතැම් ජනමාධ්‍ය ආයතනවල තරුණ කාන්තාවන් පමණක් නොව වැඩිහිටි කාන්තාවන් ද විශාල වශයෙන් මුහුණ දෙන තත්ත්වයකි. එක්තරා මාධ්‍ය ආයතනයක නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ සහ උප කර්තෘවරයෙකු කාන්තාවන්ට ලිංගික බලපෑම් කිරීම සම්බන්ධයෙන් තහවුරු කළ හැකි හඬ පට පවා ආයතන ප්‍රධානීන්ට බාර දුන්නද, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, එසේ බලපෑම් කළ නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා ප්‍රවෘත්ති කර්තෘ දක්වා උසස් කර තිබූ බවත් අදාළ සංවිධාන වැඩිදුරටත් අවධාරණය කරයි.
පුහුණු වන ජනමාධ්‍යවේදිනියන්ට ලිංගික හිංසන කළ අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් මෑත කාලීන උදාහරණ ඇති බව ද ඔවුහු සඳහන් කරති. එක් පුහුණු වන මාධ්‍යවේදිනියක කාර්යාලය අසල තිබූ ප්‍රදර්ශනයකට බව කියමින් කැඳවාගෙන ගොස් ඇය අපයෝජනය කිරීමට උත්සාහ කළ උප කර්තෘවරයෙකු සම්බන්ධයෙන් එම මාධ්‍යවේදිනියගේ සමීප මිතුරෙකු අදාළ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබිණි. එහෙත් අදාළ උප කර්තෘවරයා සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්තා පමණක් නොව, ඔහුට උසස්වීමක් ද පිරිනමා තිබිණි. මේ අතර ලිංගික හිංසනයන් ඉවසා ගත නොහැකිව ජනමාධ්‍යවේදිනියන් ආයතනවලින් ඉවත්ව ගිය අවස්ථා කිහිපයක් ඇතැයි ද එම සංවිධාන පෙන්වා දෙයි.

නීතිමය ආවරණය

මෙවැනි ලිංගික අපයෝජනවල බරපතළකම පෙන්වාදීම සඳහා රජයේ පාසල් ගුරුවරියක වන සමන්ති මනෝහරී පැලකැටිය එදිරිව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය (SC/FR/No. 76/2012) නඩු තීන්දුව උපුටා දැක්විය හැකිය.
‘කිසියම් කාලසීමාවක් පුරා අඛණ්ඩව ලිංගික අතවරයන්ට හා අපයෝජනයන්ට ලක්වීමෙන් ඕනෑම මනුෂ්‍යයෙකුට කායික හා මානසික හානියක් සිදුවන බව මාගේ වැටහීම වන්නේ ය. අපයෝජකයාගේ නිර්ලජ්ජිත බව හෙළිකරවන, එවන් අපයෝජනයන්ට හා හිරිහැරයන්ට එසැණින් ප්‍රතිචාර දක්වා අපයෝජකයා පසුබැස්වීමට ලක්කිරීමට හැකි ශක්තිමත් පෞරුෂයක් ඇති කාන්තාවකට මිස අපයෝජනවලට විශාල වශයෙන් ගොදුරු වන කාන්තාවන්ට එවන් අපයෝජනවලට විරුද්ධ වීමට නොහැකි ය.
අඛණ්ඩ තර්ජන හා අපයෝජන නිසා පුද්ගලයෙකු කායික හා මානසික වශයෙන් රෝගී විය හැක. මේ සම්බන්ධ මගේ අදහස් නීතියට ගරු කරන ඕනෑම කෙනෙකුට භාවිත කිරීමට හැකි අතර, එය එසේ සිදුවිය යුතුය. එබැවින් වධ වේදනාවන්ට ගොදුරු වූ, මහජන සේවකයන් කිහිපදෙනෙකු නිසා පීඩාවට පත්වූ පෙත්සම්කාරිය සතු භාෂණයේ නිදහස, ඇගේ අදහස් දැක්වීම් ආයතන සංග්‍රහයට පටහැනි වුව ද, සාමාන්‍ය හා ස්වභාවික ප්‍රතිචාර වන්නේය.’
ලිංගික හිංසන නිසා මානසික හානියක් සිදුවන බව එම නඩු තීන්දුවෙන් පැහැදිලි කෙරෙන අතර, මනෝ වෛද්‍ය විශේෂඥයන් ද මේ අදහස පළ කර තිබේ. එසේ ම කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) 1998 ජූලි 17 දින එකඟවීමෙන්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇත. එම නිසා මේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකා ආණ්ඩුවට තිබේ.

ආරක්ෂිත අවකාශයක අවශ්‍යතාව

නීතිමය ආවරණ පැවතුණද, ලංකාව පුරා මෙසේ ලිංගික හිංසනවලට මුහුණ දෙන සහ මුහුණ දුන් කාන්තාවන් දහස් ගණනක් සිටින බවත්, ඔවුන්ට තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ආරක්ෂිත අවකාශයක් නොමැති බවත් ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය පෙන්වා දෙයි.
‘වින්දිතයන්ට ලැජ්ජා කිරීම සහ දොස් පැවරීම, නැවත හිංසා කිරීම, බිය ගැන්වීම සහ සංස්කෘතිය යනාදිය විසින් නිහඬ කරනු ලැබ සිටින ස්ත්‍රීන් බහුතරයකට සුරක්ෂිත වේදිකාවලට සහ අවකාශයන්ට පිවිසිය නොහැකි බවත්, රැකියා ස්ථානවල සිදුවන ලිංගික හිරිහැරවලට යුක්තිය පසිඳලීමට අවශ්‍ය නීති – ප්‍රතිපත්ති වැනි නිශ්චිත නීතිමය යන්ත‍්‍රණවල හිඟතාව සහ නීති පද්ධතිය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම ද මෙම නිහඬතාවට දායක වේ.’
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය වැඩදුරටත් අවධාරණය කරන්නේ #metoo වැනි ව්‍යාපාර අවශ්‍ය නොවන  ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා අප සමාජයක් ලෙස කටයුතු කළ යුතු බවයි. කාන්තාවන්ට බියෙන් තොරව නිදහසේ කතා කිරීමට ඉඩ සලසන අවකාශයන් නිර්මාණය කළ යුතු බවත්, නීති සැකසීමෙන් පමණක් එම තත්ත්වය උදා කර ගත නොහැකි බවත් සඳහන් කරන එම සාමූහිකය, කාන්තාවන් අතර මෙන්ම සමස්ත සමාජය තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දෙයි.
මාධ්‍යවේදිනියන් රැසකගේ නිර්භය ඉදිරිපත් වීම මගින් මේ පිළිබඳ සමාජයේ පුළුල් සංවාදයක් ඇති කිරීමට ලැබුණු අවස්ථාව අපතේ නොයැවිය යුතුය. මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙන දහස් ගණනකගේ හඬ අවදි කොට, ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට එම සංවාදය ප්‍රයෝජනයට ගත හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් කෙසේ වෙතත්, මෙවැනි සංවාද භාවිත කරමින් ඉදිරියේදී ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට මැදිහත් වීම බලධාරීන්ගේ වගකීමක් බවයි.

ආරම්භය ගත යුත්තේ කොතැනින්ද?

විශේෂයෙන් ම ආසන්න උදාහරණ මතු වූ මාධ්‍ය ආයතන තුළින් එම කටයුතු ආරම්භ කළ හැකි බවත්, ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලවා පහත කරුණු ක්‍රියාත්මක කර ගැනීමට බලපෑම් කළ යුතු බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
1) ලිංගික හිංසනයක් සිදුවූ වහාම ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ට පැමිණිලි කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට පැමිණිලි කිරීමටත් මාධ්‍ය ආයතනවල රාජකාරි කරන කාන්තාවන් දැනුවත් කිරීම.
(ලිංගික හිංසන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇතැම් කාන්තාවන් බියක් දක්වන අතර, ඊට ප්‍රධානම හේතුව එමගින් යම් සමාජ අපකීර්තියක් තමන්ට සිදුවේ යැයි ඇති වන බිය සහ තවත් පුද්ගලයන්ගෙන් ද මෙවැනිම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ යැයි ඇති වන බිය ය. තමන්ට එරෙහිව මෙවැනි හිංසනයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් දැනුවත් කළ යුතුය. ඔවුන් බලගැන්විය යුතුය. ලිංගික හිංසනවලට එරෙහිව සටන් කළ සමන්ති මනෝහරී පැලකැටිය නම් පාසල් ගුරුවරියගේ (SC/FR/No. 76/2012) සිද්ධිය ද ඊට අදාළ කර ගත හැකිය.
2) කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ගැන කුමනාකාරයෙන් හෝ දැනුවත් වූ වහාම ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඇයව හිංසනයට පත් කළ පුද්ගලයන්ට එරෙහිව ආයතනික වශයෙන් කටයුතු කිරීම සහ ඔහුට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට හිංසනයට භාජනය වන කාන්තාවන් ධෛර්යමත් කිරීමට මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම.
3) මාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන් යම් ලිංගික අපයෝජනයකට මුහුණ දුනහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ කාන්තාවන්ට ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසන නතර කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ස්වාධීන අංශයක් ස්ථාපිත කිරීම.
4) කාන්තාවන්ට රාජකාරි කරන ස්ථානයේ සහ රාජකාරි නිසා ඇතිවන ලිංගික හිංසන අවම කිරීමට සහ එවැනි ගැටලු ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ආයතන තුළ වෙනම කාන්තා නිලධාරිනියක් පත්කිරීම.
5) හිංසනයන්ට පත්වන කාන්තාවන් සඳහා නොමිලයේ මනෝ උපදේශන සේවා ලබාගැනීමට ස්වාධීන ආයතනයක් හෝ අංශයක් පිහිටුවීම.

අත්හැරීම වෙනුවට එකතු වීම

සමාජයක් ලෙස වඩාත් දියුණු සහ ශිෂ්ඨ සම්පන්න ලෙස ඉදිරියට යා හැකි අවස්ථා රැසක් අප අත්හැර තිබේ. එය හරියටම 71, 88-89 සහ 2009 යන රටට සිදු වූ දැවැන්ත විනාශ තුනකින් පවා පාඩම් ඉගෙන නොගෙන, තවදුරටත් අන්තවාදය සහ පීඩනය මුවහත් කිරීම වැනි ය. එම නිසා මේ හඬ අවදි කළ කාන්තාවන්ගේ නිර්භීතභාවයට වටිනාකමක් ලබාදීමට නතර නොවන එකමුතුවක් අවශ්‍ය ය. එය කුමන නමක් ගත්තද ගැටළුවක් නැත, අවශ්‍ය වන්නේ ඉදිරි ගමනකි.
Previous articleදේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිගෙන් ඉල්ලයි !
Next articleජාතික ආරක්ෂාවෙන් ස්වයංපෝෂිත රටක් !

1 COMMENT

  1. දියණියන් තැනිය යුතුය.
    එය නිසි අවබෝධ යෙන් කළ යුතුය.
    එසේ නොකළ හොත් අලංකාර, පුහු සාටෝප
    දුෂ්ඨ සමාජය තුළ ඔවුන්ගේ ගෞරවය සහ ජීවිතය
    යන දෙකම නැති වී යනු ඇත .
    වඩාත්ම වැදගත් දේ ලොවට දියණියන් තනන්නේ
    කෙසේදැයි ඉගෙනීම සහ ඉගැන්වීමය.
    මේ සත් කාර්ය වහාම ආරම්භ කළ යුතුය.
    අශ්වයා ගිය පසුව ස්ථානය වසා පලක් නැත.
    Voice of love Everywhere 💕

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here